වෘත්තීය සමිති හමුවේ ඇමැති සජිත් කියයි
ප්‍රතිවාදීන් කුමක් ප්‍රකාශ කළත් මේ පුණ්‍ය භූමියේ එක් බිම් අඟලක් විකිණීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (04) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති වෘත්තීය සමිති හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා,
අද දින ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ප්‍රධාන කොට එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති රැස්වීම අමතන්නට ලැබීම පිළිබඳව මා සන්තෝෂයට පත් වෙනවා.විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා මේ කටයුත්ත සඳහා වෙහෙස මහන්සි වි වැඩ කළා. මේ ස්ථානයට පැමිණෙන විට මට හැගී ගියේ ගෙදරට යනවා වගේ. මේ රටේ ප්‍රගතියේ කොදු නාරටිය වන කම්කරු ප්‍රජාව අතරට මම පැමිණ තිබෙනවා. ඔබලාගේ දහඩිය සුවද මට දැනෙනවා. එම සුවදින් මා පෝෂණය වුණා. ඔබලාගේ හදවතේ තිබෙන දුක, කදුල වේදනාව මගේ නාඩිවලට දැනෙනවා. ඔබලා ඇතුළු අපේ රටේ කම්කරු ප්‍රජාවට මා ප්‍රකාශ කරන්නේ මේ රටේ කම්කරුවාගේ යුගය උදා කරන්නේ සජිත් ප්‍රේමදාස බව.
මේ රටේ කම්කරු ප්‍රජාව රජයකින් බලාපොරොත්තු වන සේවාවෙන් බිදක් පිළිබඳව ඔබලාව දැනුවත් කරන්න මා කටයුතු කරනවා. ඒවා අකුරටම ක්‍රියාත්මක කරන්න මා බලාපොරොත්තු වනවා. මේ රටේ කිසිම රාජ්‍ය අයතනයක් මොනම හේතුවකටවත් රාජ්‍ය භාවයෙන් අප බැහැර කරන්නෙ නැහැ. එනමුත් අපට අවබෝධ කර ගන්න සිද්ධ වෙනවා රටක රාජ්‍ය ආයතන පාඩු ලබමින් ඉදිරියට යා නොහැකි බව. රාජ්‍ය ආයතන ලාභ ලබන්නට නම් විශේෂ ක්‍රමවේද උපයෝගී කරගත යුතුයි. අලුත් ආයෝජන තේරුම් ගෙන හවුල්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනෙ. රජයේ අයිතිය තබාගෙන අලුත් ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළක් කරා ගමන් කරන්න ඕනෙ. නව ආයෝජන තුළින් මේ ආයතන ලාභ ලබන ආයනන බවට පත් කරන්න ඕනෙ.
අපේ ප්‍රතිවාදි ඇත්තො කුමක් කීවත් මේ පුණ්‍ය භූමියේ එක බිම් අඟලක්වත් විකිණීමට අප කටයුතු කරන්නේ නැහැ. ඒක සෑම දෙනාම අවබෝධකර ගන්න ඕනෙ. මම කියන දේට කැමැති නැති ඇත්තො, පක්ෂය පිළිබඳව වැරැදි වැටහීම් නිර්මාණය කළ ඇත්තො මෙය ඇත්තද කියා පුනපුනා අහනවා. ඒ නිසා මම අපේ ගෞරවනීය මාධ්‍යවේදී තුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා මෙය නිවැරැදිව රටට ප්‍රකාශ කරන ලෙස. රටේ දේපළ විකුණන්නේ නැත. රටේ ඉඩම් සම්පත විකුණන්නේ නැත. මේවා සමහර ඇත්තන්ට අමිහිරි වන්න පුළුවන්. 16 දින මේ මැතිවරණයෙන් නිර්මාණය වන්නෙ අපේකම රටේකම සභ්‍යත්වය සංස්කෘතිය රජයන යුගයක්.
රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා ජනතා ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළා. දේශපාලන පළිගැනීම්, පිය පුතු රැකියා, දරු පරපුරට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැටලු, ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දුක කඳුළ ආදි ගැටලු අප විසදනවා. ගැටලු විසදීමට යෝජනා කර තිබෙන දින වකවානුවලට පෙර මේ කම්කරු ජනතාවගේ ප්‍රශ්න දෙස බලා කඩිනමින් යුතුකම් ඉෂ්ඨ කිරීම මගේ අරමුණයි.
කම්කරු ජනතාව පිළිබඳව ඇතැමුන් සිතන්නෙ පොඩි මිනිසුන් ලෙස. හැබැයි මගේ ඒකායන අරමුණ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව පොඩි මිනිසාගේ යුගය නිර්මාණය කිරීමයි. මට මේ රටේ කම්කරු ප්‍රජාවගෙන් අසන්න ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. රටේ ජනතාව ආණ්ඩු පත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. මොකක්ද රතු පස්වල සිදුවුනේ. එහි පොඩි මිනිස්සු ඉල්ලිමක් කළා. එය සාධාරණ ඉල්ලීමක්.ඔවුන් ඉල්ලුවේ මානව අයිතියක්. පිරිසුදු පානීය ජලය පිළිබඳව ඔවුන් කතා කළා. එයට ඔවුන්ට උත්තරය ලබා දුන්නේ ටී-56න්. එම ඇත්තන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෙ තවත් රතු පස්වලක් නිර්මාණය කරන්නද. ඔවුන් දැන් ඡන්දයක් තිබෙන නිසා බැටලු හම් පොරවාගෙන සිටිනවා. තමන් අහිංසක බව ඔවුන් ජනතාවට පවසනවා. රටේ ජනතාව ශක්තිය දුන්නොත් ඔවුන් බැටලු හම් ගලවනවා. එවිට වෘක ප්‍රතිපත්තිය එළියට එනවා.
අප ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනවා. සැමටම සවන් දීමට අප සූදානම්. මේ රටේ කම්කරු ජනතාව මාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරන විට වැටුප්, නිල නිවාස වත් මේ සජිත් ප්‍රේමදාස භාර ගන්නෙ නැහැ. අප ආදර්ශය දෙන්නෙ ඉහළ සිට.
තම අදහස් ඉදිරිපත් කරන විට උණ්ඩ ප්‍රහාරවලට ලක් වෙන්නද මේ රටේ මිනිසුන් ආණ්ඩු පත්කර ගන්නේ. කතිර ගහන්නේ වෙඩි කන්නද. කටුනායක හලාවත මොකක්ද එදා පාලනය යටතේ සිද්ද වුණේ. ඇන්තනී ප්‍රනාන්දු සහෝදරයාට මොකද කළේ.
මට ජනතාව දකින විට වැඩියෙන් පපුවට ඔක්සිජන් ලැබෙනවා. මට අවංක චේතනාවක් තිබෙනවා ජනතාවට වැඩියෙන් උදව් කරන්න. රටේ මේ දිනවල ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකාරී වැඩවර්ජන රැල්ල පිළිබඳව මා යමක් ප්‍රකාශ කරන්න ඕනෙ. කොළඹ,කොටුවේ රණවිරු ගැටලුව විසදීමට ක්‍රියා කරන විට හිටපු ජනාධිපතිවරයා එතනට පැමිණියා. මොකද හිටපු ජනාධිපතිවරයා දන්නවා මම වැඩ කාරයෙක් බව. එතුමා එම කාර්යය අවසන් කිරීමට යයි කියා ඔවුන්ට තැඹිලි වතුර පෙව්වා. මෙන්න මේ රටේ වැඩවර්ජන රැල්ලේ පීතෘවරයා. මහ මොළකරු. මේකයි ඇත්ත කතාව. මම විසදුම දෙන්නත් පෙර රණවිරුවන් ටික අතුරුදන් වුණා. දැන් කොටුවේ රණවරුවෝ ටික නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය දුටුවිට පුහුල් හොරා කරෙන් දැනේ සිහිපත් වෙනවා. මේ මහා වර්ජන රැල්ලේ හාම්පුතා හිටපු ජනාධිපතිවරයා බව පෙනෙනවා. මේ රටේ ජනතාව හිංසනයට පීඩාවට පත් කරන්න එපා කියා මම එතුමාට කියනවා.
