කතානායක කරු ජයසූරිය
කහ සිවුරට බුද්ධ චීවරයට සැමගේ ගෞරවය හිමිවුවත් ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේලා මහ පාරේ හැසිරෙන ආකාරය දුටු විට කනගාටුවක් මෙන්ම කළකිරීමක් ඇතිවන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
මෙවනි දේ පිළිබඳ විදෙස් රටවල පිරිස් විවිධ විවේචන එල්ල කරන බවත් එනිසා උතුම් චිවරයේ ගෞරවය ආරක්ෂා කළ යුතුයැයි හෙතෙම කීය.
මහනුවර බෝධිමඵ විහාරය ඇතුළු සිවු මහා විහාරයන්හි විහාරාධිපති මහෝපාධ්‍යාය නියංගොඩ සමිද්ධි මංගල හිමියන්ට උඩරට අමරපුර මහා නිකයේ අනුනායක ධුරයේ අක්ත පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බැව් කීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මෙය පැවැත්විණි.
සමහර තරුණ භික්ෂූන් වහන්සේලා රැවුල වවාගෙන කොණ්ඩ අවුල් කැරගෙන සිවුර කඩාගෙන මහමග පොලීසිය සමග ගැටෙන අන්දම දකින බවත් එය රටට මෙන්ම සම්බුද්ධ ශාසනයට හානියක් බවත් කතානායකවරයා මෙහිදී පැවසීය. මේනිසා තරුණ භික්ෂූන් නිසි මගට ගැනීම උගත් නායක හිමිවරුන්ගේ යුතුකම බවද ඒ මහතා කීය.
මෙහිදි වැඩිදුරටත් කතා කළ කරු ජයසූරිය මහතා මෙසේද පැවසීය. අභිනව අනුනායක හිමිපාණන් වහන්සේට මෙම පදවිය හිමිවූයේ ඉල්ලා හෝ උන් වහන්සේ යෝජනා කිරීමෙන් නොවේ. නාහිමියන් විසින් සිදු කළ අසීමිත ශාසනික සමාජීය සේවාව අගය කරමින් මෙන්ම නාහිමියන්ගේ හැකියාව දක්ෂකම සලකමින් උඩරට අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ කාරක සංඝ සභාව මගින් මෙම අනුනායක පදවිය පිරිනමනු ලැබුවා.
පදවි තානාන්තර ලබා ගැනීමේදි යුතුකම් හා වගකීම් තිබෙන බව ගිහියන් ලෙස අපි දන්නවා. යුතුකම් ලෙස අපි දකින්නේ සමාජයේ මෙන්ම ශාසනයේ උන්නතිය වෙනුවෙන් මෙම ලැබුණු අලුත් පදවිය අභිනව නාහිමියන් නිසි අකාරයෙන් යොදා ගනිමින් අද සමාජය රට බලාපොරොත්තුවන සේවාව ඇති කිරීමයි.
අද ගිහි සමාජයේ විශාල පිරිහීමක් ඇතිව තිබෙනවා. උදෑසන පුවත්පත් රූපවාහිනිය බලන විට අපිට එන්නේ මහත් වේදනාවක්. පසුගිය දින කිහිපය තුළ අපි දැක්කා තමුන්ගේ මවු උදැල්ලෙන් ගසා මරා දමලා තිබෙනවා. තමන්ගේ දරුවෝ මරලා වලදාපු දෙමාපියන් ඉන්නවා. තමන්ගේ පවුලේ අය මරා දාපු සහෝදරයන් ඒ අතර ඉන්නවා. අහිංසක දරුවන් විනාශ වන අයුර අපි දැක්කා. මේ වගේ විශාල සමාජ පිරිහීමක් තිබෙනවා.
