Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාවාරම්කරුවෝ පොලිස් නිලධාරීන් මාරු කළ යුගය අවසන්

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධී කටයුතුවල නිරත පිරිස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදුන් යුගය නිමා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ යුද්ධයට නායකත්වය දීමට තමා සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

රාජකාරී ඉටුකිරීමේ දී පොලිස් නිලධාරීන්ට සිදුවන බාධා පිළිබඳ ජනපතිට දැනුම්දීමට විශේෂ ඒකකයක් ස්ථාපනය කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ නව අධිකාරියක් පිහිටුවීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සන්දේශය අද (29) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගැයීම වෙනුවෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවැති, ජනපති ප්‍රශංසා 2019, ඇගැයීම් උලෙළ අමතමිනි.

රටේ සියලු පුරවැසියන්ගේ නිදහස් සාමකාමී දිවි පැවැත්ම තහවුරු කරනු වස් ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරමාර්ථ  යථාර්ථයක් කරමින් තීක්ෂණ බුද්ධියෙන් තම කුසලතාවන් සහ වෘත්තීමය පරිණතභාවයෙන් මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ සංවිධානාත්මක අපරාධ මැඬලමින්, වළක්වාලමින්, ග්‍රහණයට ගනිමින් සහ ප්‍රජාව දැනුවත් කරමින් කළ මෙහෙවරට සහ ජනාධිපතිවරයා වර්ෂ 2015 දී ආරම්භ කළ මතින් නිදහස් රටක් සංකල්පය යතාර්ථයක් කර ගැනීමට දිවි හිමියෙන් කැපවෙමින් කළ උදාරතර අභිමානවත් සේවය ඇගැයීමට ලක් කරමින් සහ මුළු මහත් ජාතියේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමින් පොලිස් නිලධාරීන් 1007කට විශේෂ ජනාධිපති ප්‍රශංසා සහතික පත් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

එම අවස්ථාව සංකේතවත් කරමින් සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙවැනි සම්මාන උළෙලක් සංවිධාන කළේ පළමුවරට වීම විශේෂත්වයකි.

වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

එදා දැක්වූ කුසලතාවන්, දක්ෂතාවන්, එඩිතර බව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද යෙදවීමට පෙරට එන ලෙස ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බළකා සියලු සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිතුමා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බවද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධී කටයුතුවල නිරතව සිටින පිරිස්, පොලිස් ස්ථානාධිපතිවරුන්ව මාරු කර යැවූ යුගය තමා අවසන් කරන බවයි.

පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ දී වාර්ෂික ස්ථානමාරුවීම්, ප්‍රතිපත්තිමය ස්ථාන මාරුවීම් ක්‍රමවේදයන්ට අනුව මෙන් ම ඉන් බාහිරව සිදු කෙරෙන්නා වූ ස්ථානමාරුවීම්වල දී ද එම ස්ථාන මාරුවට හේතුව ස්ථාන මාරුවීම් ලිපියේම සඳහන් කළයුතුය යන නියෝගය තමා ලබා දෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේ සිදු කරනුයේ සියලු පොලිස් නිලධාරීන්ට මාතෘභූමිය වෙනුවෙන් අවංක සේවයක් ඉටුකිරීමට බව පැවසූ හෙතෙම, ජනාධිපතිවරයා මෙන්ම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ද තමා සෑම අවස්ථාවකම අවංකව රාජකාරී ඉටු කරන නිලධාරීන් ආරක්ෂා කරන බව කියා සිටියේය.

දූෂිතයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අනුදැනුම මත කිසියම් පොලිස් නිලධාරියකු ස්ථාන මාරුවීමකට ලක්වුවහොත් හා යම් පෞද්ගලික අභියෝගයකට හෝ කරදරයකට ලක් වුවහොත් ඒ පිළිබඳ තමා වෙත පෞද්ගලිකව දැනුම්දීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරියක් පිහිටුවීම පිළිබඳව නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් අද (29) දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ ජනාධිපතිවරයා විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විතව ඉදිරි සති කිහිපයේ එම අධිකාරිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය මර්දනය ජාතික අවශ්‍යතාවක් සේ සලකමින් ඒ සඳහා ලබාදිය යුතු ඉහළම ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතුම බවයි.

රජයක් ලෙස ඒ පිළිබඳව කටයුතු කිරීමේ දී මානව හිමිකම් පෙන්වමින් එම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ඇතැමුන් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා, එය ඔවුන් සමස්ත ජාතියේම අනාගතය වෙනුවෙන් කරන ද්‍රෝහිකමක් බව ද කියා සිටියේය.

තමා පසුගිය දා කළ පිලිපීන මෙන්ම සිංගප්පුරු සංචාරවල දී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තාක්ෂණික සහාය පළ කිරීමට එම රටවල් එකඟ වූ බව මෙහි දී සිහිපත් කළ ජනාධිපතිවරයා ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන එම තාක්ෂණික දැනුම දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට එම විෂයභාරව කටයුතු කළ දේශපාලනඥයන් කටයුතු කර නොමැති බවත්, අද රටට ව්‍යසනයක්ව ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ව්‍යාප්තවීම පිළිබඳ එම සියලුදෙනා වගකිව යුතුව ඇති බවත් කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම පිළිබඳ එම නවීන තාක්ෂණික උපකරණ කඩිනමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාගැනීම පිළිබඳ සොයා බැලීමට තමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇති බවයි

මතින් නිදහස් රටක් ගොඩනැගීමේ පුළුල් අරමුණ ඉටු කර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කම්කරුවා දක්වා සියලු රාජ්‍ය සේවකයන් සහ පූජ්‍ය පක්ෂය ඇතුළු සියලු පුරවැසියන් කැපවීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, නව මුහුණුවරකින් ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන මෙම ජාතික වැඩසටහන සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ද සියලුදෙනාට ආරාධනා කළේය.

මහා සංඝරත්නය, අන්‍යාගමික පුජකතුමන්ලා, ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();