Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආර්ථිකය නැංවීමට අපට ආවේණික මොඩලයක් අවශ්‍යයි

ශ්‍රී ලංකාවට ආවේනික වූ ආර්ථික වර්ධන මොඩලයක් අනුව යමින් මෙරට ජනතාවගේ ආර්ථිකය නැංවීම සඳහා ආර්ථික විප්ලයක් කළ යුතු බව කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

වැවිලි කර්මාන්ත ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (24) ගාල්ල තවලම විද්‍යාරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කරනු ලැබූ “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

එහි දී නවීන් දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ ද කීය.

අධ්‍යාපන මට්ටමෙන් දක්ෂ දරුවන් පමණක් නෙවෙයි ක්‍රීඩාවට දක්ෂ දරුවන් ද මේ තුළින් ඉදිරියට ගෙන යාමට හැකි අතර ඒ සඳහා නිවැරදි කළමනාකරණයක් අවශ්‍යයි. ඒ දේවල් කිරීමට හැකි පුද්ගලයන් හරියට ස්ථාන ගත කළ යුතුයි. එය අපට කළ හැකියි. ඒ අනුව තව අවුරුදු දහයකින් පහළවකින් අපේ රටට හොඳ තත්ත්වයක් උදා වෙයි. දැනටමත් දකුණු ආසියාවේ හොඳ තැනක අපි ඉන්නවා.

මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් ලෙසයි එජාපය හඳුනාගෙන තිබෙන්නෙ. එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණ සියල්ල ජයග්‍රහණය කිරීමට සූදානම්. දකුණේ ජනතාවගේ විශේෂ ඇල්මක් මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබෙන බව අප පිළිගන්නා අතර ඔහු විශාල දැක්මක් එළියක් දකුණට ලබා දුන්නා. දකුණ එක පළාතක් පමණයි. නමුත් අනිත් පළාත් අනුව මධ්‍යම හා ඌව පළාත්වල බහුතරයක් ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින්. මේ විට බස්නාහිර පළාතේ මධ්‍යම පාන්තිකයොත් එජාපය සමඟ බව අපට විශ්වාසයි.

ඒ අනුව මේ වසරේ පළමුවෙන්ම එන මැතිවරණය තමයි ජනාධිපතිවරණය. එයට අප ලෑස්ති අතර හැකි ඉක්මනින් අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 මේ ප්‍රදේශයේ පැවැත්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටුවෙනවා. මට මතකයි දිවංගත මාගේ පියා සමඟ පුංචි කොල්ලෙක් විදිහට මම මහවැලි ක්‍රීඩා උළෙලට සහභාගී වූ හැටි. මහවැලි ව්‍යාපාරය විසින් මේ රටේ අති දැවැන්ත සංවර්ධනයක් රටේ ඇති කළා. ඒ හරහා අපේ ආහාර නිෂ්පාදනය විදුලි බල ධාරිතාව ඉහළ නැංවීම දෙගුණයකින් වැඩි වුණා. නමුත් මහවැලියයි ක්‍රීඩාවයි සම්බන්ධ වන්නේ කොහොමද ? මගේ පියා ඉතාමත් නිර්මාණශීලීව හිතලා බලලා ඒ මහවැලි කලාපවල දරුවන්ට ක්‍රීඩා කෞෂල්‍ය දියුණු කරන්නට සෑම වර්ෂයකම මහවැලි ක්‍රීඩා උළෙල නමින් ක්‍රීඩා උළෙලක් පටන් ගත්තා. ඒ හරහා තමයි ශ්‍රියානී කුලවංශ වැනි ක්‍රීඩිකාවන් අපේ මාතෘ භූමියට දායාද කළේ.

අපි තේ සම්බන්ධව කටයුතු කරන අධිකාරියක්. ඉතිං අපිත් හිතුවා කොහොමද අපි ක්‍රීඩාවට යන්නේ කියලා. මමත් ක්‍රීඩා ඇමැතිවරයා ලෙස මාස අටක් කටයුතු කළ නිසාත් ඒ අත්දැකීම් තිබෙන නිසාත්, ක්‍රීඩා ඇමැතිකම මේ රටේ තිබෙන අමාරුම ඇමැතිකමක් නිසා අපිත් හිතුවා ක්‍රීඩාවට අත ගහන්න. ඉතිං අපි කුඩා තේ වතු හා සම්බන්ධ මාපියන්ගේ දූ දරුවන්ට අපේ සෙවණැල්ල අපේ ශක්තිය ලබා දීලා මේ දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඉහළ දමන්න අපි තීරණය කළා. අපිට ඒක කරන්න පුළුවන්. එම නිසා කුඩා තේ වතු අධිකාරිය කියන එකට සීමා වෙන්නේ නැතුව නිර්මාණශීලීව හිතලා ඒ අවශ්‍ය සම්පත් දීලා ක්‍රීඩා හැකියා දියුණු කරන්න අපි උත්සාහ කරනවා. අපි මේ පටන් අරන් තියෙන්නේ “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” ගාලු දිස්ත්‍රික් උත්සවයයි. මේ දිස්ත්‍රික්කයත් ඇතුළුව දිස්ත්‍රික් 14කට මේ ක්‍රීඩා උළෙල ගෙනියනවා.

