එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ ලන්ඩනයේ කේවින්ටන් ඕවල් පිටියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් ලකුණු 104ක ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
දකුණු අප්‍රිකානු පිලේ ඇරැයුම් ලබා පළමුව පන්දුවට පහරදෙමින් එංගලන්තය ලබාදුන් ලකුණු 312ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානුවන්ට ඕවර 39.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 207ක් පමණි.
තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගයේ වීරයා වූ බෙන් ස්ටොක්ස් පිට පිට පන්දු දෙකකින් දකුණු අප්‍රිකානු අවසන් කඩුලු 2 බිඳ දැමූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ජොෆ්රා ආචර් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් එංගලන්තය ජය මාවත විවර කළේය.
ලකුණු 312ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 2ක් ලකුණු 44ක් තුළ බිඳ වැටී තිබියදී ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සමග එක්වූ රෙසී වැන් ඩර් ඩුසෙන් ඉනිමේ ඉහළම සබඳතාව ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 129 දක්වා ඉදිරියට ගෙන ගියේය. පන්දු 81කදී ලකුණු 85කින් ගොඩනැගුණු එම සබඳතාව බිඳ වැටුණේ ලියාම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ඩි කොක් ලකුණු 68කට දැවී යෑමෙනි. පන්දු 74කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ලකර තිබිණි.
ඉන් පෙර ජොෆ්රා ආචර් විසින් එඩ්න් මාක්රම් (11) සහ නායක ෆෆ් ඩු ප්ලෙසි (5) පිටියෙන් ඉවත් කර තිබිණි.
ඩි කොක්ගේ දැවී යෑමෙන් පසු හුදෙකලා සටනක නිරතවූ ඩුසෙන් පන්දු 56කින් පස්වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කළ අතර තවත් පන්දු 5කට පසු ආචර්ට තෙවැනි කඩුල්ල හිමිකර දෙමින් 6 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. එම කඩුල්ලත් සමග අවසන් කඩුලු 5 ලකුණු 40ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
පන්දු 25කින් ලකුණු 24ක් රැස්කළ ඇන්ඩිල් පෙලුක්වායෝ 7 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර පැයට කිලෝමීටර් 144.8ක වේගයෙන් ජොෆ්රා ආචර් යැවු දකුණු අප්‍රිකානු ඉනිමේ සිවුවැනි ඕවරයේ 5 වැනි පන්දු වැදීමෙන් පිටියෙන් ඉවත්වූ හසීම් අම්ලා, ඩුසේන්ගේ දැවී යෑමෙන් පසු යළිත් පිටියට පිවිසියත් තවත් එක්කරගත හැකිවූයේ ලකුණු 8ක් පමණි. පන්දු වැදීමෙන් ඔහු පිටියෙන් ඉවත්වනවිට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 5කි.
8 වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 193දී අම්ලා දැවී ගිය අතර ඉනිමට තවත් ලකුණු 14ක් එක්වීමෙන් අනතුරුව මුළු ලකුණු 207දී අවසන් කඩුලු 2 බිඳ වැටිණි.
ජේසන් රෝයි සමගින් එංගලන්ත ඉනිම ඇරැඹු ජෝනි බෙයාර්ස්ටෝ මුහුණදුන් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කිරීමට ඉම්රාන් තහීර් සමත් විය.
එහෙත් රෝයිට එක්වූ ජෝ රූට් ලකුණු 106ක සබඳතාවක් දක්වා ලකුණු පුවරුව ඉදිරියට රැගෙන ගියේය. හතරේ පහර 8ක් සමගින් පන්දු 53කින් ලකුණු 54ක් ලබාසිටි රෝයි දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර තවත් ලකුණු 4ක් එක් වෙද්දී රූට් ද පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩාට හැකිවිය. පන්දු 59කට මුහුණදුන් රූට් හතරේ පහර 5ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය.
ඉනිමේ දෙවැනි කඩුල්ලට මෙන්ම යළිත් සිවුවැනි කඩුල්ලටත් ලකුණු 106ක සබඳතාවක් ගොඩනැගීමට නායක ඔයින් මෝගන් සහ බෙන් ස්ටොක්ස් සමත් වූහ.
මුළු ලකුණු 217දී ලකුණු 57ක් ලබාසිටි නායක මෝගන් සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූවද අගපෙළ පිතිකරුවන් සමග එක්ව වේගවත් පිති හරඹයක් දියත් කළ ස්ටොක්ස් 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ එංගලන්ත ලකුණු පුවරුව 300 දක්වා ඉදිරියට ගෙන යෑමෙන් අනතුරුවය.
ලකුණු 89ක් රැස්කරමින් හතරේ පහර 9ක් ඉනිමට එක්කරගත් ස්ටොක්ස් ඊට වැයකළේ පන්දු 79ක් පමණි.
මෝගන්ගේ ඉනිම පන්දු 59කදී හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.
ජොස් බට්ලර් ලකුණු 18කට ක්‍රිස් වෝක්ස් ලකුණු 13කටත් දැවී ගියහ.
0 Comments