ශ්‍රීලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය අදයි. මේ වන විටත් එකී තරගය අවසන් වී තිබුණද පුදුම විය යුතු නොවේ. මන්ද යත් පසුගිය මාස කිහිපයේ මාර පරාජයන් රැසකට මුහුණ දී සිටින ලංකා කණ්ඩායම මේ දිනවල පරාජයේ පතුළේ කිමිදෙන බැවිනි. දෙපිල අතර මුරලි - වෝන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ විශේෂත්වය වන්නේ මෙය මානුකා ඕවල් පිටියේ පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය වන බැවිනි.
දෙපිල අතර පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක අවමන් සහගත පරාජයක් හිමි වූ අතර, එකි තරගයේ ඉනිම් දෙකේදීම ශ්‍රී ලංකාවට ලකුණු 150 කට ළඟාවීමටත් නොහැකි විය. දෙරට අතර තරගාවලියට ආරම්භයට පෙර නායක දිනේෂ් චන්දිමාල් පුරසාරම් කිහිපයක් දී තිබූ නමුත් ඒවා සියල්ල ගැබා ක්‍රීඩාංගණයෙදී පුස් වෙඩි බවට පත්වීමට ගත වුයේ දින තුනකටත් අඩු කාලයකි.
කවුරු කවුරුත් කටින් බතල කොළ සිටුවීමට වෙර දැරුවද සමස්ත ලාංකේය ක්‍රීඩාවම බලා සිටියේදීම ගමන් කරනුයේ ආපස්සට බව සෙවීමට වැඩි වෙහෙසක් දැරිය යුතු නොවේ.
හොඳම උදාහරණය ක්‍රිකට් ක්‍රීඩාවයි. අද මෙරට ක්‍රිකට් කණ්ඩායමට තරගයක් ජය ගැනීම කෙසේ වෙතත්, දින පහක් දක්වා ඇදගෙන යෑම පවා අසීරු වී තිබේ. නවසිලන්තයේ දී මදි නොකියන්නට බැට කෑ ශ්‍රීලංකාවට ඉතිරිය ඔස්ට්‍රේලියාවේ දී මේ දිනවල හිමි වෙමින් පවතියි. එළැඹෙන්නේ දකුණු අප්‍රිකානු තරගාවලියයි. එහිදී ද කතා කිරීමට දෙයක් ඉතිරි නොවනු ඇති බවට කට ඉස්සර කරගත යුතු නොවන නමුත්, සිදුවීම් පෙළ ගැසෙන ආකාරය අනුව නම් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීමද අසීරු කරුණකි. යම් හෙයකින් සුවිශේෂ යමක් වීමට නම්, ප්රාතිහාර්යයක් සිදු විය යුතුය.
ගෙවී ගිය වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය වෙතින් බැට කෑ ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයෙන් ම ඉවතට විසිවන විට සියලු පවුවලට කර ගැසූ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර, නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමි විය. සියලු ම දෙනා සිතුවේ - විශ්වාස කළේ අළු ගසා දමා ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් දස්කම් අතරට පැමිණෙනු ඇතැයි යන්නයි. එහෙත් සිදු වුයේ නැගිටිනවා වෙනුවට කබලෙනුත් ළිපට නොව, පතුළටම වැටීමය.
ආසියානු තරගාවලියට පෙර මැතිව්ස් ප්‍රකාශ කළේ අතීතයේ සියලු සිද්ධීන් අමතක කර දමා එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු බවය.
ඉදිරියට යෑම තියා දැන් නම් එක තැන සිට ගෙන සිටිමත් අසිරු වී තිබෙන බව පැහැදිලිය . 2016 පසු ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක පරාජය කර ඇත්තේ අයර්ලන්තය පමණි. බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගත් අතර, සිම්බාබ්වේ තරගාවලිය පවා 3-2 ක් ලෙස වැලේ වැල් නැති ආකාරයට පරාජය විය.
ඒ අනුව එතැන් සිට ගත්ත ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පමණක් නොව, සමස්තයක් ලෙස කණ්ඩායම මේ මොහොතේ පසුවන දෙගිඩියාව පිළිබඳ අටුවා ටීකා ඇවැසි නැත. මේ දෙගිඩියාවෙන් ක්‍රීඩා පිටියේ හතරේ සීමාවේ කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්නවත් අවබෝධයක් ක්‍රීඩකයන්ට, ශ්‍රී ලංකා කණ්ඩායමට නොමැති විට ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් ක්‍රිකට් පිටියේ දේවල් සමාජ මාධ්‍ය ජාලාවලින් ලෝකය ඉදිරියට ගෙන ඒම පිළිබඳව එක්තරා ආකාරයකින් පුදුම විය යුතු නොවේ. මන්ද යත්: මේ දේවල් සිද්ධ වන්නේ ශ්‍රී ලංකාවේ වන බැවිනි.
