2019 වර්ෂය තවත් තීරණාත්මක මැතිවරණ වර්ෂයක් වන බව නොඅනුමාන ය. ලාංකික සමාජය මෑතක සිට තීරණාත්මක මැතිවරණ කාල ගැන උනන්දු වේ. 2014 වර්ෂය උදාවන විට ද බොහෝදෙනෙක් කල්පනා කළේ එළඹෙන්නේ තීරණාත්මක මැතිවරණ වර්ෂයක් බව ය. 2015 ජනවාරී 08 දින ඒ තීරණාත්මක මැතිවරණය උදා විය. බොහෝ දෙනෙකු කල්පනා කළ පරිදි ම ඒ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය කරන්නට හැකි විය.
මහින්ද රාජපක්ෂ හුදු පුද්ගල චරිතයක් ලෙස පරාජය කිරීම ජනවාරී 08 දා මහජන අභිලාශය නොවීය. එදා සමාජය බලාපොරොත්තු වූයේ මහින්ද රාජපක්ෂගේ දේශපාලනය පරාජය කිරීම ය. ගෙවී ගිය සිවු වසර තුළ ඒ විකල්ප මාවතේ යම්කිසි දුරක් ගමන් කිරීමට අපට හැකි විය. එහෙත් මුළුමනින් ම රාජපක්ෂ දේශපාලනයට විකල්ප මඟක යන්නට අපට හැකිවූයේ නැත. නමුත් පසුගිය ඔක්තෝබර් 26 සිදු කළ දේශපාලන ප්‍රති විප්ලවය ජය ගන්නට ලාංකික සමාජයට හැකිවීමම 2015 දී රාජපක්ෂ දේශපාලනය පරාජය කිරීමේ ප්‍රතිඵලයකි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියට හා සංස්කෘතියට හානිකර යමක් විධායකයෙන් සිදුවූ කිසිම මොහොතක ඒවා වැළැක්වීමට එකල නොහැකි විය. පිළිගත් ආචාර ධර්මයන්ට පටහැනිව දේශපාලන අවශ්‍යතා සදහා රටේ අග්‍රවිනිශ්චයකාරවරයා ඉවත් කළ අඳුරු සිදුවීම හොඳම උදාහරණයකි. එහිදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග කෙතරම් වැරවීරිය දැරුවත් ඒ කළු පැල්ලම ඇතිවීම වලක්වන්නට නොහැකි විය. නමුත් ඔක්තෝබර් 26 වැනි ප්‍රති විප්ලවය පරාජය කරන්නට ලාංකික සමාජයට හැකිවීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ ශක්තිය නැවතත් තහවුරු වීම පිළිබඳ සාක්ෂියකි.
ඔක්තෝබර් 26 ප්‍රති විප්ලවයට එරෙහිව කඳවුරු බැඳ ගැනීම සිදුවූයේ අරලියගහ මන්දිරය මූලික කරගෙන බව බොහෝ අය පවසති. එහෙත් අරලිය ගහ මන්දිරයේ පවුරු පදනම් විසින් ශක්තිමත් කළේ රනිල් වික්‍රමසිංහව නැවත අගමැති ධූරයේ පිහිටුවීමේ අරගලයයි. නමුත් ඊට වඩා ශක්තිමත් අරගලයක් දියත් වූයේ මේ රටේ ව්‍යවස්ථාදායකය මූලික වූ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගනිමිනි. ඊට නායකත්වය දුන්නේ කතානායක කරු ජයසූරිය ය. ඔහු නොබිය ව හා අඛණ්ඩ ව ද කෙනහිලිකම් හා පක්ෂ දේශපාලනික අපහාසයන් මධ්‍යයේ ද කළ අරගලය අගය කළ යුත්තකි.
රටක ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ශක්තිමත් ව පවතින්නේ ඒ රටේ සමාජ දේශපාලන බලවතුන් ඊට දක්වන ගෞරවය මත ය. නායකයන් සංස්කෘතික වටිනාකම් තුට්ටුවට මායිම් නොකර ඉවත දමයි නම් ඒ රටේ පොදු ජනතාව ද ඒ වටිනාකම් වලට නිසි ගෞරවය දක්වන්නේ නැත. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ලාංකික සමාජයේ සිදුවන්නට ගියේ එවැනි අකරතැබ්බයකි. එහෙත් ව්‍යවස්ථාදායකය මූලිකව ගොඩනැඟූ සටන්කාමීත්වය නිසා යළි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම සතුටට කරුණකි.