මම ජනාධිපති වූ පසු වෙඩි නොවදින වාහන ගෙන්වන්නෙ නැහැ. මේ තිබෙන වාහන ඇති. අපරාධකාර වියදම් කරන්නෙ නැහැ.කම්කරු ජනතාව දිවි හිමියෙන් සුරකින්න රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලැහැස්තියි.
එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා -
මම මෙතනට ඇවිල්ලා බලන කොට මම දැක්කේ මේ හැම මහුණකම තියෙන්නේ විශාල බලාපොරොත්තුවක්. මේ දෑස් අයාලා බලාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත්වෙලා මේ රටේ තමුන්නාන්සේලාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරනකන් තමයි මේ හැමෝම බලාපොරොත්තු වෙලා ඉන්නේ. මම දැක්කා පසුගිය දවස්වල ජාතික සේවක සංගම්වල අපේ විවිධ වෘත්තීය සමිතිවල තිබුණු දේවල් කර ගන්න බැරිව එක්කො ඇමැතිවරයාගේ ප්‍රශ්නයක් එක්කො සභාපතිවරයාගේ ප්‍රශ්නයක් නැත්නම් නිලධාරීන්ගේ ප්‍රශ්නයක් තවදුරටත් උඩට ගියාම ඒක කැබිනට් එකෙන් නවතිනවා, මේ වගේ අපේ වෘත්තීය සමිතිවල ඉන්න ජනතාවගේ ඉල්ලීම් ඉෂ්ඨ කර ගන්න බැරිව දේශපාලන පත්වීම් ඉෂ්ඨ කර ගන්න බැරිව අපි කොතරම් වද වින්දද කියලා තමුන්නාන්සේලා දන්නවා.
මේ හැම එකටම උත්තරය දැන් ඇවිල්ලා තියෙනවා. 94න් පස්සේ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය නායකයෙක් හිටියේ නැහැ අපිට, යූ.ඇන්.පී ජනාධිපතිවරයෙක් පත් වුණේ නැහැ. අද මේ සියලුම දේවල් වලට තිත තබමින් අපේ පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්වෙන දවස වැඩි ඈතක නැහැ කියලා මම කියනවා. ඒ දිනය ළඟා වුණාම අපි දන්නවා තමුන්නාන්සෙලාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙනවා කියලා. අපිට පුළුවන්කම තියෙනවා ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න. පසුගිය කාලවල අපිට විවිධ මත වාද තිබුණා. මම මහලේකම්වරයා විදියට මම හැම මාධ්‍යයකම කැමරාවක් අල්ලපුවාම මම හැම විටකම කිව්වා ගොඩක් අයට වුවමනාව තිබුණා මේක බෙදන්න, හැබැයි අපි කිසිම බෙදීමකට යටත් වෙන්නේ නැතිව කිසිම බෙදීමක් වෙන්නේ නැතිව අපි ඔක්කොම එකතු වෙලා පක්ෂයත් ආරක්ෂා කරලා අපේ නායකයෝත් ආරක්ෂා කරනවා කියලා අපි කිව්වා. ඒ නිසා අපි ඔක්කොටම එකතු වෙන්න පුළුවන් වෙලා තිබෙනවා.
කිසිම බෙදීමකට නැතිව අද යූ.එන්.පී සද්ධන්ත කුලේ පක්ෂය අද හැමෝම එකට එකමුතු වෙලා අපේ නායකයෝ එකම වේදිකාවක ඊයේ තමුන්නාන්සෙලා දකින්න ඇති සම්මේලනය, අපි ඔක්කොම එකම කණ්ඩායමක් විදියට සටන ආරම්භ කරලා තියෙනවා. ඉතින් මොකක්ද අපිට තියෙන අමාරුව. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ටිකයි අනෙකත් සියලුම වතුකරේ වෙන්න පුළුවන් උතුරු නැගෙනහිර වෙන්න පුළුවන්, මැද පන්තියේ ඡන්ද වෙන්න පුළුවන්, මෙරටේ නිදහස අගයන හැම ඡන්දයක්ම වෙන්න පුළුවන් ඒ හැම ඡන්දයක්ම වැටෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයා කරන්න කියලා තමුන්නාන්සෙලාට අලුතෙන් කියන්න ඕන නැහැ.
