Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෂහීඩ් හිල්මි-ජෝශප් රොෂිටා සභාපති කුසලාන කැරම් ශූරතා දිනති

කේවල ශූරි­යවූ ජෝශප් රොෂිටා සහ අනු­ශූ­රිය චලනි ලක්මාලි / කේවල ශූරයා ෂහීඩ් හිල්මි (වමේ) සහ අනු­ශූ­රයා වූ නිශාන්ත ප්‍රනාන්දු

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කළ 19 වැනි සභාපති කුසලාන කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි සමත් වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය.

පිරිමි කේවල අවසන් තරගයේදී හිල්මි හමුවේ හිටපු කැරම් ලෝක ශූර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු ලකුණු 25/02 සහ 25/12 ලෙස පරාජයට පත්විය. ප්‍රනාන්දු පසුගිය වසරේ මේ තරගාවලියේ ශූරතාව දිනාගත් ක්‍රීඩකයා වෙයි.

ජෝශප් රොෂිටා කාන්තා කේවල ශූරතාව දිනා ගත්තේ පසුගිය වසරේ මේ තරගාවලියේ ශූරිය මෙන්ම මෙවර ජාතික ශූරතාව දිනාගත් චලනි ලක්මාලි ලියනගේ වට 2-1කින් පරාජය කරමිනි. එහි ලකුණු තත්ත්වය වූයේ 25/24, 11/25 සහ 25/12කි.

ලක්මාලි මේ වසර මුලදී පැවැති ග්‍රෑන්ඩ්ස්ලෑම් තරගාවලියේ ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවද වන අතර ඇය හමුවේ එම තරගාවලියේ අවසන් තරගයේදී ජෝශප් රොෂිටා පරාජයට පත්වූවාය.

ශූරිය වූ ජෝශප් රොෂිටා, චලනි ලක්මාලි සමග එක්ව කාන්තා යුගල ශූරතාවද දිනා ගත්තේ මේ තරගාවලියේ ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කියමිනි.

පිරිමි කේවල තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එම්.ෂෙරීෆ්ඩීන්ටද, කාන්තා කේවල තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ෂානි රණවීරට හිමිවිණි.

‘වයිට් ස්ලෑම්’ හා ‘බ්ලැක් ස්ලෑම්’ (ප්‍රතිවාදියාට අවස්ථාව නොදී තරගවාරයක් නිමා කිරීම්) හතකින් මේ තරගාවලිය වර්ණවත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සමත් වුහ.

ෂහීඩ් හිල්මි සහ එම්.ෂෙරීෆ්ඩීන් ‘ස්ලෑම්’ දෙක බැගින්ද, ඩබ්ලිව්.එම්.මුෆීෂ්, හසිත අනුරුද්ධ සහ ජෝශප් රොෂිටා ‘ස්ලෑම්’ එක බැගින් වාර්තා කළහ.

පසුගිය වසරේ සම්මේලන කුසලාන කැරම් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කැරම් සම්මේලන ශ්‍රේණිගත කිරීම්හී අංක 01 ස්ථානය හිමිකර ගත් හිල්මි මේ පළමු වරට වසරේ ජාතික කැරම් ශූරතාවද දිනාගත් අතර, මේ තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රේණිගත ලකුණු 100ක් ලබා තවදුරටත් ශ්‍රී ලංකා කැරම් සංචිතයේ අංක 01 ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

දෙල්කඳ ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති මෙම සභාපති කුසලාන කැරම් ශූරතාවලිය සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් හාරසීයකට අධික පිරිසක් සහභාගී වූහ.

තරග ප්‍රතිඵල

කේවල: පිරිමි - ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය), 2.නිශාන්ත ප්‍රනාන්දු (නාවික හමුදාව), 3එම්.ෂෙරීෆ්ඩීන් (යුද හමුදාව), කාන්තා - ජෝශප් රොෂිටා (නාවික හමුදාව), 2.චලනි ලක්මාලි (ගුවන් හමුදාව), 3.මධුකා දිල්ෂානි රණවීර (යුද හමුදාව)

යුගල: පිරිමි - උදේශ් චන්දිම/දිනෙත් දුලක්‍ෂණ (ගුවන් හමුදාව), 2.හසිත අනුරුද්ධ/එවෝන් වික්‍රමසිංහ (ගුවන් හමුදාව), 3.අනාස් අහමඩ්/සුරාජ් මධුවන්ත (යුද හමුදාව), කාන්තා - 1.ජෝශප් රොෂිටා/චලනි ලක්මාලි (නාවික හමුදාව/ගුවන් හමුදාව), තස්මිලා කාවින්දි/නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා), 3.සසිකා සඳමාලී/රෙබෙකා ඩැල්රින් (යුද හමුදාව)

නිරෝෂාන් ප්‍රියංකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();