Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටට හිතැති නායකයෙක් බිහිකරගෙන සාධාරණ සමාජයක් ගොඩනැඟිය යුතුයි

අනුර ප්‍රේමලාල්

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට නිසිලෙස ගෞරව හා උපහාර දැක්විමට නම් මේ රටේ සියලු ජන කොටස් එකමුතු කරගෙන රට ඉදිරියට ගෙන යා හැකි බුද්ධිමත් , සදාචාර සම්පන්න නායකයකු බිහිකරගෙන ‘සාධාරණ සමාජයක්‘ ගොඩ නැගිය යුතු බව මුගුණුවටවන සිද්ධත්ථ නාහිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ සාධාරණ සමාජයක් සඳහාවු ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේගේ හැත්තෑහත්වන ජන්මදින ගුණසමරු උත්සවය ඊයේ (29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණු අවස්ථාවේදීය. මේ ගුණඅනුස්මරණ උත්සවයේ මුලසුන පත්බේරියේ විමලඥාන නාහිමියන් දැරූහ.

එහිදී කෙටි දේශනයක් පැවැත්වු සිද්ධත්ථ නාහිමියෝ මෙසේද කීහ. අපේ මහා සෝභිත නාහිමියෝ උන්වහන්සේගේ ජීවිත කාලය තුළම තමන්ගේම උත්සහායෙන් මහන්සියෙන් දැනගත් අවබෝධ කරගත් ධර්මතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමයි සමාජ සංවර්ධනයෙන් ඔබ්බට ගිහිල්ලා දේශපාලන කතිකාවකට සමබන්ධ වුණේ. ධර්මදේශනා පැවැත්වීම සඳහා සෑම ප්‍රදේශයක් කරා වඩින විට සම්මාන පුදපූජා වගේම විවිධ තාඩන පීඩන බාධාවලට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණා. සමහර ස්ථානවල ශබ්දවාහිනි තහනම්, සමහර ස්ථානවල විදුලිය භාවිතාව තහනම්. ඇතැම් කාලවල රූපවාහිනි හා ගුවන්විදුලිය තහනම් වුණා. මේ සියල්ල උන්වහන්සේ විඳදරා ගනිමින් පීඩිත ජනතාවට අවශ්‍ය සාධාරණය ලබාදීම සඳහා බුද්ධිමත් පිරිස්ද එක්කර ගෙන කොළඹ අගනගරය පාදක කොටගෙන සාධාරණ සමාජයක් කියන මේ සංකල්පය ආරම්භ කළා.

බුදුන් වහන්සේ සිදුකළ දේශනා අතර වැදගත්ම එකක් ලෙස කලගුණ සැළකීම කියලා මම හිතනවා. සෝභිත හාමුදුරුවන්ගේ උපත , අපවත්වීම පිළිබඳ සැමරුම් කර නවතිනවා නම් උන්වහන්සේට සිදුකරන උපහාරයක් වෙන්නේ නැහැ. එය පල රහිත දෙයක් . ඒ ගැන අපි තවදුරටත් සළකා බැලිය යුතු කරණක් වෙනවා. උන්වහන්සේ ආරම්භ කළ ඒ මහා ව්‍යායාමය බිඳවැටි තිබෙන බව රවි ජයවර්ධන මහතා පැවසුවා. එය යළි ගොඩනැඟිය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නා. එය යළි ආරම්භ කරන්න සිදුවෙලා තියෙනවා. රැවටෙනවා ඉන් මිදෙනවා යළි අලුත් ව්‍යායාමයක්, අලුත් දේශයක්, බලාපොරොත්තුවක්, අලුත් පුද්ගලයෝ සොයාගෙන අපිට යන්න වෙනවා.

