Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 ලෝක ජනාවාස දිනය

අද (07) ලෝක ජනාවාස දිනයයි. 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත්කොට ඇත. 1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වූ ජැමෙයිකානු රාජ්‍යයේ කිංස්ටන් නුවරට රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම, සිය වාර්ෂික සැසි වාරයේ දී වාර්ෂිකව ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එවකට එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සිය ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින් ජගත් ජනාවාස දිනයක් පිළිබඳ අදහස ප්‍රථම වරට ජගත් මානව ජනාවාස සංවිධානය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එකී යෝජනාව තුළින් ප්‍රේමදාස මහතා අපේක්ෂා කරනු ලැබූවේ, ජාත්‍යන්තර නිවාස වසර තුළින් ලොව සෑම සියලු ජනකොටසකගේම අවධානය නිවාස හා ජනාවාසකරණය වෙත යොමු කර ගැනීමයි. එම අවස්ථාව වනවිටත් රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට පෙරදැරිව, 1987 වර්ෂය ජාත්‍යන්තර නිවාස වර්ෂය ලෙසින් ප්‍රකාශයට පත්කොට තිබේ. එය වඩාත් අර්ථ ගන්වමින් වාර්ෂිකව සමස්ත ලෝක ජනතාවගේ අවධානය නිවාස හා ජනාවාසකරණය කෙරෙහි යොමු කර ගැනීම මේ ලෝක ජනාවාස දින ක්‍රියාදාමය තුළින් අපේක්ෂා කරනු ලැබීය.

එදා අද කාලපරිච්ඡේදයේ ගත වූ වසර 33ක කාලය තුළ 1996 වසරින් ඇරැඹි ලෝක ජනාවාස දින සැමරුම, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විවිධ වූ තේමාවන් යටතේ සිදු කරනු ලැබීය. එහි ආරම්භක සැමරුම 1986 වසරේ ක්‍රියාත්මක වූයේ ‘නිවස මගේ අයිතියකි‘ නම්වූ තේමාව යටතේය. මෙකී කාලපරිච්ඡේදය තුළ ලොව ප්‍රමුඛතාව වූයේ, ජීවත්වන නිවෙසේ අයිතිය ලබා ගැනීම කෙරෙහි යොමු කරමිනි.

ඉන් අනතුරුව දශක තුනක කාලය තුළ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම වාර්ෂිකව ලෝක ජනාවාස දිනය සැමරුම සිදුකිරීමේ දී නිවාස හා ජනාවාසකරණයට තත්කාලීනව බලපෑ විවිධ වූ විෂය ක්‍ෂේත්‍රයන් සිය වාර්ෂික තේමාවන් ලෙසින් යොදා ගනු ලැබීය. එයින් අපේක්ෂා කරනු ලැබුවේ නිවාස හා ජනාවාසකරණයට විෂයානුබද්ධිත විවිධ තේමාවන් තුළින් ජනතාව හැකිතාක් දුරට නිවාස හා ජනාවාස වැඩසටහන සඳහා ජනගත කිරීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විෂයානුබද්ධිත සිය සංවිධාන දායක කර ගනිමින් විවිධ වූ ජාත්‍යන්තර දින සැමරුම් සිදු කෙරේ. එය වසර පුරා ලෝවැසි ජනතාව විසින් සිදු කරනු ලබයි. මේ බොහෝ සැමරුම් අදාළ දින වකවානුවලට පමණක් සීමාවන පරිදි ක්‍රියාත්මක වුවද, ලෝක ජනාවාස දින සැමරුමට නව අර්ථකථනයක් ලබාදෙමින් එය වඩාත් ජනතාවට සමීප ඵලදායී තිරසර වැඩසටහනක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ශ්‍රී ලාංකික නියෝජ්‍ය ආයතනය වනුයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයයි. ගත වූ දශක තුනකට අධික කාලය තුළ දී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ මඟ පෙන්වීමෙන් ජනාවාස දින වාර්ෂික තේමාවන් ශ්‍රී ලාංකික ජන සමාජයට ගැළපෙන අයුරින් ජනගත කරමින් එය වඩාත් ඵලදායී වූ වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාවට නැංවීම නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය නිරන්තරයෙන් ඉටු කර තිබේ.

1986 වසරේ එම වැඩපිළිවෙළ ආරම්භ වූ අවස්ථාවේදී නිවාස දසලක්ෂයේ වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර, ඒවා එම සංවර්ධන කාර්යයදාමය සඳහා නිවාස ගැටලුවට මුහුණපා සිටි දුගී දුප්පත් ජනතාව සමඟින් වූ අඩු ආදායම්ලාභී ජනකොටස් වඩාත් ඵලදායී අයුරින් මැදිහත්ව සිදුවිය. එකී ක්‍රියාවලියට අනුගතවෙමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පුළුල් ජනතා මෙහෙයුමක් සිදු කරමින් මෙරට නගරය ආශ්‍රිතව මිනිස් අත්වැලක් නිර්මාණයකොට, එයට ලැබුණු මූල්‍ය ප්‍රතිලාභ සෙවණ අරමුදලට එක්රැස්කොට දුගී දුප්පත් ජනතාව සඳහා වඩ වඩාත් නිවාස පහසුකම් සපයාදීමට කටයුතු කරනු ලැබීය.

