පසුගිය වසරට අදාළ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් සම්මාන උලෙළේ හොඳම ක්‍රිකට් විනිසුරුට හිමි සම්මානය කුමාර් ධර්මසේන දිනා ගනිද්දී, වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා, ටෙස්ට් ක්‍රීඩකයා සහ එක්දින ක්‍රීඩකයා වශයෙන් සම්මාන ත්‍රිත්වය ම දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක චිරාත් කෝලියි. අන්තර්ජාතික ක්‍රිකට් සම්මාන උලෙළේ නව පිටුවක් සටහන් කළ වසර වශයෙන් ගෙවී ගිය වසර හැඳින්විය හැකිය. එහිදී එකම ක්‍රීඩකයකු වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා, එක්දින සහ ටෙස්ට් ක්‍රීඩකයා වශයෙන් සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගත් පළමු වතාව මෙය වූ බැවිනි. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල මෙහි සුවිශේෂ සටහන වූයේ කුමාර් ධර්මසේන වසරේ හොඳම විනිසුරු වශයෙන් වසර හයකට පසු නැවතත් ක්‍රිකට් කරළියේ බැබළීමයි.
ලාංකේය ක්‍රීඩා කෙත නිරන්තරයෙන් ම පෝෂණය කරනු ලබන තවාන් බිම හෙවත් තිඹිරිගෙය වන්නේ පාසලයි. අප රටේ බොහෝ ක්‍රීඩා ඉලක්ක කරගත් සම්මාන උලෙළවල් අතර, ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. වාණිජ පරමාර්ථ මුල්කරගත් සමාජ ක්‍රියාකාරකම් අතු ඉති සේ වැඩෙන ලාංකේය භූමිය ඔබ්සර්වර් මොබිටෙල් ක්‍රිකට් සම්මාන උලෙළ යනු අංකුර ක්‍රිකට් ක්‍රීඩකයන් කරලිගත කරන උදාර සත්කාරයකි. 41 වැනි ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළ කරළිගත වන්නට මාස කිහිපයක් තිබියෙදි කුමාර් ධර්මසේන දෙවැනි වරටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හොඳම ක්‍රිකට් විනිසුරු සම්මානය දිනා ගැනීම වඩාත් වැදගත් වන්නේ ඔබ්සර්වර් - මොබිටෙල් ක්‍රිකට් සම්මාන කරළියට ගොඩවූ ක්‍රිකට් ක්‍රීඩකයකු අයිසීසී සම්මාන උලෙළක කිරුළකට හිමිකම් කියූ දෙවැනි වතාව මෙය වීමත්, එකී දෙවතාවෙම ධර්මසේන වසරේ හොඳම ක්‍රිකට් (2012 සහ 2018) විනිසුරුවා ලෙස සම්මානයට පාත්‍ර වීමත්ය.
1996 දී හයවැනි ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාව දිනා ගනිද්දී, එකී කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග (1980 - 82), රොෂාන් මහානාම (1983 - 84), අසංක ගුරුසිංහ (1985), මුත්තයියා මුරලිදරන් (1991) සහ ධර්මසේන 1989 නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් ඔබ්සර්වර් ක්‍රිකට් සම්මානය හිමිකර ගෙන තිබේ.
අහඹු ලෙස ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධර්මසේන වසර 17 ක් පුරාම නාලන්දා විද්‍යාලයේ මලල ක්‍රීඩාවට සම්බන්ධ වී තිබේ. දුර පැනීම සහ හෙල්ල විසි කිරීමේ ඉසව් ධර්මසේනගේ ප්‍රියතම ඉසව් වන විට, මේ සියලු දේ දෙස ඇස ගසා ගෙන සිටි සිසිල් ගමගේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ආරාධනා කර තිබේ. ධර්මසේනගේ පාසල් ක්‍රීඩා දිවියේ සුවිශේෂි කඩඉමක් වන්නේ 1985 ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්රාම මහා ක්‍රිකට් ගැටුමය. එම තරගයේ කඩුළු හතරක් බිඳ දමන විට ධර්මසේනගේ වයස අවුරුදු 15 කි.
