පහළොස් වියේදී පාපැදියට ගොඩ වූ අපේ කතා නායකයා ලංකා සවාරි පහළොවකට එක් වී යන්තම් 1964 දී හාපුරා කියා එකී තරගය ජය ගත්තේය.
“ඉතුරු දහ හතරේදීම කොහොමත් පළමු දහ දෙනා අතර ඉන්නවා. හැම ලංකා සවාරියකදීම මොකක් හරි අකරතැබ්බයක් වෙනවා. ලංකා සවාරි 15 ක් පැදපු එකත් වාර්තාවක්. හැබැයි එකක් දිනලා ඉතුරු 14 අවුල්කර ගත්ත එක වාර්තාවක් ද දන්නේ නෑ.”
පාපැදි සම්මේලනයේ පුටුවකට බරදී සිටින හෙතෙම සිංහල ක්‍රීඩාංගණයට ඉහළ අහස්කුස දෙස බලා ගෙන කියයි.
1959 රත්නපුරයේ පැවැති ලෝක ළමා දින පාපැදි තරගයට එක්වන කොලු ගැටයෙකි. ඒ ඔහුගේ පළමු පාපැදි තරගයයි. පළමු තරගයෙන්ම ප්‍රතිවාදින් පරයා යන්නට ඔහුට හැකි විය.
ඇන්තනි සිමන්ස් ගේ පාපැදි කතා බහට මඟ විවර වූයේ ඒ ආකාරයෙනි.
“1959 පළමු පාපැදි තරගය දිනනකොට අවුරුදු 15 ක් ඇති. එතැනින්ම පාපන්දුවට පයින් ගහලා පාපැදියට ගොඩ වුණා. මලල ක්‍රීඩාවත් නැවැත්තුවා. ඒ දවස්වල පාසල් වාර්තා කිහිපයක්ම තිබ්බා.
එතැනදි තමයි මට මේකට හිත ගියේ. 1959 දීම කොළඹ පැරගන් පාපැදි සමාජයට එකතු වුණා. එතැන ඉඳලාම රේස් පැද්දා, ක්‍රීඩා සමාජ විවෘත හැම එකක ම දිනුවා.”
සිය පළමු පාපැදි තරගය ජය ගත් රුවන්පුරයේදී ම වෛද්‍යවරයකුට දාව මෙලොව එළිය දකින පර්සිවල් ඇන්තනි සිමන්ස් සිය පළමු තරගය ජය ගන්නාවිට ඔහුට පිය සෙනෙහස ද අහිමි වී දෙවසරක් පමණ කාලය ඉක්ම ගොස් තිබිණි.
තාත්තා 1957 දී නැති වුණේ . එතකොට මට අවුරුදු 12 ක් විතර ඇති. අම්මා නැති වුණේ ළඟදි. මගේ පවුලේ නංගියි, මල්ලියි. මල්ලි පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හිටියා.
රුවන්පුර උපන් ඇන්තනි අකුරු කරන්නට පටන් ගත්තේ ගෙන්දගම් පොළොවෙනි.
“තාත්තාගේ නෑදෑයෝ හුඟක් හිටියේ කොළඹ. ඒ නිසා තාත්තා මාව කොළඹ නෑදෑ කෙනෙකු ළඟ නතර කරලා ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් කළා. හයේ පන්තිය දක්වාම ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙන ගත්තා.
අවුරුදු 12 - 13 - 14 වයස් කාණ්ඩවල පාපන්දු ක්‍රීඩා කළා. මලල ක්‍රීඩාවලින් යගුලිය - කවපෙත්ත - හෙල්ල විසි කිරීමේ ඉසව්වලට සම්බන්ධ වුණා.
පාපන්දු ක්‍රීඩාව අල්ලලා ගියා. ඉස්කෝලේ ගෝල් රකින්නා. ඔය අතර පාපැදි පදිනවා. අන්තිමේ මේ ඔක්කෝම කරන්න බෑ කියලා තේරුණා. මලල ක්‍රීඩා නැවැත්තුවා. පාපන්දුවටත් පයින් ගහලා පාපැදියට ගොඩ වුණා. හයේ පන්තියේ ඉදලා ගමට ගිහින් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ගියා.”