ඉන් අනතුරුව ගත වූ කාලපරිච්ඡේදය තුළ ලෝක ජනාවාස දිනය, නිවාස හා ජනාවාසකරණය හා බැඳුණු විවිධ වූ තත්කාලීන තේමාවන් යටතේ වාවර්ෂිකව සමරනු ලැබීය. ආරම්භක වශයෙන් නිවෙස නිවෙසේ ජීවත්වන ප්‍රතිලාභියා නිවාසකරණය සඳහා තාරුණ්‍යයේ හා කාන්තා දායකත්වය නිවාස සංවර්ධනය සඳහා වූ තාක්ෂණික මැදිහත්වීම සමඟින් පසුකාලීනව නිවෙස හා පාරිසරික අවශ්‍යතාවන් ඉටු කරලීම වැනි කාර්යයන් මුල්කොට ලෝක ජනාවාස දින තේමාවන් ප්‍රකාශයට පත්විය.

මේ සෑම අවස්ථාවකදීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් ගෙනදෙමින් ශ්‍රී ලංකාව ජනාවාස දින වාර්ෂික සැමරුම් සිදු කළ අතර, එය හැකිතාක් දුරට මෙරට ක්‍රියාත්මක වූ නිවාස හා ජනාවාස වැඩසටහන්හි තිරසර බව ඇති කරලීමට දායක කර ගැනීම එහිලා ඇති විශේෂිත ලක්ෂණයයි.

ඒ සියලු කාර්යයනට සමගාමීව ගත වූ දශක තුනක කාලපරිච්ඡේදය තුළ ලෝක ජනාවාස දිනයත්, ඉන් අනතුරුව එහි ක්‍රියාකාරීත්වයත් එකී වැඩපිළිවෙළේ වැදගත්කමත් සමාජයේ සියලු ජනකොටස් අතර ‍භේදයක් හෝ තරාතිරමකින් තොරව ජනතාව අතරට රැගෙන යෑමට ලෝක ජනාවාස දින වැඩපිළිවෙළ සමත්ව තිබේ. මෙරට ජීවත්වන වැඩිහිටියන්, ගෘහණියන්, තරුණ පිරිස් දරු දැරියන් අතරට ලෝක ජනාවාස දින අදහස වඩාත් ඵලදායී අයුරින් රැගෙන යෑමට නොකඩවා වූ වාර්ෂික ක්‍රියාකාරි වැඩපිළිවෙළක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මුල්කොටගත් ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙහි දී දරු දැරියන්ගේ නිර්මාණාත්මක හැකියාවන් දායක කර ගනිමින් ජනාවාස දින තේමාව මුල්කොට සෑම වසරකම දීප ව්‍යාප්තව චිත්‍ර, රචනා වැනි නිර්මාණාත්මක කටයුතු තරගකාරි ස්වරූපයකින් පැවැත්වීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරනු ලැබීය. මෙයින් අපේක්ෂා කරනු ලැබුවේ, සිය නිවහන හා ජීවත්වන ජනාවාසයේ ක්‍රියාකාරීත්වය සඳහා දරු දැරියන්ගේ වඩාත් මත විමසුම මේ වාර්ෂික ජනාවාස දින තේමාව පදනම්කොට මතුකරලීමයි. එය ඉතා සාර්ථක වූ බව ජනාවාස දින සැමරුම් ක්‍රිායකාරීන් දෙස ආපසු හැරී බැලීමේ දී පෙනී යයි. විශේෂයෙන් පාසල් දරු දැරියන් විසින් ඉදිරිපත් කළ වඩාත් ඵලදායී වූ යෝජනා බොහෝවිට වැඩිහිටියන් විසින් ක්‍රියාත්මක කළ යුතු අදහස් වූ අතර, මෙකී ක්‍රියාදාමය හේතුවෙන් එවන් වූ කාර්යයන් වැඩිහිටියන් සහ දරුවන් සමඟින් ව්‍යාප්තව සිදු කිරීමට හැකියාව ලැබේ.

මෙවර ලෝක ජනාවාස දින තේමාව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සැම සියලු රටක්ම එහි ජීවත්වන ජනකොටසක්ම මුහුණපාන මූලික අභියෝගයක් තේමාකොට ක්‍රියාත්මක වේ. නවීන තාක්ෂණ ශිල්ප ක්‍රම නව ප්‍රවේශයක් කර ගනිමින් අපද්‍රව්‍ය ධනයක් කර ගනිමු යන්න මෙවර ලෝක ජනාවාස දින තේමාවයි. ගෘහයක ජීවත්වන නිවාසලාභීන් විසින් දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් සිදුවන හානිය අද විශාල ප්‍රමාදයකට හේතුවී තිබේ. මෙවන් වූ අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන ඒවා නිසි කළමනාකරණයකට යොමු කර ගැනීම සඳහා විශාල මුදල් සම්භාරයක් ආයෝජනය කිරිමෙන් අදාළ කාර්යයයේ නිරත වේ.

