බඩඉරිඟු, උක්, කුරහන් ඇතුළු වගා රැසකට හානි පමුණුවන සේනා දළඹු වසංගතය මැඬ පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවාද?
කෘෂිකර්ම අමාත්‍යාංශය විදියට අප මේ දක්වා පියවර රැසක් රැගෙන තිබෙනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින්, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළා. සිංහල දෙමළ මාධ්‍ය දෙකෙන්ම පත්‍රිකා බෙදා හැරියා. අපේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන, මහවැලි අධිකාරිය වගේ ආයතනත්, පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරුන්, රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන, කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළත්ව විශේෂ බළකායක් පිහිටුවලා මේ දළඹු උවදුර මර්දනය කරන්නත් පාලනය කරන්නත් පියවර රැසක් ගෙන තිබෙනවා.
මේ දළඹු උවදුර ජාතික ව්‍යසනයක් ලෙසට නම් කරනවාද?
ජාතික ව්‍යසනයක් බවට ‘නම් කරන-එක’ නෙමේ ප්රශ්නය; මේ උවදුර නතර කරන එකත්, පාලනය කරන එකත් තමයි ප්රශ්නය. ඒ කටයුතු කරන්න ජනපතිවරයත් අගමැතිවරයත් මැදිහත් වී සිටිනවා. අපි ඒ අනුව කටයුතු කරනවා.
දළඹුවාගෙන් හානි වූ වගා බිම් ගිනි තබා විනාශ කරන්න උපදෙස් දී තිබෙනවාද?
ගිනි තියලා විනාශ කරන්න කියන්නේ දළඹු ව්‍යාප්තිය බහුලව තියන වගා බිම්වලටයි.
දළඹුවා මර්දනය කිරීමට දේශීය ක්‍රම කෙරෙහි අවධානය යොමු කරනවාද?
පැහැදිලිවම ඔව්. කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීම්වලට අනුග්‍රහය දක්වනවා? ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණු රැස්වීමටත් එවැනි ගොවි මහතකු ඇවිත් හිටියා. මේ දළඹුවා මර්දනයට හා පාලනයට එවැනි උපදෙසුත් අපි ලබා ගන්නවා.
සැර කෘෂි රසායන ද්‍රව්‍යයක් යොදාගෙන මේ දළඹුවා මර්දනය කරන්න බැරි ඇයි?
සමහරු කියනවා මේ දළඹුවා දැවිලා අළු වෙලා යන්න කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කරන්න කියලා. ඒත් රටක් විදියට අප කටයුතු කරන්නේ ඒ පිළිබඳ දැනඋගත්කමක් ඇති විශේෂඥයන්ගේ මතය අනුවයි. අපේ පර්යේෂණාගාරවල අත්හදා බලලා, මිනිසුන්ට හා වගාවට හිතැති සෙසු සතුන්ට අවම හානියක් වන කෘෂිරසායන වර්ග තමයි අප භාවිත කිරීමට උපදෙස් දෙන්නේ.
දළඹුවා විනාශ කරන්න උගුල් භාවිත කරන්න සූදානමක් තිබෙනවාද?
ඔව්. ‘පෙරමෝන’ උගුල මේ සඳහා භාවිත කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා කට්ටල විසිදාහක් පමණ ස්විට්සර්ලන්තයෙන් ගෙන්වීමට අදහස් කර තිබෙනවා. මේ විනාශය කරන පිරිමි දළඹුවන් පෙරමෝන උගුලට ආකර්ෂණය වෙනවා.
සේනා දළඹුවා මර්දනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම ප්‍රමාණවත් නැති බව රජයේ ඇමැතිවරයකුම පවසා තිබුණා නේද?
මං හිතන්නේ එතුමා වෙනත් අමාත්‍යාංශයක වැඩ කරන නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳව දැනුමේ අඩුකමක් නිසාද දන්නේ නෑ එහෙම කියන්න ඇත්තේ. ඔය කියන ඇමැතිවරයා පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවටත් සහභාගි වුණා. එහිදී අප පැහැදිලි කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගත් පියවර කොතෙක්ද කියලා. ජනාධිපතිවරයා ඇතුළු ඒ රැස්වීමට පැමිණ සිටි කණ්ඩායම අප මෙතෙක් සේනා දළඹු මර්දනයට ගෙන තිබෙන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත් වුණා.
හානි වූ ගොවි ජනතාවට වන්දි ලෙස කොපමණ මුදලක් වෙන් කර තිබෙනවාද?
සේනා දළඹු උවදුර මර්දනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැනටමත් මිලියන 118ක් වැය කර තිබෙනවා. වගා හානි වූ ගොවියන්ට වන්දි ගෙවන්න රුපියල් මිලියන 250ක් දැනට වෙන් කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කොහොම වුණත් මේ මුදලේ ප්‍රශ්නයක් නෑ. හානියට පත් සියලු වගාවන් සඳහා රජයක් විදියට අප වන්දි ගෙවීමට පියවර ගන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමීක්ෂණවලට අනුව බඩඉරිඟු වගාවේ සියයට විස්සකට අඩු ප්‍රමාණයකට දැනට හානි සිදුව තිබෙනවා. හෙක්ටයාර් අසූ දෙදාහක පමණ බඩඉරිඟු වගාව සිදු වනවා. වගා හානිය අනුව පූර්ණ හානියකට රුපියල් හතළිස් දාහක් බැගින් ගෙවන්න රජය පියවර ගන්නවා.
