Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුරැකිව විදෙස් ගත වන හැටි කියා දෙන වැඩසටහනක් ඇරැඹුවා

සිතාරා සේනානි

සුරක්ෂිත ලෙස විදේශ රැකියා සඳහා පිටත්විය යුත්තේ කෙසේදැයි ජනතාව දැනුවත් කිරීම සඳහා විදුලි සන්දේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව විදුලි සන්දේශ, විදේශ රැකියා හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය අලුතින් ආරම්භ කර ඇති ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන එම අමාත්‍යාංශයේදී ඊයේ (28) ආරම්භ කැරුණු අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය හා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දායකත්වය මත ක්‍රියාත්මක වන මේ ප්‍රවර්ධන වැඩසටහන විශ්වාසදායී හා සුරක්ෂිත විදෙස් රැකියාවකට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නකි. මේ වැඩසටහනට යටතේ හඳුන්වා දෙනු ලැබූ '1989' විශේෂ ඇමතුම් අංකය මඟින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රදේශීය කාර්යාල හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හරහා නිවැරැදි තොරතුරු ශ්‍රමිකයන්ට ලබා දීමට නියමිතය. එසේම, මේ සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති රූපවාහිනී හා ගුවන්විදුලි දැන්වීම එළිදැක්වීම ද මෙහිදී සිදුවිය.

එහිදී අදහස් දැක්වූ විදුලි සන්දේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා,

විදේශ ගත වන අපේ ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ මේ වැඩපිළිවෙළ විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කාලයක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් තිබූ දෙයක්. අද අපට සතුටට කාරණයක් වන්නේ මේ රටට ආදරය කරන, රට සමඟ සම්බන්ධතා තිබෙන ජාත්‍යන්තර ආයතන අපට මේ සඳහා උදව් උපකාර කරමින් ඉතාමත් ම සරලව හා ඉතාමත්ම පැහැදිලිව ‍ඒ පණිවුඩය රටට ලබා දීමට හැකිවීම ගැනයි. නමුත් මම හුඟක් කනගාටු වෙන්නේ අපේ රටේ විශාල පිරිසක් වැරදි පාරෙන් රට යාම ගැනයි. සමහරු අහනවා ඇයි අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ කියලා. අපේ ශ්‍රමිකයන්ට හදිසි කරදරයක් වුණොත් ඒ පුද්ගලයා ඉන්නේ කොහේද යනාදී සියලු දත්ත මේ විදිහට කාර්යාංශය සතුව තිබෙන විට ඒ පුද්ගලයා ගෙන්වා ගැනීමට, රක්ෂණයක් ලබා දීමට මෙන්ම,දරුවන්ගේ ඉගෙනීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීම ආදී විදේශ රැකියා අමාත්‍යාංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබා දෙන වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමටත් මේ නිසා අවස්ථා ලැබෙනවා. නමුත් අවාසනාවට කරුණක් වන්නේ මේවා ගැන කරුණු හරියාකාරව ජනතාව අතරට තො‍රතුරු නොයාමයි. සමහර විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විශාල ආදායමක් ලැබුණත් මේවා ගැන ජනතාව දැනුවත් කිරීම හරියාකරව වුණාද නොවුණාද කියන ප්‍රශ්නයත් මා තුළ තිබෙනවා. අද දින ආරම්භ කරන වැඩපිළිවෙළ මේ සඳහා විශාල ශක්තියක් වේවි. අපට තිබෙන්නේ මෙය ඉදිරියට ගෙන යාමයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනට තිබෙන දුරකථන අංකයට කතා කළාම එතැන වැඩ කරන්නේ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් විතරයි. අවාසනාවකට ඒ අයම තමයි කාර්යාලයට එන අනෙකුත් ප්‍රධාන ඇමතුම්වලටත් පිළිතුරු දෙන්නේ. ඉතින්‍ ඒක හරියන්නේ නෑ. ඒ නිසා තමයි අපි 1989 කියලා විශේෂ ඇමතුම් අංකයක් ඒ තොරතුරු ලබා දෙන්න වෙන් කර තිබෙන්නේ. නමුත් එමඟින් ඉතාමත්ම හොඳ සහ කාර්යශූර ප්‍රායෝගික වැඩපිළිවෙළකට යා යුතුයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය බැනුම් නොඅසන්නේ එවිටයි.

ශ්‍රමිකයන් ලෙස විදේශ ගතවන අය තමන් යන්නේ කුමන රටකට ද, ඒ රටේ නීතිය කුමක් ද කියලා එහි යාමට පෙර දැනුවත් විය යුතුයි. ඒ ‍වගේම එසේ ගිය පසු තමන්ගේ කාලසීමාව අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට එන්න ඕනෑ වුණොත් සහ සේවා යෝජකයා එයට විරුද්ධ වුණොත් ඒ අයට නඩු කියන්න වෙනවා. ඒ නිසා මේ ගැන ජනතාව දැන සිටිය යුතුයි.

ශ්‍රී ලංකා රජය විශේෂයෙන් පිටරට රැකියා සදහා යන අයට නිවසක් සාදා ගැනීම සඳහා අඩු පොළියට රුපියල් මිලියන 10ක ණය මුදලක් ලබා දෙන්න එකඟවී තිබෙනවා. ඒ අය රට යන්නේ බොහෝවිට තමන්ගේ නිවස හදාගන්න. ඒ වගේම අපේ යුතුකමක් තිබෙනවා මේ අය ආරක්ෂා කරන්න.

විදේශතවූ මවුවරු, සහෝදරවරු මේ රටට ඇවිත් අඬනකොට බොහෝ විට ඒ ගැන ඇඟිල්ල දිගුවෙන්නේ විදේශ රැකියා අමාත්‍යාංශයට නැතිනම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටයි. ඒ නිසයි අපි කියන්නේ ගුවන්තොටුපළෙන් හොරෙන් යන්න එපා, ඒජන්සියේ අය කියූ පලියට යන්න එපා, හරි පාරෙන් යන්න කියලා. ශ්‍රී ලංකික ශ්‍රමිකයන් සුරක්ෂිත විදස් රැකියා සඳහා යොමු කරවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන මේ ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනට අවශ්‍ය සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජයටත්, එහි තානාපතිතුමාටත්, මේ සහාය ලබා දෙන මෙරට අනෙකුත් නියෝජිතායතන සියල්ලටත් මා ස්තුතිවන්ත වෙනවා.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක්, විදුලි සන්දේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

ඡායාරූපය-

සාලිය රූපසිංහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();