එහෙත් පසුගිය සතියේ දී පදලංගල ධම්මදේව නම් භික්ෂුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව අගයමින් කරන ලද කතාව මේ රටේ සමාජ සංස්කෘතික වටිනාකම් වලට නැවතත් එල්ල කළ තියුණු අභියෝගයක් බව කිව යුතුව ඇත. පදලංගල ධම්මදේව හිමියන් රූපවාහිනී මාධ්‍යයේ ආකර්ෂණීය ලෙස ජනප්‍රිය වූ ධර්ම භාෂක භික්ෂුවකි. එම භික්ෂුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් දේශපාලනික පක්ෂපාතීත්වයක් තිබීම කිසිම ගැටලුවක් ඇති නොකරන්නකි. එහෙත් ඒ පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීම රටේ සංස්කෘතික සමාජ වටිනාකම් වලට නිගරුවක් විය යුතු නැත.
නමුත් පදලංගල භික්ෂුව විපක්ෂ නායකවරයා අගයමින් අග්‍රාමාත්‍යවරයාට සියුම් මඩ පහරක් ඒල්ල කළේ ය. අග්‍රාමාත්‍යවරයාට සියුම් මඩ පහරක් එල්ල කරමින් මේ රටේ සිංහල ශිෂ්ඨාචාරයට විශාල කළු පැල්ලමක් එක් කළේ ය. යම් පුද්ගලයකුට දරුවන් නොමැතිවීම අපහාසාත්මක කරුණකට හේතුවක් නොවන බව ශිෂ්ට සමාජයේ පිළි ගැනීමයි. එසේම දරුවන් සිටීම හෝ දරුවන් ජනනය කර ගන්නට හැකියාවක් තිබීම හෝ විශේෂ දේශපාලනික වටිනාකමකට ද හේතුවක් නොවේ. අවාසනාවට පදලංගල ධම්මදේව භික්ෂුවට අනුව අග්‍රාමාත්‍යවරයාට දරුවන් නොවීම දේශපාලනික දුර්වලතාවකි. විපක්ෂ නායකවරයාට දරුවන් සිටීම පමණක් නොව දරුවන් අවශ්‍ය නම් හදාගන්නට හැකියාවක් ඇතැයි පදලංගල භික්ෂුව විසින් කල්පනා කිරීම ද දේශපාලනික කරුණු ය.
පදලංගල භික්ෂුව විළිලැජ්ජා නැතිව ප්‍රසිද්ධ සභාවක් අමතමින් අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂට මේ මොහොතේ වුවද දරුවන් තනන්නට හැකි පුරුෂ ශක්තියෙන් යුක්ත නායකයකු යැයි අභිමානයෙන් පවසයි. ඊට සභාවෙන් ද යහපත් ප්‍රතිචාර ලැබේ. කෝටියක් සංවර සීලය රැකිය යුතු බෞද්ධ භික්ෂුවක් අවම වශයෙන් සම්මා වාචා ශීලයවත් නොරැකීම කෙතරම් නම් අප්‍රසන්න සිදුවීමක් ද? පදලංගල භික්ෂුවගේ ප්‍රකාශය සුභද්‍රගේ අභද්‍ර වචන මෙන් පිළිකුල් සහගත වුවත් මේ වනතුරුත් පදලංගල භික්ෂුව අයත් නිකායේ කාරක සංඝ සභාව මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වා නැත. බෞද්ධ භික්ෂූත්වයට තමන් විසින්ම කර ගන්නා වූ මේ අගතිය පිටු දැක සිල්වත් විනය ගරුක භික්ෂු සමාජයක් නිර්මාණය කර ගැනීමට නිකාය කාරක සංඝ සභා උනන්දු නොවීම කනගාටුවට කරුණකි.
පදලංගල භික්ෂුවගේ අශ්ලීල වචන භාවිතයෙන් වැඩිම හානිය වන්නට ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂටත් ඔහුගේ බිරිය ශිරන්ති රාජපක්ෂටත් විය හැකිය. වයස හැත්තෑව ඉක්ම වූ මහින්ද රාජපක්ෂගේ ලිංගික හැකියාව උස්සර්ජනයට නැංවීම ලාංකික ගැමි සමාජය තුළ නොමනා හැසිරීමකි. ඊටත් වඩා කාන්තාවකගේ නම සදහන් කරමින් ම ලිංගිකත්වය ගැන උජාරු කතා පැවැත්වීම අශ්ලීල ය. නාමල් රාජපක්ෂ වැනි තරුණ දරුවන් සිටින එසේම ඒ දරුවන් රටේ සමාජයේ කැපී පෙනෙන ස්ථාන වල සිටීම වැනි කරුණු මහින්ද රාජපක්ෂගේ ලිංගිකත්වය ගැන කතා කිරීමට පදලංගල භික්ෂුවට බාධාවක් වී නැත. නමුත් මේ වනරුත් රාජපක්ෂ පවුලෙන් කිසිම විරෝධයක් පදලංගල භික්ෂුවට එල්ල වී නැත.
