Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු ශ්‍රේණියේ පන්තියකට උපරිම සිසුන් 37යි

2021 වර්ෂය වන විට එක් පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් විය යුතු බවට වන ප්‍රතිපත්තිමය තීරණය අනුව මේ වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණියේ එක් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 37ක් විය යුතු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇතැම් පාසල්වල දේශපාලනික හේතු සහ වෙනත් විවිධ හේතූන් මුල් කර ගනිමින් එම තත්ත්වයන් ඒ අයුරින්ම තවමත් ක්‍රියාත්මක නොවන බවට වාර්තා වී ඇති බව පවසන ඇමැතිවරයා ජාතික මට්ටමින් ලබා දෙන තීන්දු තීරණ වෙනස් කිරීමට හෝ ක්‍රියාත්මක නොකර සිටීමට කිසිවකුට හැකියාවක් නොමැති බව ද අවධාරණය කරයි.

අධ්‍යාපන ඇමැතිවරයා ‍මේ බව පැවැසුවේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ කුලියාපිටිය කිලින්පොල ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් පසුගිය දා පැවැති උත්සවයේදී ය.

වර්තමානයේ පාසල් සිසුන් සම්බන්ධයෙන් බහුලව අසන්නට ලැබෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් ඇතුළු ශෝචනීය ක්‍රියා කලාප පාලනය කිරීමෙහිලා මවුපියන් දරුවන් කෙරෙහි නිරන්තරවම පූර්ණ අවබෝධයකින්, නිරීක්ෂණශීලී අයුරින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය.

රටේ සියලු පාසල් පහසුකම් සහිත පාසල් ලෙස සංවර්ධනය කරමින් සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී ඇති ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ මවුපියන්ට ද, ගුරුවරුන්ට ද දරුවන් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් කටයුතු කිරීමේ වැඩි ඉඩක් සැලසෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා එහි දී සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();