ඇවන්ගාඩ් නඩුවේ චෝදනාවලින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු නිදහස් කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් නොලැබීම හේතුවෙන් අදාළ නඩුව මේ මස 23 වන දා යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේ ය.
ඒ කොළඹ අතිරේක මහේස්ත්රාත් තනූජා ජයතුංගගේ නියෝගයකට අනුවයි.
අභියාචනාධිකරණ තීන්දුවේ පිටපතක් ලබා ගන්නා ලෙස අතිරේක මහේස්ත්රාත්වරිය ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට මෙහිදී නියෝග කලේය.
ගෝඨාභය රාජපක්ෂ ගොනු කර තිබූ පෙත්සමක් පසුගිය 12 වන දා සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන අය නියෝග කළේ සැකකරුවන් නිදහස් කිරීමට ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
රාජපක්ෂ ඇතුළු 08 දෙනෙකුට අල්ලස් කොමිසම මහේස්ත්රාත් අධිකරණයේ නඩු පැවරුවේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවකාශ සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමිනි.
0 Comments