Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්: පැතුම් නිශ්ශංක පෙරමුණේ

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය පස්වැනි සතිය නිමාවනවිට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට එන්.සී.සී ක්‍රීඩා සමාජයේ පැතුම් නිශ්ශංක සමත්ව සිටී. තරග 3කදී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 554ක් රැස්කරගෙන තිබෙන ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව 206කි. තරග 5කට එක්වූ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ඕෂද ප්‍රනාන්දු ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 535ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන අතර එස්.එස්.සී පිලේ කෞෂාල් සිල්වා (458) තෙවැනි තැනට පත්ව සිටී. එන්.සී.සී. නායක ඇන්ජලෝ පෙරේරා (450) සහ සැරසන්ස් නායක මිලින්ද සිරිවර්ධන (396) පිළිවෙළින් සිවුවැනි හා පස්වැනි ස්ථානවල රැදී සිටිති.

එහෙත් මේ සතියේ ආරම්භ වන සංචාරක අයර්ලන්ත ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරගාවලිය හේතුවෙන් පැතුම්, ඇන්ජලෝ සහ මිලින්දට පළමු පෙළ තරගාවලිය අහිමි වෙති. මේ තරගාවලියේ මූලික වටයේදී එන්.සී.සී පිලට තවත් තරගයක්ද, සැරසන්ස් පිලට තරග 2ක්ද ඉතිරිව තිබේ.

සිවුවැනි සතිය වනවිට පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවූ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායක සමගින් යළිත් සමානව කඩුලු ලබා ගැනීමට රාගම ක්‍රීඩා සමාජයේ අමිල අපෝන්සු සමත් විය. නිමාවූ සතියේ තරිඳු කඩුලු 3ක් දවාගත් අතර අපෝන්සු කඩුලු 4ක් දවා ගත්තේය. දෙදෙනාම මේ වනවිට කඩුලු 29 බැගින් දවාගෙන සිටිති. එහෙත් අපෝන්සු අයර්ලන්ත ‘ඒ’ පිල සමග තරගාවලියට එක්කර ඇති බැවින් ඔහුටද මෙහි ඉදිරි තරග අහිමිවනු ඇත. එන්.සී.සී පිලේ චතුරංග ද සිල්වා කඩුලු 25ක් දවාගෙන තෙවැනි තැනට පත්ව ඇති අතර මලින්ද පුෂ්පකුමාර (සී.සී.සී.) සහ නිමේෂ් විමුක්ති (හලාවත) පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල සිටිති.

සිවුවැනි සතියේදී ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි එන්.සී.සී ක්‍රීඩා සමාජය මුවර්ස් පිලට එරෙහිව ලකුණු 543ක දැවැන්ත ජයක් සමගින් පෙරමුණ රැක ගැනීමට සමත් විය. ඔවුන් මෙවර තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය වූ අතර ඒ සමගින් ප්‍රසාද ලකුණු 61.020ක් හිමිකර ගත්තේය.

එක් ජයග්‍රහණයක් සමගින් ලකුණු 52.510ක් ලබා හලාවත ක්‍රීඩා සමාජය දෙවැනි තැන පසුවන අතර ද්‍රවිඩ සංගම් පිල (41.265) තෙවැනි තැන සිටී.

පස්වැනි සතිය ආරම්භ වනවිට ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි එස්.එස්.සී ක්‍රීඩා සමාජය මීගමුව පිලට එරෙහිව ඉනිමක ජයක් හිමිකර ගැනීමට සමත් විය. ඒ සමගින් ප්‍රසාද ලකුණු 64.995ක් ලබාගත් එස්.එස්.සී ක්‍රීඩකයෝ ඉදිරියෙන්ම සිටින අතර මෙවර තරග වාරයේ දෙවැනි ජය අත්කරගත් සී.සී.සී පිල දෙවැනි ස්ථානයේම පසුවෙයි. ඔවුන්ට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 54.390කි. කෝල්ට්ස් පිල (36.505) තෙවැනි තැන පසු වෙයි.

6 වැනි සතියට අද ආරම්භ වන තරග

ද්‍රවිඩ සංගමය - රාගම (එන්.සී.සී.)

වරාය අධිකාරිය - හලාවත (කටුනායක)

මුවර්ස් - යුද හමුදාව (මුවර්ස්)

එස්.එස්.සී - බී.ආර්.සී (බී.ආර්.සී)

සැරසන්ස් - සී.සී.සී. (සී.සී.සී.)

6 දා

මීගමුව - බදුරලිය (මග්ගොන)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();