ලාංකේය භූමියේ ප්‍රථම සංවිධානාත්මක පාපැදි තරගය වූ ඕල් සිලෝන් පාපැදි මැරතන් නමින් කරලියට පැමිණ ඇත්තේ 50 දශකයේ අගභාගයේදීය. දෙදහසක් පමණ තරගකරුවන් එක්වූ මේ පාපැදි තරගය රත්මලානෙන් ආරම්භ වී පිලියන්දල හරහා පැමිණ ගාලුමුවදොරෙන් අවසන් වී තිබේ. ලොව පුරා ප්‍රචලිත මහා පාපැදි සැණකෙළිය ලෙස සැළකෙන 'ටුවර් ඩි ෆ්‍රාන්ස්' තරගයට සම මට්ටමේ හිමි වන තැන ලාංකේය භූමිභාගය තුළ හිමිවන තරගයක් වේ නම් ඒ ලංකා සවාරිය බව නොරහසකි.
ලේක්හවුස් ඉතිහාසගත වෙයි
“1960 තිබ්බ පළමු ලංකා සවාරියට එකතුවන කොට මම ඉගෙන ගන්නවා. ඒ දවස්වල අපේ රටේ සුපිරිම තරගකරුවෝ ඔක්කෝම පැද්දා.
ලේක්හවුස් ආයතනය තමයි ලංකා සවාරියේ අයිතිකාරයෝ. පළමුවැනි තරගය පටන් ගත්තෙත් ලේක්හවුස් ආයතනය ඉදිරිපිටින්. ගාලුපාර දිගේ තංගල්ලට ගිහින්, තංගල්ලෙන් නෝනගම හංදිය, ඇඹිලිපිටිය, රත්නපුරය හරහා හයිලෙවල්පාර දිගේ ඇවිත් කොළඹින් ඉවර කළා.”
ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති පළමු ලංකා සවාරියට රේසිං, ස්ටෑන්ඩඩ් සහ ආධුනික කුසලාන රේසිං වශයෙන් කාණ්ඩ තුනක් යටතේ තරග පවත්වා තිබේ.
“මම රේසිං කාණ්ඩයෙන් පැද්දේ. මොරිස් කුමාරවේල් එක, හැමිල්ටන් වැන්ට්‍රවේස් දෙක, මම තුන්වැනියා. මම පළමුවැනි ලංකා සවාරිය පදින කොට ඉස්කෝලේ යනවා. රාජකීය ගුවන් හමුදාවේ අයත් මේ තරගයට එකතු වුණා.
අපේ රටේ පාපැදි ක්‍රීඩාවට පාර කැපුණේ ඔය රාජකීය ගුවන් හමුදාවෙන් කිව්වොත් හරි. ඒ අය තමයි එංගලන්තයෙන් පාපැදි ගෙනාවේ.”
කබලෙන් ලිපට
මේ තරග ජයග්‍රහණයත් සමඟ ඔහු ඇතුල් පස් දෙනකුට සිදු වුයේ කබලෙන් ලිපට වැටීමය.
“පළමුවැනි ලංකා සවාරිය පදිනකොට මට අවුරුදු 16 ක් විතර ඇති. අපි ඉතින් මහා මිනිස්සු නොවෙයිනේ. රේසිං කාණ්ඩේ පැද්දට ආධුනිකයෝනේ. මගේ ආධුනිකභාවය නැති කළා.
ආධුනික නොවුණු නිසා විදේශ තරග නැති වුණා. අපි රේසිං කාණ්ඩේ පැදලා නිකම් වෘත්තිය ක්‍රීඩකයෝ වුණා. ඒකෙන් අපේ රටට සිද්ධ වුණු පාඩුව අදටත් ගණන් බලලා නැතුව ඇති. අපේ හොඳම පස්දෙනෙකුගේ හැම දෙයක්ම නැතිවුණා කිව්වොත් හරි.
මේක ඇත්තටම තරග තහනමක් වුණා. 1972 දී තමයි මේ දේ වෙනස් වුණේ. මම යුද හමුදාවට බැඳුනට පස්සේ තමයි ආයෙත් ආධුනිකභාවය ලැබුණේ. එතකොට අපේ හොඳම කාලයෙන් අවුරුදු 10 කට වඩා ගෙවිලා ගිහින්.”
මේ ක්‍රියාව එදා පාපැදි පරිපාලනය බාරව සිටි පාලකයන්ගේ මෝඩතකතීරු වැඩක් බව ඔහු පවසයි.
“එදා හිටපු පරිපාලකයෝ කළ මෝඩ වැඩක්. අපි හැම තරගයක් ම දිනා ගෙන දිනාගෙන යනකොට අනිත් ක්‍රීඩා සමාජවල වාසියට තමයි මේ දේ කළේ.
