Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වන විනාශයට හා දැව ජාවාරමට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන්න

නීත්‍යානුකූල නොවන අන්දමින් දැව ළඟා තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත්‍ර වහාම අහෝසි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ උපදෙස් ලබාදුන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (29) පෙරවරුවේ එක්වෙමිනි.

විෂය භාර ඇමැතිවරයා ලෙස ඊයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ හමුවකට එක්විය.

එහිදී ජනපති වැඩිදුරටත් අවධාරණය කළේ වන විනාශයට හේතුවන සියලු විනාශකාරී තත්ත්වයන් වැළැක්වීමට පියවර ගත යුතු බවයි.

දිවයින පුරා වැටලීම් පුළුල් කරමින් දැව ජාවාරම මැඬලීමට අදාළ නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනතාව වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැවැන්ත ව්‍යාපෘති ඔස්සේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කරනවා සේම තිබෙන වන සම්පත රැකගැනීමටද දැඩි නීති රීති ක්‍රියාත්මක කරමින් කැපවී කටයුතු කිරීමේ වැදගත්කමයි.

සියලුම වර්ගයේ චේන්ෂෝ තහනම් කිරීමට පසුගියදා රජය ගත් තීරණය සහ එහි ප්‍රගතියද විමසා බැලූ ජනපති චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමටද පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

එමෙන්ම අලුතින් වඩු මඩු ලියාපදිංචි කිරීම නතර කිරීමටද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජූනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත වන සංරක්ෂණ සහ රුක්රෝපණ වැඩසටහන් පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

දේශගුණ විපර්යාස හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි පාරිසරික අභියෝග සඳහා විසඳුම් වශයෙන් දිවයිනේ වන ආවරණය වසර 2030 වනවිට 32% දක්වා පුළුල් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවකු ලෙස ළඟා කරගත යුතු ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට හා රාජ්‍ය කජු සංස්ථාවට අයත් ඌණ භාවිත ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඩිනම් වැඩසටහනකට යොදා ගැනීමට නියමිත අතර ඒ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

එමෙන්ම වන ආරක්ෂණය සඳහා දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන නිලධාරින් ඇගැයීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();