Ticker

6/recent/ticker-posts

Header Ads Widget

23වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සාර්ථකව

අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 23වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල 2018/19, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) කොළඔ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකව පවත්වන ලදි.

1981 වසරේ දී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වඩාත්ම කීර්තිමත් සම්මානය වන අතර, අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් එය ප්‍රදානය කෙරේ.

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා, ඉන්දිරා මල්වත්ත මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධාන කරනු ලැබූ මේ උළෙලේ දී, විශේෂ සම්මාන 14ක් හා භාණ්ඩ හා සේවා ඛාණ්ඩ 42ක් සඳහා ආංශික සම්මාන 42ක් ද වශයෙන් සම්මාන 56ක් ප්‍රදානය කරන ලදි. මීට අමතරව, භාණ්ඩ හා සේවා ඛාණ්ඩ 42ට අදාළව කුසලතාපූර්ණ අපනයනකරුවන් සඳහා කුසලතා සම්මාන 33ක් ප්‍රදානය කිරීමට ද මෙවර සම්මාන උළෙලේ දී කටයුතු සූදානම් කරන ලදි.

ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී ‘වසරේ අපනයන සමාගම් සමූහය” සඳහා වූ සම්මානය මාස් හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගම දිනා ගැන්මට සමත් වූ අතර, බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සමාගම වසරේ ‘වසරේ අපනයනකරු” සම්මානය දිනා ගත්තේය. ජනාධිපති අපනයන සම්මානය වූ කලී, ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානයයි. මෙවර සම්මානලාභීන් තෝරා ගැනීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් මගින් සිදුකරන ලදි. සම්මානලාභීන් තෝරා ගැනීමේ දී 2018/19 මූල්‍ය වර්ෂයට අදාළව ඒ ඒ අපනයනකරුවන් විසින් උපයන ලද පිරිවැටුමට අමතරව, වෙළෙඳ පොළ විවධාංගීකරණය, රැකියා උත්පාදනය, නිෂ්පාදන ක්‍රියාවලියේ දී වටිනාකම් එකතු කිරීම හා පසුගිය වසරට සාපේක්ෂව අපනයන වර්ධනය ආදි නිර්නායකයන් ද සැලකිල්ලට ගන්නා ලදි.

මෙවර සම්මාන උළෙල සඳහා සම්මානලාභීන් ඇගයීමේ කාර්යය වඩාත් විධිමත්ව හා පූර්ණ විනිවිදහාවයෙන් යුතුව සිදු කිරීම සඳහා Ernst & Young ආයතනය ‘දැනුම සහකරු” (Knowledge Partner) වශයෙන් කටයුතු කළ අතර, ඔවුන් විසින් සමස්ත ඇගයීම් ක්‍රියාවලිය විගණනයට ලක් කරන ලදි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();