ලාංකේය ක්‍රිකට් ක්ෂේත්රයේ නිලවරණ උණුසුම පිළිබඳ කතාබහ දිනෙන් දින උණුසුම් වෙමින් පවතියි. ක්‍රීඩා පනතට එක් කළ විවිධ සංශෝධනයන්ද මෙකි උණුසුම වර්ධන කිරීමට හේතු වී තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් මහා පුටුව පිළිබඳ කතාබහ මොන තරම් උණුසුම් වුවද ජාතික ක්‍රිකට් කණ්ඩායමට නම් පාන් කියා ගන්නටවත් බැරි තරමට ප්රශ්නයන් වැළක සිර වී සිටියි.
පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වාර්ෂිකව කණ්ඩායම සම්බන්ධයෙන් ලබා දිය යුතු ප්‍රගති වාර්තා දෙකක් වෙනුවෙන් මුදල් අය කර ගැනීමක් පිළිබඳ මෙරට මෙන්ම විදෙස් මාධ්‍යය ද තොරතුරු වාර්තා කර තිබූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා හෙළිදරව් කළ කරුණු අනුව කියවුණේ ප්‍රධාන පුහුණුකරුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 70කට ආසන්න ප්‍රමාණයක් සහ වාර්ෂිකව එය රුපියල් ලක්ෂ 900කට ආසන්න බවය. වාර්ෂිකව රුපියල් ලක්ෂ 900කට ආසන්න වැටුප ලබන පුහුණුකරුවකු සිටි කණ්ඩායමකට අද ටෙස්ට් තරගයක දින පහක් ක්‍රීඩා කිරීමටත් මරාගෙන මැරෙන සටනක් කිරීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය මෙය වුවද, අද නිලවරණ වේදිකාවට ගොඩ වැදී සිටින පිරිසට අනුව, ක්‍රිකට් මහ පුටුව ලැබේ නම් බිමට ම සමතලා වී ඇති ක්‍රිකට් ක්‍රීඩාව මාස තුනකින් ඉර-හඳ අල්ලන තරමට ඔසවා තබන බවය. මෙවර නිලවරණයට ඉදිරිපත් වී ඇති සියලුම දෙනාම එකිනෙකාගේ පිටවල් කසා ගනිමින් මීට පෙරද මේ වේදිකාවේ ම රඟපෑ අයුරු මොවුන්ට අමතක වුවද සමාජයට මතකය. දැන් සියලුම දෙනාම ශුද්ධෝදනලා වීමට වෙර දරන්නේ කිසිත් නොවු ගණනටය. මොන පොරොන්දු ලබා දී ක්‍රිකට් මහා පුටුවට පැමිණියද කවුරු කවුරුත් කළේ තම තමන්ගේ කෙවිටේ ප්‍රමාණයට ක්‍රිකට් ක්‍රීඩාව දක්කා ගෙන යෑම පමණි. ජයග්රාහි හැරවුම් ලක්ෂ්‍යයක් තියා එකි ලකුණක්වත් මේ මහා පුටුවට පොරකන්නන්ගේ කාල වකවානුවල දක්නට තිබුණේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් ඉනිමක ලකුණු 150කට හෝ ළඟා වීමට ඉඩකඩ තිබූ බව පැහැදිලිය.
නිලවරණ උණුසුම සේම වාසි බස්ද වචනවලට සීමා වන වට පිටාවක මීට වඩා දෙයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බලාපොරොත්තු විමද උගහටය. නිලවරණ උණුසුම්ව පැවැතියද ඒ තුළ ඇත්තේ තනතුරු ලාභ, ජනප්‍රියත්වය, ආර්ථික වාසි, වෙනත් තම තමන්ගේ සිහින මිස බාර ගන්නට වෙර දරන - වළිකන ක්‍රිකට් පිළිබඳ සැබෑ ආසාවකින් නොවන බව පැහැදිලිය. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වරක් ප්‍රකාශ කළේ ක්‍රීඩාවේ උරුමක්කාරයන් ලාංකේය ක්‍රීඩාවේ කරුමක්කාරයන් වෙමින් වසරකට හෝ කාලය දිගු කර ගැනීමට මාන බලන්නේ ක්‍රීඩාවට ඇති ආදරයකින් නොවන බවයි.