සෑම විටම සිහින සැබෑ නොවන නමුදු සැබෑ වන සිහින ද නැතුවා ම නොවේ. තෙවැනි වියේ පසු වූ පොඩි එකා පියාගෙන් ඉල්ලීමක් කළේය. තාත්තේ මට බෝල් කරන්න කෝ. පියා සිය බාල පුතුගේ ඉල්ලීම නොපිරිහෙලා ඉටු කළේය. පොඩි එකා පන්දුවට පහර දෙන විට පියා පන්දු යැව්වේය. බොහෝ ඉන්දියානුවන් මෙන් ම මෙකී පියා ද සුන්දර සිහිනයක් දුටුවේය. ඒ සිය පොඩ්ඩා සුපිරි ක්‍රිකට් තරුවක් වනු ඇතැයි යන්නයි. පොඩි එකා සියලු ම බාධක දුක් කම්කටොළු විඳ ගෙන ඉදිරියට පැමිණිය ද අද සැබෑ වූ එකී සිහිනය දකින්නට එම පියාට වරම් අහිමි විය. ඒ මසක පමණ කාලයක් රෝගාතුරව හිඳ හදිසියේ පියා දිවියෙන් සමුගත් බැවිනි. තාත්තා නැති අඩුව තවමත් දැනෙනවා. ඒ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිගේ හඬයි. 2018 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සම්මාන උලෙළ කෝලීට සුවිශේෂ වන්නේ වෙනකක් නිසා නොව, වසරේ විශිෂ්ට ම ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රීඩකයා වශයෙන් සම්මාන ත්‍රිත්වය දිනා ගැනීමය. එමෙන් ම ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකකට ම ඇතුළත්ව ඇති කෝලිට එහි නායකයා ලෙස කටයුතු කිරීම ද විශේෂත්වයකි.
ධර්මසේන සහ කෝලි එකම ක්‍රීඩාවක නිරත වුවද දෙදෙනාගේ කාර්යන් එකිනෙකට වෙනස්ය. කොටින් ම කෝලි ක්‍රීඩා කරන විට ඇඟිල්ල එසවෙන්නේ ධර්මසේනගේය.
පසුගිය වසර හයකට අධික කාලයේ විනිසුරුවන් අතර ධර්මසේන සිටියේ පළමු ස්ථාන කිහිපයේය. කොටින්ම කිවහොත් හොඳින්ම පීඩනය හැසිරිය හැකි විනිසුරුවරයන් අතර ප්‍රමුඛයකු ලෙසිනි. එකී දක්ෂතාව ධර්මසේන සතුවීම නිසාම ඉන්දීය කණ්ඩායම තරග වදින සෑම තරගාවලියක් පාහේ විනිශ්චය කිරීම ධර්මසේනට බාරදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයද දැක්වූයේ දැඩි උනන්දුවකි.
පසුගිය වසරේ නිමාවට පත්වුණු එංගලන්ත – ඉන්දියා තරගාවලියේ ද විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ධර්මසේන එහි දී දැඩි අපහසු වූ තීන්දු කිහිපයක්ම ඉතා නිවැරදිව ලබා දුන්නේය. මේ පිළිබඳ හිටපු ඉන්දීය නායකයකු සහ වත්මන් විස්තර විචාරකයකු වන සව්රව් ගංගුලි පවා සඳහන් කර සිටියේ පැවති තත්ත්වය යටතේ ධර්මසේන ලබා දුන් තීරණ විශිෂ්ට බවත්, එනිසාම ඔහු හොඳම ක්‍රිකට් විනිසුරු බවත්ය.
දීර්ඝ කාලීනව ඉන්දීය කණ්ඩායමේ තරග විනිශ්චය කටයුතු සිදු කිරීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියානු කණ්ඩායම ධර්මසේනගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම බවට පත්විය. තමන් විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමේ දී ක්‍රීඩා කරනු දැකීමට කැමති ක්‍රීඩකයකු බවට විරාත් කෝලි පත්වන්නේ ඒ හරහාය.. දිගින් දිගටම ඉන්දීය කණ්ඩායමේ තරග හිමි වීම හරහා කෝලි පිළිබඳ කැමැත්ත ඔහු තුළ ඇතිවී තිබේ.
“අපි ආසියාවේ ඉපදිච්ච අය. ඒත් ක්‍රිකට් අතින් ගත්තම ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර ඉන්දියාව ප්‍රබලම තැනක ඉන්නවා. ඔවුන් ක්‍රීඩා කරන තරග නරඹන්න ගොඩක් ප්‍රේක්ෂකයන් එනවා. ටී. වී. එකෙනුත් බිලියන ගාණක් නරඹන ඒ තරග ගොඩක්ම ප්‍රෙෂර්. මමත් ඒ වගේ තරග අම්පයරින් කරන්න ගොඩක් කැමතියි. අයි. සී. සී. යත් ඒක දන්න නිසා ඒ තරගවලට ගොඩක් වෙලාවට මාවම දානවා” ධර්මසේන පවසයි. “විරාත් කෝලි කියන පුද්ගලයා ක්‍රීඩා කරනවා බලන්න ඇත්තටම මම කැමති වුනේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග විනිශ්චය කරන්න ගිහිල්ලා” යැයි කෝලිට කැමැත්තක් ඇතිවීමට හේතුවූ කාරණාව ගෙන හැර දක්වයි.
