ශූරයා භාවනාව ප්‍රිය කරන නොවැක්
ශූරිය ආසියාව එකට එසවූ ඔසාකා
වසරේ ප්‍රථම ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය මෙවර නිමාවට පත්වූයේ සර්බියාවේ නොවැක් ජොකොවිච් සහ ජපානයේ නයෝමි ඔසාකා කේවල (තනි) ශූරතා හිමි කර ගනිමිනි.
ඔස්ට්‍රේලියානු විවෘත ශුරතාවලිය මෙවර පැවැත්වූයේ 107 වැනි වතාවටයි. ඒ ජනවාරි මස 14 සිට 27 දක්වාය. සුපුරුදු පරිදි මෙවරත් මෙම ශූරතාවලිය පවත්වනු ලැබුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර මෙල්බර්න් උද්‍යානයේදී ය. මේ ශූරතාවලිය මෙහෙයවීම සිදු කරන්නේ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විසිනි.
වත්මන් ලොව අංක 01 ක්‍රීඩකයා වන 31 හැවිරිදි නොවැක් මෙවර අවසන් තරගයේදී ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පරාජය කිරීමට සමත් විය. ඒ තරග වට 3 – 0 කිනි. ලකුණු 6 – 3, 6 – 2, 6 – 3 කි. 32 හැවිරිදි නඩාල් (උපත 1986 ජූනි 03) වත්මන් ලොව අංක 02 ක්‍රීඩකයාය.
21 හැවිරිදි නයෝමි ඔසාකා කාන්තා කේවල අවසන් තරගයේදී චෙක් ජනරජයේ 28 හැවිරිදි පෙට්රා ක්විටෝවා (උපත 1990 මාර්තු 08) පරාජය කළා ය. ඒ තරග වට 2 – 1 කින් ය. ලකුණු 7- 6 (7 -2), 5 – 7, 6 – 4 කි.
මෙවර කාන්තා පිරිමි කේවල සහ යුගල ශූර ශූරියන්ට හිමි වූ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 2000 බැගිනි. එහිදී පිරිමි අනුශූරතාවට ලකුණු 1200 කි. කාන්තා අනුශූරතාවට ලකුණු 1300 බැගිනි.
කාන්තා සහ පිරිමි කේවල ශූර ශූරියන්ට හිමි වූ ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 4, 100, 000 කි. එහිදී අනුශූරතාවට හිමි වූ මුදල 2,050,000 කි.
මෙවර ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම අනුව පිරිමි මුල් ස්ථාන ත්‍රිත්වය නොවැක්, නඩාල් සහ ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් (උපත 1981 අගෝස්තු 08) හට හිමිවී තිබුණි.
කාන්තා ශ්‍රේණිගත කිරීමට අනුව රුමේනියාවේ සිමෝනා හැලෙප් (උපත 1991 සැප්තැම්බර් 27), ජර්මනියේ ඇන්ජෙලික් කර්බර් (උපත 1988 ජනවාරි 18), ඩෙන්මාර්කයේ කැරොලයින් වොෂ්නියැකි (උපත 1990 ජූලි 11), ඔසාකා මුල් ස්ථාන සතර සහ ක්විටෝවාට අට වැනි ස්ථානත් හිමි වී තිබුණි.
2018 වසරේ කේවල ශූරතා හිමිකර ගෙන සිටියේ ෆෙඩරර් සහ වොෂ්නියැකිය. ෆෙඩරර් 2017 ශූරයාත් විය. හෙතෙම මෙවර උත්සාහ කළේ පිට පිට තෙවැනි ශූරතාවත් හිමි කරගෙන හැට්ට්‍රික් ජයක් ලැබීමටයි. එහෙත් සිවුවැනි වටයේදී ග්‍රීසියේ 20 හැවිරිදි ස්ටෙෆානොස් ට්සිට්සිපාස් (උපත 1998 අගෝස්තු 12) හමුවේ ෆෙඩරර් පරාජය විය. ස්ටෙෆානොස් ඊළඟ වටයේදී නඩාල්ට පරාජය වූයේය.