මේ ගමනේඩ දි මා කල්පනා කරනවා වඩාත් අත්‍යාවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම සිංහලකම බෞද්ධකම යන දෙක සහිත බුද්ධිමත්,යහපත් සදාචාර සම්පන්න බවින් යුක්ත පුද්ගලයෝ සොයාගෙන යන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එහිදී අපිට සොයාගන්න වෙනවා ඇත්ත කියන ඇත්ත වෙනස් නොකරන අයෙක්. මෙය හරිම අපහසු දෙයක්. ඒ පුද්ගලයා මේ රටේ ජනතාවගේ ඕනෑ එපාකම් නිසි ලෙස හඳුණන කෙනකු සොයාගත යුතුයි. ඒ සොයාගන්න වෙන්නෙත් පාර්ලිමේන්තුවෙන්ම තමයි වෙන කොහෙන් සොයන්නද එහිදී දේශපාලන මඩ නොගෑවුණු අය අපි සොයා ගත යුතුයි.

අපි සියලු දෙනාම බලන්නේ එකම දෘෂ්ඨියකින් එකම අරමුණකින් නම් අපිට පිරිසුදු චරිතවත් සැබෑ දේශපාලනඥයෙක් සොයාගැනීමට නොහැකි වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා සමඟ අපි එකුතුවි මේ ගමන යන්න උත්සහ ගන්නවානම් කැපවෙනවා නම් මහන්සි වෙනවා නම් සෝභිත නාහිමිට කළ හැකි ගිරාඹේ නාහිමිට කළ හැකි ඇතුළු සියලු දෙනාටම කළ හැකි ලොකුම උපහාරය, පූජාව වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ බෞද්ධ , ක්‍රිස්තියානි,මුස්ලිම්, හින්දු යන ආගමිකයන් බහුජාතික බහු ආගමික සිතන්න වුවමනායි. එය කිව්වාම කලබල වෙනවා එහෙත් ඒකයි ඇත්ත ඒ ඇත්ත තේරම්ගෙන නමුත් කාදිනල්තුමා කිව්වා වගේම මේ රටේ බෞද්ධයෝ සිංහලයෝ වැඩිමහල් සහෝදරයෝ හැටියටත් අනෙක් අය බාල සහෝදරයෝ හැටියටත් එකම පවුලේ ජනතාවත් හැටියටත් මෙහෙයවන්න පුළුවන් හොඳ නායකත්වයක් බිහිකර ගත යුතුයි.

මේ කල් මැරීම අගාධයට යෑමක් ලෙස අපි සියලු දෙනා හඳුනාගත යුතුයි. එහෙම තේරුම් ගත්තොත් තමයි අපිට හැකිවෙන්නේ මේ පුංචි රටේ නීතිය පිළිබඳව සාධාරණත්වය පිළිබඳව අධ්‍යාපනය , බෞද්ධ අංශයේ සහ විශේෂයෙන් කෘෂිකාර්මික ජීවන රටාවන් බුද්ධිමත්ව තේරුම්ගෙන කටයුතු කළ හැකි නායකයෙක් සොයාගත හැකිනම් ඒ තමයි සෝභිත නායක හාමුදුරුවන්ට කළ හැකි ගෞරවය හා උපහාරය. එබැවින් අපි දකිනවා මේවනවිට තිබෙන රටේ බරපතළ ඛේදවාචකය එමෙන්ම රාජ්‍ය තන්ත්‍රය අද තියෙන්නේ රාජකාරිය නොවේ එහි තියෙන්නේ දේශපාලන කාරියයි. දේශපාලනය තියෙන්න බැහැ රාජකාරිය තුළ නමුත් ඒක වෙලා ඉවරයි. ඒවා නැති කරන්න වුවමනායි.

මහා සංඝරත්නය, අන්‍යාආගමික පූජකයන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය, ඇමතිවරුන්වන රවි කරුණානායක,නවීන් දිසානායක, නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හිටපු එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක, හිටපු ඇමති හේමකුමාර නානයක්කාර මහත්වරු ඇතුළු තවත් ආරාධිත අමුත්තන්ද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පිරිස්ද ජනතාව ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();