අපේ එදත් - අදත් වෘත්තිය ක්‍රීඩකයෝ හිටියේ නෑ. මේ වැඩේ නිසා අපි නිකම්ම වෘත්තිය ක්‍රීඩකයෝ වුණා. මේක අපිව අයින් කරන්න කරපු උප්පරවැට්ටියක්. 1969 බැංකොක්වලදි ට්‍රෙවෝ ද සිල්වා ආසියානු පාපැදි තරගාවලියේ පදක්කම් දෙකක් දිනා ගෙන ආවා. අපිත් එක්ක පදිනකොට ට්‍රෙවෝලා දහවැනියට විතර තමයි තරග අවසන් කරන්නේ.”
1960 රෝම ඔලිම්පික් උලෙළ ඔහුට අහිමි වන්නේ අවාසනාවන්ත ලෙසය. එයට පරිපාලකයන් මුල් වූ බව ඔහු අදත් සිහිපත් කරන්නේ වේදනාව කැටි වූ හදවතිනි.
“මමයි - මොරිස් කුමාරවේල් සහ චන්ද්‍රා පෙරේරා තමයි ඔලිම්පික්වලට තේරුණේ. නමුත් අවාසනාවට බණ්ඩාරනායක මහත්තයා නැති වුණානේ. අන්තිමේ එක ක්‍රීඩාවකින් එක්කෙනා ගණනේ යැව්වේ. අපි ඇඳුම් පවා මහලා තියාගෙන හිටියා රෝමයේ ඔලිම්පික්වලට යන්න. අපි තුන්දෙනාම අග්නිදිග ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයෝ. අන්තිමේ මොරිස්ට යන්න ලැබුණා. ඒ අවුරුද්දේ ජනප්‍රිය ම ක්‍රීඩකයා වුණෙත් මම.
අපි ඉතින් කොළඹට දුර නිසා කතා කරන්න කවුරුවත් හිටියේ නෑ. පුහුණුවීම් තරගවල වැඩිම ලකුණු තිබ්බෙත් මට. ඒක මගේ පාපැදි ජිවිතයේ අමතක කරන්න බැරි දුක්බර ම කතාව කිව්වත් වැරැදි නෑ.”
ප්‍රථම ලංකා සවාරියේ ජයග්‍රාහකයා වූ මොරිස් කුමාරවේල් ජීවිතය හැර ගොස්ය. දෙවැන්නා හැමිල්ටන් වැන්ඩ්‍රවේස් දැනට ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවෙන අතර, තමාගේ හොඳම ප්‍රතිවාදි මොරිස් බවද ඔහු සිහිපත් කරයි.
“මම ගිය තරගවලින් සියයට අනූවක් විතරම දිනුවා. මගේ හොඳම ප්‍රතිවාදියා වුනේ මොරිස්. අපි දෙන්නා අතර තමයි හොඳම තරගය තිබ්බේ.
කඩුගන්නාව කන්ද නැගීම වගේම තමයි බැස්මේදීත් එකම විදියට මේ දෙකම මට කරන්න පුළුවන්. දවසක් පල්ලම බහිනකොට බ්‍රේක් කැඩිලා ගියා. කකුල් දෙකෙන්ම තමයි බැස්ම පාලනය කරගෙන කෑගල්ලට ආවේ. වාර්තාවක් විදියට ගන්නවා නම් ඒකත් ඒ ගොඩට තමයි වැටෙන්නේ. මේක හැත්තෑව දශකයේ මුල සිද්ධ වුණේ.”
1982 නෙදර්ලන්තයේ පැවැති පාපැදි සමුළුවට එක් වූ ඇන්තනි අපේ පාපැදි ක්‍රීඩාව සහ දුෂ්කරතා මැයෙන් විනාඩි විස්සක පමණ දේශනයක් පවත්වා තිබේ.
“මේ කතාවට පාපැදි ලෝකයේ ලොකු ප්‍රචාරයක් ලැබුණා. අපි විතරයි ඒ දවස්වලත් රාත්තල් 45 ක් බර ස්ටෑන්ඩඩ් සයිකලයෙන් රේස් පදින්නේ.
එතරම් බර සයිකලයකින් අපි රේස් පදිනවා කියනකොට සමුල්වට ආපු අය ඇස් උඩ තියාගෙන මගේ කතාව ඇහුවේ. අනික අපි මේ සයිකලය පැයට සැතපුම් 20 ක වේගයෙන් පදිනවා කියනකොටත් ඔවුන්ට පුදුමයි.”
ඔහු ජය ගෙන අැත්තේද 1964 ලංකා සවාරිය පමණි.
ඒ අතින් මම හරිම අවාසනාවන්තයි. අනිවාර්යෙන්ම දෙවැනියා - තුන්වනියා වෙනවා.
2015 දක්වාම ඇමෙරිකාවේ ජීවත් වූ බව ඔහු පවසයි.