වොෂ්නියැකි තෙවැනි වටයේදී රුසියාවේ මරියා ෂරාපෝවා (උපත 1987 අප්‍රේල් 19) ඉදිරියේ පරාජය වූවා ය. සුපිරි ඇමෙරිකානු ශූරිය වන සෙරීනා විලියම්ස් (උපත 1981 සැප්තැම්බර් 26) මෙවර සහභාගි වූයේ වැඩිම කාන්තා ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා වාර්තාව සම කිරීමටයි. ඇයට ශූරතා 23 කි. එහි වාර්තාව ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝර්ට් සතුය. ඇයට ශූරතා 24 කි. මාග්‍රට් (උපත 1942 ජූලි 16) අන්තර්ජාතිකව ක්‍රීඩා කළේ 1960 සිට 1977 දක්වා ය.
එහෙත් සෙරීනාගේ බලාපොරොත්තුව අර්ධ අවසන් වටයේදී බිඳ වැටුණි. ඒ චෙක් ජනරජයේ 26 හැවිරිදි කැරොලිනා ප්ලීස් කොවා හමුවේ ය. මෙම තරගය කැරොලිනා (උපත 1992 මාර්තු 21) ජයගත්තේ තරග වට 2 – 1 කිනි. ඒ ලකුණු 4 – 6, 6 – 4, 5 – 7 ක් ලෙසටයි.
කේවල ශූරිය
නයෝමි ඔසාකා (ජපානය)
නයෝමි පිට පිට හිමිකර ගත් දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව මෙය විය. මෙම ජයත් සමඟම ලොව අංක 01 ක්රිඩිකාව බවට ඇය පත් වූවා ය. එය වාර්තාගත දස්කමකි. එනම් ටෙනිස් ක්‍රීඩාවේ ලොව මුල් තැනට පත් වූ ප්‍රථම ආසියාතිකයා ඇය වීමයි. එමෙන් ම කැරොලයින් වොෂ්නියැකිට පසුව ලොව අංක 01 ට පත් වූ ළාබාලතම ක්‍රීඩිකාවත් නයෝමිය. වොෂ්නියැකි 2010 වසරේදී ලොව මුල් තැනට පත් වන විට ඇගේ වයස අවුරුදු 20 කි. නයෝමිට පෙර ලොව අංක 01 හිමිකරෙගන සිටියේ සිමෝනා හැලෙප්ය. ඇය පුරා සති 48 ක් අංක 01 ක්‍රීඩිකාවයි. මේ වනවිට ලොව අංක 02 ටෙනිස් ක්‍රීඩිකාව වන්නේ පෙට්රා ක්විටෝවා ය.
මෙවර මුල් වටයේදී නයෝමි තරග වට 2 – 0 ක ජයක් ලැබුවේ පෝලන්තයේ මැග්ඩා ලිනෙට් (උපත 1992 පෙබරවාරි 12) හමුවේ ය. දෙවැනි වටයේදී ස්ලොවේනියාවේ ටමාරා ෂිඩාන්යෙක් (උපත 1997 දෙසැම්බර් 26) පරාජය කළා ය. තෙවැනි වටයේදී පරාජය වූයේ චීන තායිපේ හ්ෂියිහ් සු - වෙයි (උපත 1986 ජනවාරි 04) විසිනි. ඒ වට 2 – 1 කිනි.
සිවු වැනි වටයේදී නයෝමි 3 – 1 කින් ලැට්වියාවේ ඇනස්ටාෂ්යා සෙවස්ටෝවා (උපත 1990 අප්‍රේල් 13) පරාජය කළා ය. අර්ධ අවසන් වටයේදී යුක්රේනයේ එලිනා ස්විටොලිනා (උපත 1994 සැප්තැම්බර් 12) නයෝමි වෙතින් පරාජය වූයේ වට 2 – 0 කිනි. අවසන් පූර්ව වටයේදී කැරොලිනා ප්ලිස්කොවා වට 2 – 1 කින් පරාජය කිරීමට නයෝමි සමත් වූවාය.
මෙවර කාන්තා කේවල අනුශූරිය වූ පෙට්රා ක්විටෝවා සුවිශේෂි ක්‍රීඩිකාවකි. ඒ ඇය ඉතා අමිහිරි අත්දැකීමක් ලැබූ ක්‍රීඩිකාවක් වන බැවිනි. 2016 වසරේ දෙසැම්බර් මාසයේ සිය නිෙවසේදී සොරෙකුගේ පිහි ඇණුම් පහරවල් කිහිපයකට ලක්වීමට ඇයට සිදු වූවාය. එහිදී ඇගේ වම් අතටත් එහි ඇඟිලි කිහිපයකටත් බරපතළ තුවාල සිදුවිය. ඇය වමත හුරු ක්‍රීඩිකාවකි.