රාජපක්ෂ පවුලේ ඒ නිහඬතාවයෙන් කියැවෙන්නේ පදලංගල භික්ෂුවගේ හැසිරීම ගැන කතා කරන්නට ගොස් ඒ භික්ෂුව තරග කර ගන්නට ඇති නොකැමැත්ත විය හැකිය. එහෙත් තම ආත්ම ගෞරවයට වඩා භික්ෂුවකගේ අමනාප වීම වැඩි හානිදායක බව ඔහුට සිතෙන්නට ඇත. එසේත් නැත්නම් පදගලංගල භික්ෂුවගේ අශ්ලීල හැසිරීම මඟින් තමන්ට එල්ල කරන සංස්කෘතික පාදඩකම තේරුම් ගන්නට මහින්ද රාජපක්ෂට හැකියාවක් නොමැති වීම විය හැකිය. එහෙත් ඔහුට නැති ඒ ලැජ්ජාව ශිරන්ති රාජපක්ෂට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තරුණ දරුවන් තිදෙනාට ම හෝ නොතිබීම පුදුමයට කරුණකි.
ඕස්ට්‍රේලියානු ආර්ථික සඟරාවක් උපුටා දක්වමින් එවකට අමාත්‍යවරයකු වූ ඩියු ගුණසේකර 2013 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ රටේ ආර්ථිකයෙන් 50%ක් කළු ආර්ථික ක්‍රියාකාරකම් වලින් ගහන බව ය. රටේ ආර්ථිකයට කළු ආර්ථිකය සම්බන්ධ වෙන්නට පටන් ගත්තේ 1978 ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් පසුව ය. එතෙක් කෘෂිකාර්මික හා කාර්මික අංශයට යටත්ව තිබූ ආංශික ආර්ථික බෙදී යෑම සේවා අංශයටත් ව්‍යාප්ත වූයේ 1978 න් පසුව ය. එනිසා සමස්ත ආර්ථිකය කළු ආර්ථිකය විසින් ගිලගනිමින් පැවතුණි.
එහි ප්‍රතිඵලය වූයේ ඊට සමාන්තරව සමාජයේ පාදඩ ස්ථරය පුළුල් වීම ය. පාදඩ සමාජ බලවේගය තවදුරටත් වෙළෙදපළ තුළට සීමා නොවූ අතර සමාජයේ පරමාදර්ශී මිනිස් කුලක ද පාදඩකරණයට නතු විය.
වෛද්‍ය, ලේඛක, සාහිත්‍ය වැනි ක්ෂේත්‍ර පමණක් නොව පූජ්‍ය පක්ෂය පවා පාදඩකරණයට ලක්වීම නිසා ඒ සමාජ කුලක වල සංස්කෘතික වටිනාකම් හෑල්ලුවට ලක් විය. ඇත්තට ම ඔවුන් තුළ සමාජ ගෞරවයට හේතුවන වටිනාකම් ක්‍රමයෙන් ගිළිහී යමින් තිබුණි.
1978 ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් පසුව නිර්මාණය වූ පාදඩ සමාජ ස්ථරය කලක් දේශපාලනිකව සේවය කළේ එක්සත් ජාතික පක්ෂයට ය. තවමත් ඒ ස්ථරයේ යම්කිසි කොටසක් එක්සත් ජාතික පක්ෂය වටා සිටින බව ඇත්තකි. නමුත් රාජ්‍ය බලය සමග ඒ පාදඩ සමාජ ස්ථරය රාජපක්ෂ දේශපාලනය හා සම්මුතික විය. රාජපක්ෂ දේශපාලනය මේ පාදඩ ස්ථරය සුරතල් කරමින් ඔවුන්ගේ කළු සල්ලි වලින් දේශපාලනය ශක්තිමත් කර ගන්නා විට ඒ පාදඩ ස්ථරය රාජපක්ෂගේ දේශපාලනය තුළ ශක්තිමත් ව ලේ උරා බොමින් වැඩුණි. ඒ දෙපාර්ශ්වය එකිනෙකා මත යැපෙමින් සහ ජීවනයක් ඇති කර ගත්හ. ඒ ශක්තිමත් සහජීවනය ලාංකික දේශපාලනයට කළ හා කරමින් පවතින අගතිය අතිමහත් ය.
සමාජයක සංස්කෘතික වටිනාකම් ඒ සමාජයේ ගමන් මඟ තීරණය කරයි. පාදඩ සමාජයක පාදඩ සංස්කෘතිය විසින් තීරණය කරන සමාජ ගමන් මඟ රටක් විනාශයට ඇද දමයි. රාජපක්ෂ දේශපාලනය වටා එක බුරුත්තට රොක්වී සිටින සමාජ පාදඩ බලවේග විනාශ කිරීම ජනවාරී 08 වැනි දා මහජන අභිලාශයන්ට සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කාරණාවකි. එය පහසු කරුණක් ද නොවේ.
from silumina
0 Comments