මෙවර ලෝක ජනාවාස දිනයේ දී විශේෂිත අවධානයක් යොමුවී ඇත්තේ අපද්‍රව්‍ය, හුදෙක් කවර හෝ අයුරකින් බැහැර කිරීම වෙනුවට එය කිසියම් ප්‍රතිනිර්මාණ කටයුත්තක් තුළින් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කර ආදායමක් ඉපැයීමේ කාර්යයදාමයකට යොමු කිරීමයි. ලොව බොහෝ රටවල මේ අපද්‍රව්‍ය, ආදායම් ඉපැයීමේ ක්‍රමවේදයක් බවට පත් කර තිබේ. අපද්‍රව්‍ය භාවිතය තුළින් ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ. ලොව සෙසු රටවල හා සැසඳීමේ දී මේ කාර්යයදාමය ශ්‍රී ලංකාව තුළ අවම ප්‍රමාණයකින් ක්‍රියාත්මක වුවද, සැබෑ ලෙසින්ම අපද්‍රව්‍ය සියල්ල නිසි ආදායම උපද්දන කාර්යයදාමයක් බවට පත් කරන නව ප්‍රවේශයන් ලොව හඳුනාගෙන තිබේ. එනයින් බලන කල මෙවර ලෝක ජනාවාස දින තේමාව අතිශයින් වැදගත්වන අතර, එය වර්තමානයේ නිවාස හා ජනාවාසකරණයේ සිට සැබෑ ලෙසින්ම සාකච්ඡාවනට බඳුන් විය යුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙළකි.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයාගේ මඟ පෙන්වීමෙන් පසුගිය වසර 05කට අධික කාලපරිච්ඡේදයක් තුළ මෙරට ක්‍රියාත්මක වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 2500කට අධික ප්‍රමාණයක සංවර්ධන කාර්යයන් ආරම්භ කර ඇති අතර, ඒ සෑම නිවාස ව්‍යාපෘතියක් ආශ්‍රිතව බැහැර කරන්නා වූ අපද්‍රව්‍ය නිසි අයුරින් කළමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම මෙවර ලෝක ජනාවාස දින තේමාව වඩාත් බුද්ධිමත් අයුරින් පූර්ව සූදානමක් යටතේ ආරම්භ කළ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වාදිය හැකිවේ.

ගත වූ කාලපරිච්ඡේදය තුළ මෙන් ශ්‍රී ලංකාව ලෝක ජනාවාස දින සැමරුම හුදෙක් සීමිත ව්‍යාපෘති කාර්යයනට හෝ සැමරුම් උත්සවයනට පමණක් සීමා කර නැත. එය වඩ වඩාත් ශ්‍රී ලාංකික ජනාවාස වැඩපිළිවෙළ ජනතාවට සමීප කරන, ඔවුන් ඒ සඳහා වඩාත් ඵලදායී අයුරින් යොමු කරන වැඩසටහනක් බවට මෙවර ද ලෝක ජනාවාස දිනය යොමු කර තිබේ. ඒ අනුව ලෝක ජනාවාස දිනයට පෙර සතියක කාලය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි ජනාවාස සතිය ලෙසින් ප්‍රකාශ කර ඇති අතර, එම කාලපරිච්ඡේදය තුළදී දිවයින පුරා අංගසම්පූර්ණ ලෙසින් නිර්මාණය වූ ආදර්ශ ගම්මාන සියයක් නිවාසලාභීන්ගේ අයිතියට පත්කරලීම මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් සිදු කරන වැදගත්ම රාජකාරිය වේ.

ලෝක ජනාවාස දින සැමරුමට වසර 33 ක් ගතව තිබේ. දශක තුනක කාලපරිච්ඡේදය තුළ ලොව කිසිම අයුරකින් ශ්‍රී ලංකාව තුළ නිවාස හා ජනාවාසකරණය සම්බන්ධයෙන් විවිධ වූ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ තුළින් ප්‍රතිලාභ හිමි වූ අතිවිශාල ජනතාවකට ලෝක ජනාවාස දින සැමරුම හැමවිටම හුදෙක් එක් සැමරුම් දිනයක් පමණක් නොවේ. එය සැබෑ ලෙසම තමන්ගේ නිවාස හා ජනාවාස ගැටලුවට විසඳුමක් සොයන, සිය දිවිපෙවෙත පුරාම මතකයේ රැඳෙන සැමරුම් දිනයක් වේ. එදා මෙන් අදත් අනාගතයේ එළැඹෙන ලෝක ජනාවාස දිනයේදීත් ජනාවාස දින සරමැම් කාර්යය සිදුවිය යුත්තේ ඒ අයුරිනි. එයයි, ඵලදායී ජනාවාස දින සැමරුම.

 

ලක්විජය සාගර පලන්සූරිය
සභාපති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();