Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාභය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ විරෝධතාවට නියෝග ලබන 11දා

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් ලක්ෂ තුන්සිය තිස් නවයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07කට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට අධිකරණමය බලයක් නොමැති බවට විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ලබන 11 වැනිදාට ප්‍රකාශයට පත්කෙරේ. මේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් හා නීතිපතිවරයා වෙනුවෙන් දැක් වූ කරුණු සලකා බැලූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධව නියෝගයක් නිකුත් කිරීම ලබන 11 වැනිදාට එසේ කල් තැබීය.

සම්පත් අබේකෝන්(සභාපති), සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනේ. පෙර නඩු දිනයේ විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් විසින් මේ නඩුව මේ අධිකරණයේ පවත්වාගෙන යෑමට කිසිදු අධිකරණමය බලයක් නොමැති බවට කරුණු දක්වන ලදි.

එම මූලික විරෝධතාවට එරෙහිව කරුණු දැක්වීමට නීතිපතිවරයා විසින් දින ඉල්ලා තිබූ අතර ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් මූලික විරෝධතාවට එරෙහිව ඊයේ (31) අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් කර සිටියේ ය.

නඩුව ආරම්භ කර මේ වන විටත් නඩු විභාගය සඳහා විත්තියට අවශ්‍ය යැයි පැවසූ ලේඛන පනස්දහසකට අධික ප්‍රමාණයක් මේ වන විටත් ලබා දී අවසන්ව තිබියදී මෙවැනි මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමෙන් විත්තිය බලාපොරොත්තු වන්නේ මේ නඩුව කඩිනමින් දිනපතා විභාගයට ගැනීම වැළැක්වීම බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය.

අගවිනිසුරුවරයාගේ නිර්දේශ මත මේ නඩුව මේ අධිකරණයේ විභාගයට ගැනීමට නියෝග කළ ද නඩුව මේ අධිකරණයේ විභාගයට ගන්නවාද නැද්ද යන්න තීන්දු කිරීමේ අයිතිය පැවැරෙන්නේ මේ විනිසුරු මඬුල්ලට බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ ය. මෙය ආර්ථිකමය හා මූල්‍යමය අපරාධයක් බවත් පනත අනුව මූල්‍යමය වටිනාකමට සීමාවක් දක්වා නැති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙය පුද්ගල විෂයානුබද්ධව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයක් නොවන බවත් මෙය රාජ්‍ය ආයතනයක් මුල්කරගෙන ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයක් බවත් සඳහන් කළේය.

ලේඛන පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 25ක්, රුපියල් ලක්ෂ 12ක් මාළු ටැංකි දෙකක් ඉදිකිරීමට වැය කර ඇති බවත් ඉදිකිරීම සඳහා නාවික හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වය සඳහා රුපියල් ලක්ෂ 290ක් වියදම් කර තිබෙන බවත් ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙය බරපතළ මූල්‍ය වංචාවක් නොවේදැයි පවසා සිටියේය.

සමස්ත ක්‍රියාවලියම ගත් විට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගැනීමට මීටත් වඩා හොඳ නඩුවක් තිබේදැයි දිලීප පීරිස් මහතා පවසා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();