ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.
එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු වන පැඩී මැක්ගිනස් සමාරම්භක උත්සවය මෙහෙයවූ අතර ආරම්භයේදීම ඔවුහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් දහයේ නායකයන් වේදිකාවකට කැඳවූහ.
සත්කාරක එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් සහ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි වේදිකාවට ගොඩවෙද්දී නරඹන්නෝ ප්‍රීතිඝෝෂා කළහ. එංගලන්ත ගායක ජෝන් නිව්මන් ‘ෆීල් ද ලව්‘ ගීතය ගයමින් ලෝක කුසලාන සමාරම්භක උළෙල වර්ණවත් කිරීමෙන් පසුව ලෝක කුසලාන තරගමාලා සමාරම්භක ඉතිහාසයේ මෙතෙක් නොලැබූ අත්දැකීමක් විඳ ගැනීමට නරඹන්නන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද අවස්ථාව උදාවිය.
තත්පර හැටේ අභියෝගයක් නමින් හඳුන්වනු ලැබූ මේ තරගයට එක්වූ සෑම කණ්ඩායමකටම ආරාධිත අමුත්තන් දෙදෙනකු එක්වීම කැපී පෙනුණි. ඉන්දීය පිලේ හිටපු නායක අනිල් කුම්බ්ලේ සහ බොලිවුඩ් නළු ෆර්හාන් අක්තාර් ඉන්දීය පිල නියෝජනය කළ අතර මේ අසිරිමත් මොහොතට ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයන් වූ ශ්‍රීමත් විවියන් රිචඩ්ස්, ජාක්ස් කලීස්, බ්‍රෙට් ලී, කෙවින් පීටර්සන් ඇතුළු සුපිරි ක්‍රීඩකයන් පිරිසක් එක්වූහ.
තත්පර හැටේ අභියෝගයේ ජයග්රහණ්ය හිමිවූයේ තත්පර හැටකින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කණ්ඩායමටය. ඔස්ට්‍රේලියාවේ හිටපු පිතිකරු ඩේවිඩ් බූන් විසින් මේ මනරම් තරගයේ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.
තත්පර හැටේ අරුම පුදුම තරගයේ පළමුව ඇෆ්ගනිස්තානය ලකුණු 52ක් රැස් කළ අතර මහේල ජයවර්ධන සහ හිටපු මලල ක්‍රීඩිකා දමයන්ති දර්ශා තරග වැදුණු ශ්‍රී ලංකා පිල ලකුණු 43ක් රැස් කළේය. ශ්‍රේෂ්ඨ ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සහ සුපිරි ධාවන ශූර යොහාන් බ්ලෙක් කොදෙව් පිලට ලකුණු 47ක් ගෙන දුන්හ.
අබ්දුර් රසාක් තරග වැදුණු බංග්ලාදේශ පිල ලකුණු 22ක් රැස් කළ අතර කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කරමින් නොබෙල් සාම ත්‍යාගය දිනූ ළාබාලතම තරුණිය මලාලා යූසුෆ් නියෝජනය කළ පාකිස්තානය ලකුණු 38ක් ද, බ්‍රෙට් ලී තරග කළ ඔස්ට්‍රේලියාව ලකුණු 69ක් ද රැස් කළේය.
නවසීලන්තය ලකුණු 32ක් රැස් කරද්දී දකුණු අප්‍රිකාවට තරග කළ ජාක්ස් කලීස් සහ එරට පාපන්දු ක්‍රීඩක ස්ටීව් පයිනාර් එක්ව ලකුණු 48ක් ලබා ගත්හ. ලකුණු 19ක් පමණක් රැස් කළ ඉන්දියාව මේ තරගයේ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. තරගයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ සත්කාරක එංගලන්තයයි. ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ කෙවින් පීටර්සන් එක්ව ලකුණු 74ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 69 අබිබවා ගියේ තරගයේ ජයග්‍රහණයත් හිමි කර ගනිමිනි.
පසුගිය තරගමාලාවේ ජයග්‍රාහකයන් වූ ඔස්ට්‍රේලියානු පිලේ එවර නායකත්වය දැරූ මයිකල් ක්ලාක් මෙවර ලෝක කුසලානය වේදිකාවට රැගෙන ආවේය.
එංගලන්තයේ යොවුන් ගායිකා ලොරින් සහ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන රූඩිමෙන්ටල් ගැයූ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තේමා ගීතයෙන් සමාරම්භක උළෙල නිමාවට පත්විය.
0 Comments