Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක කුසලාන රග්බි තරගමාලාව ඇරැඹේ

ස්කොට්ලන්තය පරදවා අයර්ලන්තය සාර්ථක ගමනක

ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 27-3ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් යෝකහාමා ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන රග්බි තරගමාලාවට කදිම ආරම්භයක් ලබා ගැනීමට අයර්ලන්තය සමත්විය.

ජේම්ස් රයන්, නායක රොරී බෙස්ට් සහ ටැග් ෆර්ලෝන්ගේ ජවසම්පන්න උත්සාහක දිනුම් තුනකට පින්සිදු වන්නට තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 19-3කින් පෙරමුණ ගත් අයර්ලන්තය දෙවැනි භාගයේදී ස්කොට්ලන්ත ක්‍රීඩකයන් ඇද බැඳ තබාගනිමින් තරගය ජයගත්තේ ඇන්ඩෘ කොන්වේ තැබූ අලංකාර උත්සාහක දිනුමකුත් සමගය. තරගයේ පළමු භාගයේ 5 වැනි මිනිත්තුවේදී රයන්ගේ උත්සාහක දිනුම වාර්තා වූ අතර නායක බෙස්ට් 13 වැනි මිනිත්තුවේදී දෙවැනි උත්සාහක දිනුම තැබුවේය. අයර්ලන්තයට තුන්වැනි උත්සාහක දිනුම ෆර්ලෝන්ග් ගෙන දුන්නේ තරගයේ 24 වැනි මිනිත්තුවේදීය. ජොනී සෙක්ස්ටන් සහ කොනොර් මරේ උත්සාහක දිනුම් 2ක් ගෝල බවට පත් කළ අතර 55 වැනි මිනිත්තුවේදී වාර්තා වූ කොන්වේගේ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් නොවිණි.

උත්සාහක දිනුම් 4න් දෙකක්ම ගෝල බවට පත්වෙද්දී ජැක් කාර්ටි තරගයේ 67 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් ද සාර්ථක කරමින් අයර්ලන්තයේ ජය තහවුරු කළේය. අයර්ලන්තයේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ අසරණ වූ ස්කොට්ලන්තයට රැස් කිරීමට හැකිවූයේ දඬුවම් පහරක් මගින් 20 වැනි මිනිත්තුවේදී ග්‍රෙග් ලේඩ්ලෝ ලබා දුන් ලකුණු 3 පමණි.

වසර හතරකට වරක් ලෝක රග්බි පිටිය උණුසුම් කරන රග්බි ලෝක කුසලාන තරගමාලාවේ 9 වැනි තරගමාලාව ජපානයේදී පසුගියදා ආරම්භ වූයේ රටවල් 20ක විශිෂ්ට කණ්ඩායම් තරග බිමට එක් කරමිනි. මේ තරගමාලාව පැවැත්වෙන්නේ මීට වසර 196කට පෙර එංගලන්තයේ රග්බි පාසලේ පැවැති පාපන්දු තරගයක් අතරතුර නීතිවිරෝධී ක්‍රීඩා රටාවක නිරතවෙමින් පන්දුව අතින් රැගෙන ගෝල් කණුව වෙත දිව ගිය විලියම් වෙබ් එලිස්ගේ නමින් පිරිනැමෙන කුසලානය වෙනුවෙනි. එලිස්ගේ ක්‍රියා කලාපය නිසා ලොවට දායාද වූ මේ රග්බි ක්‍රීඩාවට ඒ නම තැබුවේ ද ඔහු රග්බි නමැති පාසලේ සිසුවකුව සිටි නිසාය.

ලෝක කුසලාන රග්බි තරගමාලා ඉතිහාසයේ මෙතෙක් පැවැති තරගමාලා 8ක් අතරින් නවසීලන්තය තුන්වතාවක් කුසලානය දිනාගැනීමට සමත්වූ අතර ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව දෙවතාව බැගින් වෙබ් එලිස් කුසලානයට හිමිකම් කීවේය. එංගලන්තය ද එක් වතාවක් එලිස් කුසලානය අතට ගැනීමට සමත්විය.

වසර 2011 සහ 2015 තරගමාලා ජයගත් නවසීලන්තය පිට පිට තුන්වැනි වරටත් කුසලානය හඹා යන අතර ආසියාවේ පළමු වරට පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගමාලාවේ කුසලානය ආසියාවේම රඳවා තබා ගැනීමට සත්කාරක ජපානය දැඩි උත්සාහයක නිරතවනු ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();