පොලිස් නිලධාරීන් ඇගයීමට
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අවසන් කිරිමේ උත්සවය 28 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවත් එහිදී මත්ද්‍රව්‍ය නිවාරණයට විශිෂ්ට අයුරින් දායක වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කරන බවත් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා පැවසී ය.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (25) පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය හා එහි ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. එම අවස්ථාවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතීඥ රුවන් ගුණසේකර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසී ය.
ජනවාරි 21 දා සිට 28 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ලෙස නම් කළා. එහි නිමා කිරීමේ උත්සවය මේ 28 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පොලිස් නිලධාරීන් 5000කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වනවා.
මෙය සතියකට සීමා වුණු දෙයක් නොවේ. ජනාධිපතිතුමා 2015 වර්ෂයේ සිට මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නොයෙක් වැඩසටහන් සිදු කරමින් පවතින අවස්ථාවක මෙම වැඩසටහනද පවත්වනවා.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව දායකත්වය දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීම සඳහාත් දිරිගැන්වීම සඳහාත් ඔවුන්ව ඇගයීමේ වැඩසටහනකින් මෙම සතිය වැඩසටහන නිමාවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ඔවුන්ට මෙම වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාම සඳහාත් මෙම ඇගයීම සිදු කරනවා. මේ සඳහා දායකත්වය දැක්වූ පොලිස් නිලධාරීන් 156ක් පමණ අපි දැනටමත් හඳුනාගෙන තිබෙනවා. තව 800ක් පමණ පොලිස් නිලධාරීන් ද මේ සඳහා විශිෂ්ට සේවාවක් කර තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් 1000 කට ආසන්න ප්‍රමාණයක් ඇගයීමට ලක් කර , ජනාධිපතිතුමා අතින් සම්මාන හා පදක්කම් ලබා දී ඔවුන් දිරිමත් කර මේ කටයුත්ත තවත් වේගවත්ව හා පුළුල්ව ඉදිරියට කරගෙන යාමට සූදානමින් සිටිනවා. එමඟින් ජනවාරි 28 වැනිදා මෙම සතිය නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා.
අද මෙම මත්ද්‍රව්‍ය ජාතික උවදුරක් බවට පත් වී තිබෙනවා. සෑම පුරවැසියකුගේම අවධානය මෙයට යොමු කරන්න අවශ්‍ය යි. මෙලෙස සතියක් ප්‍රකාශයට පත් කිරීමේ පරමාර්ථය වූයේ මෙම මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට සෑම පුරවැසියකුගේ ම සහය ලබා ගැනීමයි. විශේෂයෙන්ම මෙම උවදුරින් තරුණ පරපුර ආරක්ෂ කර ගැනීමට කළ යුතු යි. අපේ මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ දරුවන්ව යි. මෙයින් දරුවන් බේරා ගැනීම අපේ වගකීමක් වෙනවා. ඒ සඳහා සෑම කෙනකුගේම දායකත්වය අවශ්‍ය යි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය යටතේ සෑම පාසලකම මේ සතිය පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යොමුවී තියෙනවා. ඒ සඳහා ස්වේච්ඡා සංවිධාන , ජනතා සංවිධාන සියලු දෙනාගේම දායකත්වයෙන් අපේ දරුවන්ට මෙහි තිබෙන භයානකත්වය, බරපතළකම , මේ උවදුරික් වළක්වා ගන්නේ කෙසේ ද , භාවිතයෙන් වළක්වාගන්නේ කෙසේ ද යන්න ගැන දැනුවත් කිරිම සඳහා විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් මුළු පාසල් ක්ෂේත්රයේම සිදු කළා. මේ සඳහා සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙක්ම සෑම විදුහල්පතිවරයෙක්ම , ස්වේච්ඡා සංවිධාන නායකයන් , සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් , ග්‍රාමීය ප්‍රදේශවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවල සාමාජිකයන් මේ සදහා උදවු වෙනවා.
අද අපේ රටේ ආර්ථිකයටත් මෙය විශාල තර්ජනයක් වී තිබෙනවා. මේ තුළින් උපයන කළු සල්ලි නිසා ඉතාම අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ සඳහා පොලීසිය පමණක් නොවේ, ත්‍රිවිධ හමුදාවම දායකත්වය දක්වනවා. නාවික හමුදාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රේගු ආරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මත්කුඩු, මත්ද්‍රව්‍ය , සිගරට් , නීති විරෝධී මධ්‍යසාර රටට ගෙනඒම වළක්වනවා.
සෞඛ්‍ය ක්ෂේත්රය ගත්තත් මත්ද්‍රව්‍ය වෙනුවෙන් සිදු වන සෞඛ්‍යමය ප්‍රශ්න වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබෙනවා. ඒ නිසා මෙය රටේ සියලු දෙනාටම සෘජුව හෝ වක්‍රව බලපාන කාරණයක්.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා,
බදු වැඩි කිරීම නිසා ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය 14% ක් දක්වා අඩුවී තිබෙනවා. මෙවැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැළඳෙන ලෙඩ රෝග වෙනුවෙන් රුපියල් බිලියන 209 ක් පමණ වැය කරන විට අපට දකුණු අධිවේගී මාර්ගය සඳහා රුපියල් බිලියන 100 ක් ද , කොළඹ අධිවේගී මාර්ගය සඳහා රුපියල් බිලියන 39 ක් යන ආදී වශයෙන් වැය කර තිබෙනවා.
මෙම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දී සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කළේ දේශන මාලාවෙන් නොවේ. සතියේ වැඩසටහන සිදු වූයේ දරුවන්ටම මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු සොයා ගැනීමටයි. දෙවැනි දවසේ දරුවන් විසින් දෙමාපියන් දැනුවත් කිරීම, යහළුවන් දැනුවත් කිරීම පිළිබඳවයි. තුන්වෙනි දවසේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ නීතිය පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුවත් කිරීම සිදු කළා. එහිදී මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි ලබා දීම සඳහා ‘පාසල් පොලීසියට ලිපියක් ‘ ලෙස තොරතුරු ලබා දීමටත් , පාසල් කමිටුවක්ද පත් කළා. හතරවෙනි දවසේ දී දේශපාලනඥයන් පාසල්වලට ගිහින් දැනුවත් කිරීම සිදු වුණා. පස්වැනි දවසේ දී මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කළා. හයවැනි දවසේ දී සියලුම රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමත් , හත්වැනි දවසේ දී සියලුම ආගමික දහම් පාසල් ආශ්රිත ක්‍රියාකාරකම් මඟින් දැනුවත් කිරීමත් සිදු කරනවා.
ශ්‍රී ලංකා ජාතික දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 28 වැනිදා උතුර බලා විශේෂ දුම්රියක් උත්තර දේවි දුම්රිය ‘ මතින් නිදහස් රටක් ‘ ලෙස නම් කර උදෑසන 6.00 ට පිටත් වෙනවා. එහිදී දුම්රිය නවත්වන සෑම දුම්රිය ස්ථානයකදීම ඒ ඒ ප්‍රදේශයේ දහම් පාසල් දරුවන් විසින් වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - සුදත් නිශාන්ත
0 Comments