කෝලි යනු දැඩි අධිෂ්ඨානශීලී ක්‍රීඩකයෙකි. ක්‍රිකට් පිටිය තුළ දී ඔහු තරම් ප්රචණ්ඩත්වයක් දක්වන ක්‍රීඩකයකු නොමැති තරම්ය. ඔහු තරම් ජයග්‍රහණ ඉල්ලන නායකයකු නැති තරම්ය. ඒ ඔහුගේ හැටිය. ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත් කියැවු දවසේ සිටම ඔහු ප්‍රගුණ කළේ ජයග්‍රහණයම පමණි. ඔහුගේ ඒ ලීලාවට නිසි තැන දැන් ලැබී තිබේ.
“තරගාවලි අතරතුර කීප වතාවක්ම මට කෝලිව ඇසුරු කරන්න අවස්ථාව හම්බවෙලා තියෙනවා. ඕනෑම දෙයක් ඔහුත් එක්ක සුහදව කතා කරන්න පුළුවන්. මට හිතෙන විදියට විරාත් කෝලිට තියෙන දේවල් පුද්ගලයෙක් හැටියට මට හම්බ වුනා නම් කෝලි එළියෙදි හැසිරෙන විදියට මට ඒ වගේ ඉන්න බැරි වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන් දුප්පත් මිනිස්සුන්ට, ඒ කියන්නේ ක්‍රීඩාවට එන මිනිස්සුත් එක්ක කතා කරන විදිය, හැසිරෙන විදිය හරිම විශිෂ්ටයි. ඒ ගැන මං මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. එතැන දී මම ඔහුව දකින්නේ ඉතා විශිෂ්ට පුද්ගලයකු විදියට. ක්‍රීඩාංගණය ඇතුළේ ඉන්න පුද්ගලයා නොවෙයි ඇත්තටම එළියට ආවහම. මනුස්සයෙක් විදිහට ඔහු ඉතාමත් හොඳ පුද්ගලයෙක් කියලයි මං හිතන්නේ” යැයි ක්රීඩකයකුට එහා ගිය කෝලිගේ මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳ ධර්මසේන පවසයි.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පැමිණ සිටින මේ කෙටි කාලය තුළ කෝලිගේ පිත්තෙන් බිඳ වැටුණු වාර්තා එමටය. තවත් ඒවා බොහෝමයක් ඉදිරියේ දී බිඳ වැටෙනු ඇත. ඒ, ඒ තරමටම කෝලි ක්‍රීඩාවේ දක්ෂයකු බැවිනි. එතරම්ම දක්ෂයකුගෙන් ශ්‍රී ලංකාවට ගත හැකි ආදර්ශ බොහෝ බව ද ධර්මසේනගේ මතය වේ.
“මං හිතන විදියට එයා ක්‍රීඩා කරන්න ආවහම අනිත් දේවලට වඩා ඒ ගැනම තමයි අවධානය තියෙන්නේ. මං කෝලිගෙන් ඒ වගේ දේවල් ගොඩක් දකිනවා. විශේෂයෙන්ම එයා පුහුණු කරන වෙලාවට ෆෝන් එකවත් අතේ තියාගෙන ඉන්නවා ගොඩක් වෙලාවට දකිනවා අඩුයි. ජිම් එකේ හිටියත්, දුවන්න ආවත් එහෙමයි. ඒ පුරුදු අපිට නෑ. මම වුනත් ගොඩක් වෙලාවට ජිම් එකට යනකොට ෆෝන් එක අරගෙනයි යන්නේ. ඒ කියන්නේ එයා දෙයකට අවධානය යොමු කළොත් ඒ දේ ගැනම ඉලක්ක කරගෙන ඉන්නවා. ඒකම ඇති හැදෙන කෙනෙක්ට”
1988 වසරේ නොවැම්බර් මස 05 වැනි දින දිල්ලියේ දී මෙලොව එළිය දුටු කෝලි කුඩා කල සිටම දැඩි කැපවීමකින් යුතුව සිය පුහුණුවීම්වල නිරත වූවෙකි. ඔහුගේ පිත්තෙන් ශතකයක් ලැබූව ද, ද්විත්ව ශතකයක් ලැබූව ද, නැතහොත් ලකුණු නොලබා දැවී ගිය ද එදිනට කළ යුතු ශාරීරික යෝග්‍යතාවන් සහ පුහුණුවීම් එලෙසින්ම සිදු කරයි. ඔහුගේ දින දර්ශනයේ නිවාඩු දිනයක් නැත. කෝලි පවසන අන්දමට විවේක දිනය යනු වංචාකාරී දවසකි.