මැයි මාසයේ එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන අවසන් එක්දින තරගාවලිය වන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියයි. ක්‍රිකට් ලෝක කුසලානය අත ළඟ තබා ගනිමින් තවමත් අත් හදා බැලීම් වලින් මිදී නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තරගාවලිය සඳහා ද නම් කර ඇති කණ්ඩායමෙන් පෙනී යයි. කෙසේ වෙතත් අත්හදා බැලීම් හොඳ නමුත් මේවා කළ යුතුව ඇත්තේ - තිබුණේ මීට කලකට පෙරය. 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පටන් පසුගිය කාලයේ ක්‍රීඩකයන් 50කට ආසන්න පිරිසක් දාම් ලැල්ලේ ඉත්තන් මාරු කරන්නා සේ එහාට මෙහාට කළද ප්‍රතිඵල නැත. ඇති වූ එකම දෙය පරාජයන් වැළකට මුල පිරීමය. මේ පරාජයන් ගෙන් මිඳීමට තවමත් හැකියාව ලැබී නැත.
මෙතෙක් රෝස පන්දුවෙන් ටෙස්ට් තරගයක වැඩ වරද්දා නොගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ පැවැති පළමු ටෙස්ට් තරග පරාජයෙන් පසු, දිනේෂ් චන්දිමාල් සිය සුපුරුදු බයිලාව ම මෙවර ද වාදනය කළේය. එනම් ඊළඟ තරගයේ පටන් නිවැරැදිවන බවය. අපි ටිම් එකක් විදියට කනගාටු වෙනවා මේ තරගයේදීත් අපේ පිතිකරුවන්ගේ අඩු පාඩු බලපෑවා. අපේ හදා ගන්න තියෙන්නේ එක පැත්තයි. ඒ පිතිකරණ අංශයයි. ඔස්ට්‍රේලියාව වගේ රටක ලකුණු 300කට යෑම හරිම අසීරුයි. ඒ අඩු පාඩුව අපි ඉක්මනින් හදා ගන්න ඕනෑ.
ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවේදී පරාජය කළ ඉන්දියාවත්, බටහිර ඉන්දිය කොදෙව්වන් සිය රටේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය පරාජය කළ ආකාරයත්, නවසීලන්තයට එරෙහිව ඉන්දියාව, නවසීලන්තයේදිත් පෙරළි කරන අයුරු දකින විට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් කරන්නේ ආපස්සට බවය.
අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෑතකදී ප්‍රකාශ කළේ ක්‍රිකට් මේ ආකාරයෙන් විශාල වශයෙන් විනාශ වූයේ කඩා වැටුණේ තමන්ද අමාත්‍යධුර දැරූ මේ රජය යටතේ බවයි. බලධාරින්ගේ වගකීම විය යුත්තේ මේ අඩුපාඩු සාදා ගෙන ඉදිරියට යාමටය. නමුත් සිදු නොවන්නේද ඒ දේමය. ක්‍රීඩා නිලවරණවලදී සිදු විය යුත්තේ දක්ෂයන් අතරින් දක්ෂතම පිරිසක් ක්‍රීඩා පරිපාලනය අතට ගැනීමය. නමුත් අපේ රටේ සිදු නොවන්නෙත් ඒ දෙයම බව අතීතය සාක්ෂි දරයි. ක්‍රීඩාව සම්බන්ධයෙන් හෝ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් සුවිශේෂි දක්ෂතා ප්‍රගුණ කළ පිරිස් මහා පුටුවල නැත. මේ අවාසනාවන්ත තත්ත්වය නිසාම කොහේ හෝ කරක් ගසන පිරිස් තම නිලබලය, මුදල් බලය භාවිත කර මහා පුටුව ඩැහැ ගනියි. මේ තැනැත්තන්ගෙන් ක්‍රීඩාවට කවදාවත් සුගතියක් අත්වන්නේ නැත.
from silumina
0 Comments