අපිට ඉතා කෙටි කාලයයි තියෙන්නේ. මේ මැතිවරණ ප්‍රතිඵල මත මෙතුමා මේ රටේ ජනාධිපතිවරයා වුණාට පස්සේ අපි අවුරුදු දහයක් පහළොවක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් දිගටම යනවා කියලා තමුන්නාන්සෙලාට කියන්න ඕන. ඒනිසා තමුන්නාන්සෙලා ඒ ගමන යන්න මේ මාස එකහමාර තුළ සම්පූර්ණ කැපවීම දෙන්න. අපි හදවතින්නම දෙන්න පුළුවන් හැම කැපවීමක්ම අපි කරනවා දේශපාලනඥයෝ වශයෙන්. තමුන්නාන්සෙලා ඔක්කොම ගෙයින් ගෙට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා අපි දෙන පත්‍රිකාව ගෙයින් ගෙට ගිහිල්ලා අපේ ඡන්ද විතරක් නෙවෙයි අනිත් ඡන්දත් එකතු කරගෙන අපි විශාල ඡන්ද ප්‍රමාණයකින් අපි මේ සටන ජයග්‍රහණය කරන්න ඕන. ඒ සටන ජයග්‍රහණය කිරීමේ පියවරේ ප්‍රබල පියවරක් තිබෙනවා මේ ඔක්තෝම්බර් මාසයේ දහ වැනිදා. අපි එදා දින පනස් දෙක තුළ තමුන්නාන්සෙලා වැල නොකැඩී ඇවිත් ගෝල්ෆේස් පිටිය පිරෙව්වා.
එහෙනම් මේ දහ වැනිදා සජිත් ප්‍රේමදාස අපේ නියෝජ්‍ය නායකතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඒ පවත්වන ජන රැළියට ගෝල්ෆේස් පිටියට ඔක්තෝම්බර දහ වැනිදා සවස දෙකට තමුන්නාන්සෙලා සියලුම වෘත්තිය සමිති වලින් ලංකාවේ සියලුම වෘත්තීය සමිති කැදවලා ඒ ගොල්ලෝ එකතු කරලා සංවිධානය වෙලා තමුන්නාන්සෙලා ලක්ෂ්‍ය සංඛ්‍යාත ජනතාවක් මෙතනට ගේන්න ඕන. ඒ ගෙනැල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් තමුන්නාන්සේලාත් ජයග්‍රහණය කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ඇමැති වඩිවෙල් සුරේෂ් මහතා -
එක්සත් ජාතික පක්ෂය කියන්නේ ශක්තිමත් පක්ෂයක්. මෙවර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගැනීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සතුටට පත්වෙනවා. එතුමා පසුගිය වසර ගණනාවේදීම පියාගේ අඩිපාරේ යමින් දුප්පතාගේ දුක හඳුනාගෙන කටයුතු කළ තරුණ පළපුරුදු දක්ෂ දේශපාලනඥයෙක්.
මේ වනවිට වතුකරයේ ජනතාවගේ වැටුප් නිවාස ඇතුළු ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ලබාදීමට එතුමා සැලසුම් කර තිබෙනවා. මේ නිසා අපි මෙදා සැරේ වතුකර ජනතාවගේ මුස්ලිම් දෙමළ ඡන්ද ප්‍රතිශතය සියයට සියයක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එය ස්ථිර ලෙස ප්‍රකාශ කිරීමට හැකි අතර ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයාගේ ජයග්‍රහණය ස්ථිර කරනවා.
ඡායාරූප - සුලෝචන ගමගේ
0 Comments