“මං හිතන්නේ ඒ වගේ පුහුණුවීම් කරන මනුස්සයෙක් මම කවදාවත් දැකලා නෑ. මාර විදියට පුහුණුවීම් කරනවා. එයා විශ්වාස කරන්නේ එයාවම විතරයි. තරගාවලි අතරතුර දී මම දැකලා තියෙනවා, ජිම් එකට ගියත්, දුවන්න ගියත් එයා ඒවා හරියටම කරන බව. ඒ වගේම කෑම ගැනත් එයා හරිම පරිස්සමින් තමයි කටයුතු කරන්නේ. ක්‍රීඩාවට ඒ දෙකම හරිම වැදගත් කියන එක එයා හොඳට දන්නවා”
කෝලි තුළ වූ තමන් පිළිබඳ වූ හසළ විශ්වාසය පිළිබඳව ධර්මසේනගේ අදහස් දැක්වීම 100%ක්ම සත්‍ය බව එංගලන්තය සමඟ නොටිංහැම්හි පැවති තෙවැනි ටෙස්ට් තරගය දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලිවම දැක ගත හැකි විය. එම තරගයට ඉන්දීය පිල පිවිසෙන්නේ පළමු තරග 2 ම පරාජයට පත්ව තිබිය දී ය. තරගාවලියේ පළමු තරග 2 පරාජයට පත්ව තිබිය දී හිස එසවීම යනු ඉතාම අපහසු කරුණකි. එහෙත් පළමු ඉනිමේ දී ලකුණු 97ක් ලබන කෝලි දෙවැනි ඉනිමේ දී ලකුණු 103ක් රැස් කරමින් ඉන්දියානු පිල ලකුණු 203ක ජයක් කරා රැගෙන යන්නේ පිතිකරුවන්ගේ වගකීම තනිවම තම උර මත තබාගෙනය.
තරග 5කින් සමන්විත එම තරගාවලියෙන් 4-1ක් වශයෙන් ඉන්දියාව පරාජයට පත් වුවද තරගාවලියේ වැඩිම ලකුණු ලාභි පිතිකරුවා බවට පත්වීමට කෝලි සමත් විය. හෙතෙම තරග 5ක දී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 593කි. එම තරගාවලියේ දෙරටේම පිතිකරුවන් අතරින් ශතක දෙකක් වාර්තා කිරීමට සමත්වූ එකම පිතිකරුවා වන්නේ ද කෝලිය. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 59.3ක අගයක් ගනු ලබන කෝලිගේ පිත්තෙන් වාර්තා වූ අර්ධ ශතක 3කි. එය දෙරටේම පිතිකරුවකු වාර්තා කරන ලද වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව ලෙසින් ද සටහන් විය.
ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් ලෙස ඉන්දීය ප්‍රේක්ෂකයන් හඳුන්වනු ලබන්නේ ලෝක පූජිත පිතිකරු සචින් තෙන්ඩුල්කාර්වය. ටෙස්ට් මෙන්ම එක්දින තරගවල මෙතෙක් වැඩිම ලකුණු සහ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා ලෙසට තෙන්ඩුල්කාර් පත්වීම නිසා එරට ප්‍රේක්ෂකයින් ඔහුට ඒ නම්බු නාමය පිරිනමා තිබේ. එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට පය ගසා ගෙවී ගිය වසර 10ක කාලය තුළ පිතිකරුවෙකු ලෙස දක්වා ඇති දක්ෂතා පිළිබඳව සලකා බැලීමේ දී මේ සියලු වාර්තාවල අයිතිය වැඩි කලක් නොගොස් මෙම හැඩකාර දකුණත් පිතිකරුවා සතුකර ගන්නවා නොඅනුමානය.