පසුව සැත්කමකට ලක්වීමට ඇයට සිදු වූවාය. එමෙන් ම කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටියා ය. ඇය හිටපු අංක 02 ක්‍රීඩිකාවකි. එමෙන් ම ඇය 2011 සහ 2014 වසරවල විම්බල්ඩන් කේවල ශූරියයි.
“නැවත වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරගයකට ක්‍රීඩා කිරීම ගැන මට විශ්වාස කරන්නත් බැහැ. එය විශිෂ්ට අවසන් තරගයක්. නයෝමිට මගේ සුබපැතුම්” අනුශූරිය වීමෙන් අනතුරුව පෙට්රා පැවසුවාය. නයෝමිත් මේ දිරියවන්ත ශූරියව මෙසේ අගය කළා ය. “මෙය අපේ ප්‍රථම තරගය විය යුතුව තිබුණේ නැහැ. නමුත් මම ඔබට සුබ පතනවා. ඔබ පුදුමාකාර ශූරියක්. ඔබත් සමඟ ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරගයකට තරග කිරීම මට ගෞරවයක්.”
මෙම ශූරියන් දෙදෙනාවම අගය කිරීමට හිටපු සුපිරිතම ටෙනිස් ශූරියක් වන මාටිනා නව්රතිලෝවා අමතක නොකළා ය. “ඇමෙරිකානු විවෘත ජයග්රහණයෙන් පසුව නයෝමි ඔසාකා තරුවක් වුණා. දැන් ඕස්ට්‍රේලියානු ජයෙන් සහ ලොව අංක 01 වූ පසුව ඇය සුපිරි තරුවක්. ශූරියට සුබ පැතුම්. ඒ වගේ ම පෙට්රා ක්විටෝවා ඔබ ජීවිතයේ ශූරියක්.” නව්රතිලෝවා සිය උපන් රට වන චෙකොස්ලොවේකියාවත් පසුව ඇමෙරිකාවත් නියෝජනය කළා ය.
නයෝමි ඔසාකා 1997 වසරේ ඔක්තෝබර් මස 16 වැනිදා උපත ලැබුවාය. ඒ ජපානයේදී ය. ඇයගේ පියා හයිටි කළු ජාතිකයකු වන ලෙනාර්ඩ් ය. මව ජපන් ජාතික ටමාකිය. නයෝමිගේ වැඩිමහල් සොහොයුරිය මාරිත් ටෙනිස් ක්‍රීඩිකාවකි.
නයෝමිට තෙහැවිරිදි වන විට ඔසාකා පවුල ඇමෙරිකාවේ පදිංචියට ගියහ. නයෝමි දකුණත හුරු අඩි 5 අඟල් 11 ක් උසැතිය. 2013 වසරේදී ඇය වෘත්තීය ක්‍රීඩිකාවක් වූවා ය. ඇයගේ දක්ෂතා මුළු ලොවම මුල් වරට දැන ගත්තේ 2018 ඇමෙරිකානු විවෘත අවසන් තරගයේදී ය. එහිදී ඇය සිය ක්‍රීඩා වීරවරිය වන සෙරීනා විලියම්ස්ව පරාජය කිරීමට සමත් වූවාය.
කේවල ශූරයා
නොවැක් ජොකොවිව් (සර්බියාව)
නොවැක් පිට පිට හිමිකර ගත් තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව මෙම ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයයි. හෙතෙම ගිය වසරේදී විම්බල්ඩන් (බ්‍රිතාන්‍යය) සහ ඇමෙරිකානු විවෘත ශූරයාත් වේ.
මෙවර ජයග්‍රහණය වාර්තාගත ය. එනම් ඔස්ට්‍රේලියානු විවෘත කේවල ශූරතා වැඩිම ගණනක් හිමිකරගත් ශූරයා බවට ඔහු පත් වීමයි. මෙය ඔහුගේ 07 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවයයි. ඒ 2008,11,12,13, 15,16 සහ 19 වසරවලදී ය.
වමතින් ක්‍රීඩා කරන නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ 05 වැනි වතාවටයි. එහෙත් ඔහුට හිමි වී තිබෙන්නේ 2009 ශූරතාව පමණකි. 2012, 14, 17 සහ 19 වසරවල අනුශූරතාය.