මේ සියලු දේ අතර එළඹෙන ක්‍රිකට් නිලවරණයේදී ක්‍රිකට් බේරා ගැනීමට ඉදිරිපත් වී ඇති වැඩ බැරි ටාසන්ලා රොත්ත කි. ඔවුන්ගේ එකම පරමාර්ථය - ප්‍රාර්ථනය බිමට සමතලා වී ඇති ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ආප්ප බාන ආකාරයෙන් සුඛිත - මුදිත කරදීමට හැකි බව පැවැසීමය. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මෙලෝ මළ දානයක් නොදන්නා වැඩ බැරි ටාසන්ලා ක්‍රිකට් මහ පුටුවට කෙළ හලන්නේ ඇයි දැයි මේ වැඩ බැරි ටාසන්ලාට ඡන්දය දෙන්නට බත් පැකට් එකට රුපියල් 500-1000 ට අත ඔසවන්නන් නොදන්නවට සමස්ත සමාජය තේරුම් ගෙන බොහෝ කල්ය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය තිස් පස් වසකට අධික ටෙස්ට් ඉතිහාසයේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයට පාකිස්තානයට එරෙහිව 2017 දී මුහුණ දුන් අතර, එකි තරගාවලිය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කරන ලද හේමක අමරසුරියගේ සභාපති ධූරයෙන් යුත් ස්වාධීන උපදේශන මණ්ඩලයේ සමාජිකයන් සහ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැති අතර එහිදී අදහස් දැක් වූ මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුගත කිරීම සඳහා තමන් අවසන් වරටත් උත්සාහයක නිරත වන බවයි. එකී කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා සහ කුමාර සංගක්කාරයි.
පංච පුද්ගල කමිටුව විසින් සකස් කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීමේ කෙටි කාලීන සැලසුම් අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද මහේල එහිදී පැවැසීය. ඊට අමතරව ගන්නා කෙටි කාලීන සැලසුම් ස්ථාවර කර ගැනීම සඳහා දිගු කාලීන සැලසුම් කිහිපයක් තිබුණු බවද පැවැසීය. පංච පුද්ගල කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කමිටුවක් නොවන බවද මහේල අවධාරණය කළේය.
“මේවා ක්‍රියාවට නංවන්න ඕනෑ. නැත්නම් අප කරන කැප කිරිම්වල ප්‍රතිඵල නැති වෙනවා. මෙයින් වැඩක් වෙන්න ඕනෑ. නැත්නම් මේ වැඩ කරන කාලයෙන් සහ හමුවීම්වලින් වැඩක් නැති වෙනවා.” මහේල වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක් මහේල මුලින්ම 2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත බාර දුන්නේ එවකට ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධූරය දැරූ සිදත් වෙත්තමුනිගේ ඉල්ලීමකට අනුවය. නමුත් එකි සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර එකී අතුරු කමිටුව විසුරුවා හැරි අතර, මහේලගේ යෝජනාව යට ගියේය.
ක්‍රීඩා අමාත්‍යවරයා දැන හෝ නොදැන මේ බල්ටිකාරයන්ගෙන්, වැඩ බරි ටාසන්ලාගෙන්, සුපිරි ඩීල් කාරයන්ගෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීම සඳහා මොන සෙල්ලමක් දාලා හෝ අතුරු කමිටුවකට යාමට වලි කෑම සාධාරණය. අතුරු කමිටුව සිදත්ද, රොෂාන් ද, මහේලද, සංගා ද, අරවින්ද යන්න වැදගත් නොවන නමුත් ක්‍රිකට් මේ තැනට ඇද දමා හප කර දැමූ බහිරවයන්ට මේ පුටුව නැවත හිමි වීම යනු ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම ම බව නොරහසකි.
ඒ නිසා වැඩ බැරි ටාසන්ලාගෙන් ක්‍රිකට් බේරා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට නමස්කාර කර හෝ අතුරු කමිටුවකට යෑම උචිතය.
from silumina
0 Comments