යහපාලනය නිසා ආවා
“ඇත්තටම පාලකයන්ගේ වැරැදි නිසා නොවෙයි මම රට ගියේ. පාපැදි පරිපාලකයන්ගේ වැරැදි නිසා මට මෙහෙ ඉඳලා වැඩක් නෑ කියලා හිතුණා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එන්න කිව්වට පස්සේ තමයි ආයෙත් මගේ රටට ආවේ. මම ජාතික පුහුණුකරු විදියට රටට ලොකු සේවයක් කළා කියලා හිතෙනවා.”
1960 - 61 අතර කාලයේදී සිමන්ස් සුවිශේෂ වූ පාපැදි ක්‍රීඩා වාර්තා දෙකක් පිහිටුවීය. 1970 - 72 අතර කාලයේදී ඔහු නියෝජනය කළේ කොටහේන ඇල්බියන් ක්‍රීඩා සමාජයයි. එහිදීත් තරග රැසක් ම ජය ගත්තේය.
ඇන්තනි සිමන්ස් 1971 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ විය. පසුව යුද හමුදා කණ්ඩායමේ නායකත්වය දරමින් තරගවලට ඉදිරිපත් විය. තරගත් ජය ගත්තේය. 1974 වසරේදී ඔහු යුද හමුදා වර්ණලාභියෙක් විය.
සිමන්ස් පසුකෙලක මෙරටේ ජනප්‍රිය වීමට විශේෂ හේතුවක් බලපෑවේය. ඒ රත්නපුර දිස්ත්‍රික් පාපැදි සංගමය මඟින්ය. එය පිහිටු වූයේ 1976 වසරේදීය. හෙතෙම එහි නිර්මාතෘය. මෙම සංගමය මඟින් සුවිශාල වූ දායකත්වයක් ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩාවට ලැබිණි.
1982 වසරේ ඔහුට සුවිශේෂ අත්දැකීමක් ලැබුණි. ඒ පාපැදි ක්‍රීඩාවේ දැවැන්ත රටවල් ලෙසට සැලකෙන නෙදර්ලන්තය, ප්‍රංසය සහ බෙල්ජියමේ සංචාරය කිරීමටයි. ඒ ප්‍රථම අන්තර්ජාතික පාපැදි සතියට ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.
සිමන්ස් 1985 වසර වන විට ඕමානයේ ආරක්ෂක බ්‍රිතාන්‍ය යුද හමුදාවේ සේවය කරමින් සිටියේය. එහිදී පාපැදි ක්‍රීඩාවේ නිරත වූයේය. හෙතෙම නියෝජනය කළේ මාජීස් සමාජයයි. ඔහු ඕමාන සවාරියත් ජය ගත්තේය. එවිට හෙතෙම 45 හැවිරිදි විය.
1996 වසරේදී ඔහු තවත් සුවිශේෂ දෙයක් සිදු කළේය. ඒ ප්‍රවීණයන්ගේ පාපැදි සංගමය පිහිටුවමිනි. මෙමඟින් වාර්ෂික තරග පවත්වයි. ඔහුගේ ජාතික පුහුණුකාරිත්වය මත ශ්‍රී ලංකාව විදෙස් ජයග්‍රහණ අත් කර ගත්තේය.
ඇමෙරිකාවේ ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ 1996 වසරේදීය. එහිදී මාර්ග පාපැදි තරගයට සිමන්ස්ගේ දායකත්වය ලැබුණේ පරීක්ෂකවරයකු වශයෙනි.
2001 වසරේදී ඇමෙරිකාවේ නිව් ජර්සි සහ නිව් යෝර්ක් නුවරවලදී පැවැති මාස්ටර්ස් තරගවලටත් ඔහු සහභාගි වූයේය.
ඇමෙරිකාවට එල්ල වූ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදි ප්‍රහාරය සිය ඇසින් දුටුවන් අතර සිමන්ස් ද සිටියේය. “එදා මම තවත් ඇමෙරිකානුවන් තිදෙනෙක් සමඟ පුහුණුවීම් කටයුතුවල යෙදී සිටියා. එතැනදී තමයි මේ ප්‍රහාරය දුටුවේ” ඔහු සිය ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ලෙසට එය හැඳින්වූයේ එසේය.
ඔබේ ජීවිතයෙන් භාගයට වඩා ගෙවිලා තියෙන්නේ ක්‍රීඩාවත් එක්ක. ඇත්තටම ක්‍රීඩාව ගැන මොකද හිතෙන්නේ?
“ක්‍රීඩාව...”
ඔහු නැවතත් හිස් අහස් කුස දෙස බලයි. මා වෙත හැරුණු හෙතෙම,
“ඇත්තට ම මේක හරි දුකක්.” යැයි පවසයි.
from silumina
0 Comments