Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුසල් ජනිත්ගේ ශතකය අපතේ යයි

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45කින් පරදී

කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට ශතකයක්, ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ලගේ සහ ධනුෂ්ක ගුණතිලකගේ සාර්ථක ආරම්භයත් නිසා ඊයේ ටවුරන්ගන් නුවර පැවැති පළමු දිවා රාත්‍රී එක්දින තරගයේදි නවසීලන්තය ලබාදුන් ලකුණු 372ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට පසුපෙළ පිතිකරුවන්ගෙන් කිසිදු සහයක් නොලැබීමෙන් ලකුණු 45කින් පරාජය වීමට සිදුවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 371ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව ඕවර 49දී ලකුණු 326කට දැවී ගියේය.

පිතිකරුවන්ට වාසිදායක මේ තණතීරුවේ ජයග්‍රහණය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවෝ ඕවර 17.4කදී පළමු කඩුල්ලට ලකුණු 119ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ඉන් වැඩි ලකුණු ප්‍රමාණයකට හිමිකම් කී දික්වැල්ල පන්දු 50කින් ලකුණු 76ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් ගුණතිලක දැවී ගියේ ලකුණු 43ක් ලබා සිටියදීය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් වසර දෙකහමාරකට පසුව සිය එක්දින තරග දිවියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් විය. පන්දු 86ක් පමණක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. කෙසේවෙතත් දික්වැල්ලගේ දැවීයාමෙන් පසුව සෙසු පිතිකරුවන්ගෙන් ඉනිම ගොඩනැගීමට සහයක් නොලැබීමෙන් ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වූ අතර ඉනිම ඇදගෙන යාමට කුසල්ට සිදුවී තිබිණි. මුළු ලකුණු සංඛ්‍යාව 298දී 7 වැනි කඩුල්ල ලෙස ඔහු දැවීයාමෙන් පසුව සෙසු පිතිකරුවන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 28ක් පමණි.

නවසීලන්ත ඉනිම ගොඩනැගූ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 139කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 138කි. එය ඔහුගේ 14 වැනි එක්දින ශතකය විය. පළමු කඩුල්ල ලකුණු 23දී බිඳ දැමීමට ලසිත් මාලිංග සමත්වූවත් නායක කේන් විලියම්සන් දෙවැනි කඩුල්ලට ගප්ටිල් සමග එක්ව ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 163ක් විය. අනතුරුව රොස් ටේලර් සමග තුන්වැනි කඩුල්ලට ලකුණු 88ක් රැස් කළ ගප්ටිල් දවාලීමට තිසර පෙරේරා සමත්වූ අතර 48 වැනි ඕවරයේදී ටිම් සයිෆර්ට්ගේ දැවීයද්දී මුළු ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 317ක් ලෙසටය. එහෙත් තිසර පෙරේරා යැවූ ඉනිමේ 49 වැනි ඕවරයේදී හයේ පහර 5ක් එල්ල කරමින් නවසීලන්ත පිල ලකුණු 350 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට ජේම්ස් නීෂම් සමත් විය. ඕවර 50 නිමාවනවිට ඔහු වේගවත් පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියේ පන්දු 13කිනි. ඊට හයේ පහර 6ක් ඇතුළත් විය. තිසර පෙරේරා යැවූ 49වැනි ඕවරයේදී නීෂම් ලකුණු 34ක් රැස් කළ අතර එය ජාත්‍යන්තර එක්දින තරග බිමේ ඕවරයකදී රැස් කළ ඉහළම තුන්වැනි ලකුණු සංඛ්‍යාව සමකිරීමක් ලෙස වාර්තාපොතට එක්විය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය හෙට (5) පැවැත්වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();