ක්‍රීඩාව තුළින් ලබා තිබෙන අද්විතීය ජනප්‍රියත්වය නිසා සෙසු ක්‍රීඩකයින්ට මෙන් නිදහසක් කෝලිට නොමැත. ඔහුගේ දිවි ගෙවන රටාව බෙහෙවින් වෙනස්ය. ඔහුට පාරක යෑමට නොහැකිය. රාත්‍රි ආහාරයක් සඳහා නිවෙසින් පිටතට යෑම හෝ නවාතැන් ගෙන සිටින හෝටල් කාමරයෙන් එළියට යෑම යනු යුද්ධයකට හා සමාන මෙහෙයුමකි. එනිසාම කෝලි තරු පහේ හෝටල් කාමර සලකන්නේ ‘රාජකීය සිර ගෙවල්” විදියටය.
“ගොඩක් වෙලාවට ක්‍රිකට් ගැන නම් කතා කරනවා අඩුයි. හැබැයි කෝලි හරි ආසයි තරගවලට අදාළ නිර්නායකයන් ක්‍රිකට් නීතිය ගැන දැනගන්න. මාත් එක්ක කතා කරන හැම වෙලාවෙම වගේ එයා අහන්නේ, තාක්ෂණය කොහොමද හරියටම උපයෝගී කරගන්නේ කියන එක වගේ දේවල්. ඒ වගේ දේවල් ගැන දැනුම ලබා ගන්න එයා හරි ආසයි. එතන දී එයාට දැන ගන්න ඕන වෙලා තියෙන්නේ නායකයකු විදියට කොයි වෙලාවට ද ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න ඕන කියන එක ගැන හරියටම දැනගන්න. ඒ වගේම විනිසුරු තීරණ අභියෝගයට ලක් කරන්නේ කොහොමද වගේ දේවලුත් මගෙන් අහගන්නවා. මම දන්න දේවල් ටික කියලා දෙනවා. ඒ වෙලාවටත් ඔහු හැසිරෙන්නේ ඇත්තටම දීර්ඝ කාලීන මිත්‍රයෝ වගෙයි.
එක්දින පිටියේ පළමු වරට ලකුණු නොලබා දැවී යෑමට පෙර වැඩිම ඉනිම සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවට ද හිමිකම් කියන්නේ ධර්මසේනය. 2009 වසරේ අන්තර්ජාතික තරග විනිශ්චයට පැමිණෙන ධර්මසේන ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි හපන්කමක් කළ ළාබාලතමයා ලෙසින් ද ඉතිහාසයට එක්වී තිබේ. විනිසුරු දිවියේ දී ද ඔහුගේ නම සෙසු විනිසුරුවන්ට වඩා සුවිශේෂී වෙයි. ඒ මන්දයත් 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමත් සමඟ ලෝක කුසලාන අවසන් මහ තරගයක ක්‍රීඩා කළ සහ විනිශ්චය කළ ප්‍රථමයා බවට පත්වීමට ද ධර්මසේන වාසනාවන්ත වී තිබේ.
වසර 12කට ආසන්න කාලයක් තිස්සේ ටෙස්ට් තරග 31ක දී කඩුලු 69ක් ද, එක්දින තරග 141ක දී කඩුලු 138ක් ද බිඳ හෙළා තිබේ. අවශ්‍ය විටෙක පිතිකරුවකු වශයෙන් ද විශාල සේවයක් කර ඇති ධර්මසේනගේ ටෙස්ට් අංශයේ සාමාන්‍ය 19.72ක් ද, එක්දින අංශයේ සාමාන්‍ය 22.62 ද සටහන් වේ.
“මං හිතනවා මමත් පුළුවන් වෙලාවට ඔහු වගේ කරනවා ඇති කියලා. හැබැයි කෝලි තරමටම කරන්න තරම් නම් හැකියාවක් නෑ. මම මාත් එක්ක කෝලිව සංසන්දනය කළොත් මම ඔහු අගය කරන්නේ මට කරන්න බැරි දේවලුත් ඔහු කරන නිසයි. ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කරන කැප කිරීම් මගේ මේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු හැසිරෙන විදිය, කතා කරන විදිය පවා විශිෂ්ටයි. එයාගේ තැනට මම ගිහිල්ලා හිටියා නම් මම වුනත් ඔහු කරන විදියට කරන එකක් නැහැ කියලා” අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උලෙළේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගත් ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පිළිබඳ ලොව අංක එකේ විනිසුරු ධර්මසේන සිය හඬ අවදි කර තිබුණේ ඒ ආකාරයෙනි.
from silumina
0 Comments