මේ වන්දි මුදල් ගෙවන්නේ කවරදා සිටද?
කැබිනට් පත්‍රිකාව අනුමත වුණේ අඟහරුවාදා. හැකි ඉක්මනින් වගා හානි වූවන්ට වන්දි ගෙවන්න පියවර ගන්නවා. චෝදනා කරන්න ඕනෑ කෙනකුට පුළුවන්. අපට ලැබිලා තියන තොරතුරු අනුව බඩඉරිඟු බීජ සමඟ දළඹුවා ආවා කියන කතාව පිළිගන්න බෑ. මේ සේනා දළඹුවාගේ ප්රශ්නය අද ඊයේ ඇති වූ දෙයක් නෙවෙයි. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් උත්සාහ කෙළේ මෙය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට ඇවිත් රටේ කෘෂි කර්මාන්තය විනාශ කිරීමට හිතාමතාම ඇති කළ ප්‍රශ්නයක් ලෙස පෙන්නීමටයි. සේනා දළඹුවාගේ ව්‍යාප්තිය මුලින්ම සොයාගත්තේ ඇමෙරිකාවෙන්. ඊට පසුව අප්‍රිකාවටත්, ඉන් පසු ආසියාතික රටවලටත් ව්‍යාප්ත වුණා. දළඹුවාගේ සුහුඹුල් අවස්ථාවේ එක් රැයකදී කිලෝමීටර් 100කට වැඩි දුරක් පියාඹන්න පුළුවන්. 2018 වසරේ මේ උවදුර ඉන්දියාව පුරා පැතිරුණා. අප රටෙන් මේ දළඹුවා සොයාගත්තේ පසුගිය ඔක්තෝබර් අග භාගයේදීයි. මේ මාස තුනට දළඹුවාගේ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කරලා තියෙනවා.
සේනා දළඹුවා ඇමෙරිකාවේදී සම්පූර්ණයෙන්ම විනාශ කළ බවට තොරතුරු තිබෙනවාද?
ඇමෙරිකාවේ සීත කාලයට මේ සතා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. උෂ්ණ කාලයට යළි ව්‍යාප්ත වෙනවා. ඒ නිසා මං හිතන්නේ නෑ ලෝකයේ කොහෙවත් සීයට සීයක් මේ සතා විනාශ කර තිබෙනවා කියලා. ඒත් තත්ත්වය පාලනය කර තිබෙනවා.
එජාපය අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට අරඅඳින බවටත්, එය රටට අහිතකර බවටත් විපක්ෂය නඟන චෝදනාවට ඔබේ පිළිතුර කුමක්ද?
අප තවමත් ව්‍යවස්ථාවක් හදලා ඉදිරිපත් කර නෑ. මේ හදන්නේ මාධ්‍ය මඟින් බොරු බිල්ලෙක් මවා පා, එයින් දේශපාලන වාසි ගන්නයි. අපේ පක්ෂයේ සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජාතීන් එකට එකතු වී ඉන්නවා. එජාපයේ අප සියලු දෙනා මේ රටට ආදරෙයි. වෙනම රාජ්‍යයක් හදන්න, මේ රට කෑලිවලට කඩන්න අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා කඩලා බෙදලා බිඳලා වෙන් කරන්න අප කවුරුවත් කැමැති නෑ. ඒකීය රාජ්‍යයක් යටතේ කටයුතු කරන්න තමයි යෝජනාවක් ඉදිරිපත් කර තියෙන්නේ. අප මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමටත්, සියලු සෙසු පක්ෂවලටත් කියන්නේ කරුණා කරලා ඔය ගොල්ලන්ගේ අදහස් දෙන්න; මේ යෝජනාවලියේ අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න.
මේ වසර මැතිවරණ වසරක් බව මාධ්‍ය වාර්තා පළ වනවා. මැතිවරණයකට එජාපයේ සූදානම කෙබඳුද?
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න එජාපය සූදානම්. ජනපතිවරණයට අපට හොඳ හස්තියෙක් ඉන්නවා. ඒත් විපක්ෂයට හරිහමන් අපේක්ෂකයෙක් නෑ. වෙලාවකට චමල් රාජපක්ෂ යෝජනා වෙනවා; තව වෙලාවකට ගෝඨාභය රාජපක්ෂ යෝජනා වෙනවා; තවත් සමහරු බැසිල්ගේ නම කියනවා. මෙයාලට තවමත් අපේක්ෂකයකු නැතිව මංමුළා වී සිටින බවක් තමයි අපට නම් පේන්නේ!
from silumina
0 Comments