නොවැක්ට මෙවර ජයග්‍රහණය විශේෂිත විය. ඒ කලක් ආබාධ නිසා ඔහු තාවකාලිකව ක්‍රීඩාවෙන් ඉවත්වී සිටිය බැවිනි. ‘මාස 12 කට විතර පෙර මට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ත්‍රිත්වයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. මගේ සාර්ථකත්වයේ විශාලතම රහස තමයි ආත්ම විශ්වාසය.”
ඔහු මුල් වටයේදී ඇමෙරිකාවේ මිචෙල් කෘගර් (උපත 1994 ජනවාරි 12) පරාජය කළේ ය. ඒ වට 3 – 0 කින් ය. දෙවැනි වටයේදී නොවැක්ට වට 3 – 0 ක තවත් ජයකි. පරාජය වූයේ ප්‍රංසයේ ජෝ විල්ෆ්රඩ් සොන්ගාය. හෙතෙම (උපත 1985 අප්‍රේල් 17) නොවැක් ඉදිරියේ 2008 ඔස්ට්‍රේලියානු විවෘත අනුශූරයාය.
නොවැක් තෙවැනි වටයේදී වට 3 – 1 කින් කැනඩාවේ ඩෙනිස් ෂපොවාලොව් (උපත 1999 අප්‍රේල් 15) පරාජය කළේ ය. සිවුවැනි වටයේදී රුසියාවේ ඩැනිල් මෙඩ්වෙඩෙව් (උපත 1996 පෙබරවාරි 11) නොවැක් ඉදිරියේ පරාජය වූයේ ය. ඒ වට 3 – 1 කින් ය.
අර්ධ අවසන් වටයේදී ජපානයේ කෙයි නිෂිකෝරි (උපත 1989 දෙසැම්බර් 29) නොවැක්ගේ ප්‍රතිවාදියා වූයේ ය. එහෙත් තරගය අතරතුරදී ආබාධයක් නිසා නිෂිකෝරි ඉවත් විය. ඒ වනවිට නොවැක් 6 – 1, 4 – 1 ක් ලෙසට ඉදිරියෙන් සිටියේ ය. අවසන් පූර්ව තරගයේදී නොවැක් වට 3 – 0 ක ජයක් ලැබුවේ ප්‍රංසයේ ලුකස් පුයි (උපත 1994 පෙබරවාරි 23) පරාජය කරමින් ය.
නොවැක් ජොකොවිච් 1987 වසරේ මැයි මස 22 වැනිදා උපත ලැබීය. ඒ යුගොස්ලොවියානු සමූහාණ්ඩුවේ බෙල්ග්‍රේඩ් නුවරදීය. ඔහුගේ මවුපියන් ස්ර්ඩාන් සහ ඩියානා ය. ඔහුගේ මල්ලිලා වන මාර්කෝ (උපත 1991 අගෝස්තු 20) සහ ඩ්ජෝර්ජි (උපත 1995 ජූලි 07) ටෙනිස් ක්‍රීඩකයෝය.
දකුණතින් ක්‍රීඩා කරන නොවැක් අඩි 6 අඟල් 2 ක් උසැති ය. හෙතෙම වෘත්තීමය ලෙස ක්‍රීඩා කරන්නේ 2003 වසරේ සිටයි. මේ වනවිට ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 15 ක හිමිකරුවෙකි. එහිදී ඔහුට ඉදිරියෙන් සිටින්නේ ෆෙඩරර් (20) සහ නඩාල් (17) පමණි.
නොවැක් සහ බිරිය යෙලේනා රිස්ටිච්ගේ මුල්ම හමුව සිදු වූයේ උසස් පාසලේදී ය. මේ යුවළ ස්ටෙෆාන් පුත්රයාගේත් ටාරා දියණියගේත් මවුපියන් ය. ක්‍රීඩාවට අමතරව නොවැක් තවත් දෙයකට දක්ෂය. ඒ විවිධ භාෂා කතා කිරීමටයි. සර්බියන්, ඉංග්‍රීසි, ප්රංස, ජර්මන් සහ ඉතාලි භාෂා ඔහුට කතා කළ හැකි ය.
ඔහුගේ ජීවිතයට සම්බන්ධ තවත් අප්‍රකට පුවතක් ඇත. එනම් ඔහු භාවනා කිරීමයි. ඒ සඳහා නොවැක් එංගලන්තයේ විම්බල්ඩන්හි පිහිටි බුද්ධපාදිප පන්සලට විටින් විට යයි. එය තායිලන්ත විහාරස්ථානයකි.
from silumina
0 Comments