ඒ වගේම සුරාව සුදුව කුඩු සංස්කෘතිය නිසා අහිංසක ජීවිත පවුල් පිටින් විනාශ වෙනවා. මේවා අපි සැකසිය යුතුයි වෙනස් කළ යුතුයි. මේ වෙනුවෙන් රජය ඉන්නවා පොලීසිය වැනි ආයතන තිබෙනවා. සියල්ලට වඩා මේ අය හරි මගට ගන්නට ඔවුන්ගේ මනස සැකසිය යුතුයි. ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට විශාල හැකියාවක් තිබෙනවා. වසර දහස් ගණනක් මහ සඟරුවන ඒ කාර්යය කළා සේ ඉදිරියටත් කළ යුතුව තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ යහ සමාජයක්. වසර ගණනකට පෙර එය අපිට තිබුණා. මේ සදහා ප්‍රධාන තැන වුණේ ගමේ පන්සලය. එහිදි පුදුම සමගියක්. එකමුතුකමක් තිබුණා. විවිධ හේතූන් මත එය අද නැවතිලා තිබෙනවා. මුදල් වලටම යටවුණු වානිජ සමාජයක් ඇති වුණාම එය වෙනවා. රට එක් පැත්තකින් ඉස්සරහට යන විට තවත් පැත්තකින් පසු පසට යන අවස්ථා තිබෙනවා.
අද ලෝකයේ බෞද්ධ දර්ශනය සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. ලෝකයේ රාජ්‍ය නායකයන්, වෘත්තීයවේදීන්, උගත් බුද්ධිමතුන් කලාකරුවන් අද විශාල ලෙස බෞද්ධ දර්ශනය දෙස බලනවා. ආතර් සි ක්ලාක් මහතා එදා කිවා තව වසර ගණනකින් වැඩිම ඉල්ලුම තිබෙන දර්ශනය බෞද්ධ දර්ශනය කියා. අද ඒ ඉල්ලුම විශාල ලෙස ලැබෙමින් පවතිනවා. පුදුම විදිහේ ඉල්ලුමක් ඒ සඳහා තිබෙනවා මේ පිපාසය සංසිදුවීම සදහා මහා සංඝරත්නයට විශාල කාර්යක් තිබෙනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා භාවනා කළා. ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා මහත් ආඩම්බරයෙන් ඉන්දියාව හදුන්වන්නේ බුදුන්ගේ දේශය කියායි.
අද විශ්වවිද්‍යාලවල භාවනවා එක් අංගයක් බවට පත්ව තිබෙනවා. විශාල ඉල්ලුමක් බෞද්ධ දර්ශනයට තිබෙන මේ මොහොතේ අපි ධර්ම දානය ලෝකයට දිය යුතුයි. ථේරවාදී බුදු දහම තිබෙන රටක් මෙන්ම බෞද්ධ දහමට නායකත්වය දෙන රටක් ලෙස ලංකාව ඒ කාර්යට පෙරමුණ ගත යුතුයි.
මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි, උඩරට අමරපුර මහා නිකායේ ජේෂ්ඨ අනුනායක ජපානයේ ප්‍රධාන සංඝ නායක යාලගමුවේ ධම්මිස්සර, මහාචාර්ය වරදිවෙල විජේසුමන පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි විහාරාධිපති උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම, වයඹ දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක යටිරාවන සීලානන්ද යන හිමිවරු අතුළු නාහිමිවරුන් පිරිසක්ද මෙහිදි කතා කළ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්, උතුරු මැද ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, ශ්‍රී දළදා මාළිගවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑළ, මහනුවර පුරපති කේසර සේනානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් මේ සදහා එක්වූහ.
වරකාපිටියේ සරණ හිමි හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී ජෙෂ්ඨ කථීකාචාර්ය ඉන්දික ඉහළගෙදර මහතා සංස්කරණය කරන ලද යතිවර පූජා ශාස්ත්‍රීය ග්‍රන්ථය පිළිගැන්වීමද මෙහිදි සිදුවිය.
ඉන්දික පොල්කොටුව
0 Comments