Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙළෙඳ-සංචාරක-කර්මාන්ත සබඳතා ඉහළ නංවන්න ශ්‍රී ලංකා-සිංගප්පූරු නායකයන්ගේ අවධානය

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ නායකයින්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

පොලිතින් තහනම වැනි දැඩි නීති රීති ක්‍රියාවට නංවමින් පරිසරය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙනයන පුළුල් වැඩපිළිවෙළ සිංගප්පූරු අගමැතිවරයාගේ ප්‍රශංසාවට ලක් විය.

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සිංගප්පූරු අගමැති ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහත්වරු අතර හමුව ඊයේ (25) දහවල් සිදුවිය.

දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එය සකස් කිරීමේ දී ශ්‍රි ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ය. ඉදිරියේ දී ඒ පිළිබඳව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම කලාපයට පමණක් නොව ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර මත් උවදුර මැඬලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බව සිංගප්පූරු අගමැතිවරයා සඳහන් කෙළේය.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිංගප්පූරුවේ විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතුව සිටින අතර ඔවුන්ගේ සහ එරට උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් සිංගප්පූරු රජය දක්වන සහය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී සිංගප්පූරු අගමැතිවරයා වෙත සිය ස්තූතිය පළ කෙළේය. මේ අතර ඇස්ටෝනියාවේ පරිසර අැමැතිවරයා මෙන්ම එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිවුවන සැසිවාරයේ සභාපතිවරයා වන Slim kiisler මහතා ද ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වීය.

පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ මෙහි දී ඇමැතිවරයාගේ පැසසුමට ලක් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලෝකයටම ආදර්ශයක් සපයමින් වැදගත් පියවර රැසක් තබා ඇති ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පරිසර අභියෝග ජය ගැනීම පිළිබඳව ඊයේ දින පැවති සමුළුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද සිය ස්තූතිය පළ කළ ඇමැතිවරයා ඒවා අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් යෝජනා වනු ඇති බව සඳහන් කෙළේය.

මේ අතර ලබන මාර්තු මාසයේ දී නයිරෝබිහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වන ලෙස ද ජනාධිපතිවරයා වෙත ඇරයුම් කෙළේය. කාලගුණික දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග ජය ගැනීමේ දී මෙන්ම පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහි දී අගය කළ ජනාධිපතිවරයා පොලිතින් තහනම වැනි දැඩි නීති රීති ක්‍රියාවට නංවමින් පරිසරය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙනයන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳවත්, පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගනිමින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත් ඇමැතිවරයා දැනුවත් කෙළේය.

ඇස්ටෝනියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වනවිටත් පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කැර ගැනීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙළේය.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();