පොළොන්නරුව ජාතික මහා ක්‍රීඩා උළෙලේදී දක්ෂතම කබඩි ක්‍රීඩිකා සම්මානය දිනාගත් සබරගමු පළාතේ මනෝරී ජයසිංහ හා ක්‍රීඩක චාමර නුවන් තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා පිළිගනිති. ඒ අනුව ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ‘බී’ සාම්පල පරීක්ෂාව සිදු කිරීම අනවශ්‍ය බව ජාතික තහනම් උත්තේජන මර්දන නියෝජිතායතනය වෙත පැමිණ ඊයේ ලිඛිතව දැනුම් දුන්නේය.
‘ඒ’ සාම්පලයේ තහනම් උත්තේජක භාවිතා කොට ඇති බවට තහවුරුවී ඇති බැවින්, එහි ‘බී’ සාම්පල පරීක්ෂාව අනවශ්‍ය බව පැවැසීම වරද පිළිගැනීම හා සමාන බැවින් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවේ. එහිදී ක්‍රීඩා පනත හා ජාතික තහනම් උත්තේජක පනත අනුව දඩුවම් පැනවීම සිදුකෙරෙනු ඇත.
තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට තහවුරු වුවහොත් ඔහුට හෝ ඇයට යම් කාලයකට තරග තහනමක් පැනවෙන අතර පුහුණුකරුට ද තරග තහනමක් පැනවීමට නීති මගින් ඉඩ ඇත. මේ වනවිටත් චෝදනා තහවුරුවී ඇති ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට නැවැත දැනුම් දෙනතුරු දෙස් විදෙස් තරග තහනමක් පැනවී ඇත. පොළොන්නරුව ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග පැවැති අතරතුරදී ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය අහඹු ලෙස මූත්‍රා සාම්පල ලබාගෙන ඉන්දියාවට යවා කළ පරීක්ෂණයකදී ‘නැන්ඩ්‍රලෝන්’ නම් තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට වාර්තා වුණි.
ඒ අනුව ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට පැමිණ ඊයේ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබිණි.එහිදී ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට ‘ඒ’ සාම්පල චෝදනා ප්‍රතික්ෂේප කරමින් ‘බී’ සාම්පල පරීක්ෂාව සිදුකිරීමට අවස්ථාව තිබිණි. මෙයට සති කිහිපයකට පෙර මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ අතර ක්‍රීඩකයා එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ‘බී’ සාම්පල පරීක්ෂාව සිදු කිරීමට තීරණය විය. එම පරීක්ෂණයද ඉන්දීය රසායානාගාරයක සිදුවූ අතර එහි වාර්තාව තවමත් නිකුත්වී නොමැත.
0 Comments