Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහවැලි තාරුණ්‍යයේ ජවය සොයන මහා ක්‍රීඩා මංගල්‍යය සති අන්තයේ

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

සමාප්ති උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

මහවැලි කලාපයේ වෙසෙන ගොවි දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා උරගා බැලෙන මහා ක්‍රීඩා මංගල්‍ය හෙවත් මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 7-8 දෙදින මැදිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එම කලාපයේ ජීවත්වන තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවා, ඔවුන් පුහුණු කිරීම, ජාතික හා ජාත්‍යන්තර තලයට හඳුන්වාදීම, මහවැලි කලාප තුළ සමගිය, සහයෝගය ඇති කිරීම හා අත්දැකීම් බෙදා ගැනීමේ කරුණු අරමුණු කරගනිමින් හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් මත වසර 1986දී ආරම්භ වූ මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 31 වැනි වරටය.

ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන මේ ක්‍රීඩා උළෙලේදී මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000කට අධික පිරිසක් තරග වැදීමට නියමිතය. මේ තරගාවලිය මූලික වටයට මහවැලි ක්‍රීඩා සමාජ 287ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 15000කට වැඩි පිරිසක් එක්වූ අතර කලාප මට්ටමින් ජයග්‍රහණ ලැබූවන් අවසන් තරගවලට එක්වෙති.

ක්‍රීඩා උළෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (4) කොළඹ 7 මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ දයාශ්‍රිත තිසේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ තිසේරා මහතා පැවැසුවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව සඳහා මෙවර තරගාවලියේදී විශේෂ අවධානයක් යොමු කරන බවත්, පළමු වරට මේ ක්‍රීඩා උළෙලට හෑන්ඩ්බෝල් ක්‍රීඩාව හඳුන්වාදෙන බවත්ය.

‘මේ තරගාවලියේදී ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවට පූර්ණ සහයෝගය දෙමින් මහවැලි වොලිබෝල් කණ්ඩායමක් සකස් කිරීමට අපි කටයුතු කරනවා. ඒ සමගින් කබඩි සහ හැන්ඩ්බෝල් ද මෙවර තරගාවලියේදී හඳුන්වා දෙනවා වගේම ඒ ක්‍රීඩා දෙකත් ඉදිරියට ගෙනයන්න වැඩ පිළි‍වෙළක් සකස් කරනවා.’

‘මහවැලි කලාප වල ජීවත් වන ගොවි දූ දරුවන්ගේ දක්ෂතාවයන්, කුසලතාවයන් නගා සිටුවීමට මහවැලි අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දැඩි ප්‍රයත්නයක්, වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න මට උපදෙස් දුන්නා. ඒ වගේම අපේ රාජ්‍ය ඇමැතිතුමන් වන මානප්පෙරුම ඇමැතිතුමත් අපි සමග අත්වැල් බැඳගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබා දෙනවා.’ තිසේරා මහතා පැවැසීය.

‘අපේ ප්‍රධාන බලාපොරොත්තුව ගම් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දීමයි. සැගවී සිටින දක්ෂතා සහ කුසලතා තිබෙන දුවාදරුවන් ඉදිරියට ගෙනෙමින් ඔවුන්ගෙන් මේ රටට සහ ක්‍රීඩාවෙන් කීර්තිනාමයක් ලබාදීමට තමයි ජනාධිපතිතුමා අපට උපදෙස් ලබාදී තිබෙන්නේ. ඒ වගේම අද රට තුළ තිබෙන මත්ද්‍රව්‍ය සහ දු දරුවන් ඇබ්බැහිවී ඇති නොයෙකුත් නරක පැතිවලින් ඔවුන් මුදා ගැනීමටත් කටයුතු කරන්න කියලා අපට උපදෙස් දීලා තියෙනවා.‘ තිසේරා මහතා කියා සිටියේය.

ප්‍රවීණ මලල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා සහ මහවැලි සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) ශ්‍රියානි මල්ලිකා හපුතන්ත්‍රී මහත්මියද මෙහිදී අදහස් දැක්වූහ.

මේ ක්‍රීඩා උළෙලට පළමු වරට එක්වන හෑන්ඩ්බෝල් ක්‍රීඩාවේදී ජයග්‍රාහකයන් තෝරා නොගැනෙන අතර එම තරග ප්‍රදර්ශන තරග ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

1986 වසරේ ගල්නෑවේදී ආරම්භ වූ ක්‍රීඩා උළෙල එතැන් සිට 2012 දක්වා අඛණ්ඩව පැවැති අතර 2013 සහ 2014 වසරවල ක්‍රීඩා උළෙල අත්හැර දැමුණි. නමුත් නව රජය පත්වීමෙන් පසු යළිත් 2015 වසරේ ආරම්භ කළ ක්‍රීඩා උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සෑම වසරකම උත්කර්ෂවත් ලෙසින් පැවැත්වේ.

මහවැලි කලාප 7කින් ඇරැඹි මේ ක්‍රීඩා උළෙල මේ වනවිට කලාප 10 ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර මේ තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තරට බිහිවී තිබේ.

රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ (වික්ටෝරියා) සහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ධාවන ශූරියක වන ශ්‍රීයානි කුලවංශ ද මහවැලි ක්‍රීඩා උළෙල නියෝජනය කර තිබේ.

මෙවර තරගාවලියේ මේ වනවිට පෙරමුණ ගැනීමට එච් කලාපය සමත්ව සිටී. දෙදිනක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ සමාප්තිය සහ ජය සංකේත ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();