2019 වසරේ අපි බලාපොරොත්තු වෙනවා නැවත වගාවටත් නව වගාවටත් උපරිම ශක්තිය යොදවන්න. මගේ ඉලක්කය තමයි මේ රටේ තේ නිෂ්පාදනය වැඩි කරන්න. දැන් හොඳ මිලක් ලැබෙනවා. කවුරුත් කතා කරන්නේ නෑ හොඳ මිලක් ලැබෙන කොට. මිල අඩු වෙන කොට උද්ඝෝෂණ කරනවා. ඒක තමයි අපේ රටේ ස්වරූපය. අපේ රට හැදිලා තියෙන්නේ එහෙමයි. යම්කිසි හිමි දෙයක් කියලා හිතෙනවා නම් එහි යම් අඩු වීමක් වුණොත් උද්ඝෝෂණ කරනවා. නමුත් යම් දෙයක අගය වැඩි වෙලා ඒ ක්‍රමය හොඳට වෙනවා නම් සද්දයක්වත් නෑ. අද හොඳ මිලක් කුඩා තේ වතු හිමියන්ට ලැබෙනවා. පොහොර සහනාධාරය ලැබෙනවා. ඉතිං අපි උපරිමය කරනවා. මේ කරන අවස්ථාවේදීත් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවනවා. ඒ අවශ්‍ය සහනාධාර ලබා දෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවයේ කිසිම කප්පාදුවක් නෑ. මේ රජය කරන්න පුළුවන් උපරිමය කරනවා. නමුත් අපි මේ සියල්ල කරන්නේ රජය උපයන හැම රුපියලකින්ම සත අනූවක් ණය ගෙවලා.

ඉතිං මේ තත්ත්වයට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. මට විශ්වාසයක් තියෙනවා මේ 2019 අවුරුද්දේ තමයි මේ ලක් ඉතිහාසයේ වැඩිම විදේශ ණය ගෙවන්නේ. මේ වසර දෙක අපිට ටික්ක අමාරුයි. මේ මගේ මිත්‍රයා චීනයෙන් ඇවිල්ලා ඉන්නේ. එතුමිය අපේ රබර් වගාවට විශාල ආධාර දෙන්න උත්සාහ කරනවා. ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් නෑ. ඒ අයගේ තියෙන්නේ තනි පක්ෂයක්. කොමියුනිස්ට් පක්ෂයක්. ඒ පක්ෂයේ නායකයා තමයි එදා මාඕ සේතුං. ඒ අයගේ රටේ නායකයා තෝරන්නේ පක්ෂය ඇතුළෙන් මිනිස්සු නෙවෙයි. ඡන්දයක් නෑ. පක්ෂය ඇතුළේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. පක්ෂයේ සාමාජිකයෝ නායකයා කවුද කියලා තෝරනවා. මහ ඡන්ද නෑ. ජනාධිපතිවරණ නෑ. පළාත් සභා මැතිවරණ නෑ. මාධ්‍ය නිදහස නෑ. මිනිස්සු මරන්නේ නෑ.

ඉතිං අපේ දේශපාලනය කුමක් වුවත් ලක්වාසීන් හැටියට අපේ මාතෘ භූමියට අපි සියලුදෙනා ආදරෙයි. මොන පාටක් වුණත් අන්තිමට මැතිවරණයෙන් පසු අත්වැල් බැඳ ගෙන අපේ මාතෘ භූමිය ගොඩගන්න අලුත් දිශාවකට ගෙනියන්න උත්සාහ කළ යුතුයි. ඒකයි අපේ එකම යුතුකම. ඊට පසුව අපිට දේශපාලනය කරන්න පුළුවන්. දේශපාලනය කිරීමේ අයිතිය වරප්‍රසාදය සියලු දෙනාටම තියෙනවා. ඕනෑම කෙනකුට ඡන්ද දෙන්න මේ රටේ ජනතාවට අයිතිය නිදහස තියෙනවා. නමුත් කුමන්ත්‍රණ කරලා බලය ගන්න හොඳ නැහැ.

තමුන්නාන්සේලා ඒක පිළිගන්න ඕනේ. ජනතා වරමක් තියෙන කොට අපිට නිල වශයෙන් අගමැති කෙනෙක් ඉන්න කොට බහුතරයක් තියෙද්දී ඒක කණපිට හරවලා කුමන්ත්‍රණ කරලා සුළුතර ආණ්ඩු පිහිටුවලා වැඩේ අනා ගත්තා. අන්තිමට හිස නමලා බහුතරයට එකඟ වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමලා නැවතත් රට යථා තත්ත්වයට පත් කරන්න සිද්ධ වුණා. ඉතිං බලන්න මේ රටේ දැන් හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා. අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. අද මේ රටේ නිදහස් මාධ්‍ය සංස්කෘතියක් තියෙනවා සුදු වෑන් සංස්කෘතියක් නෑ. මාධ්‍යවේදීන් මරන්නේ නෑ. ඉතිං මම හිතන්නේ දැන් අපිට හොඳ රටක් තියෙනවා.

ලෝක බලවතා වන අමෙරිකාවට දෙවනුව තියෙන ආර්ථිකය රතු චීනය. මගේ මතය අනුව අපිටම ආවේනික වූ මොඩලයක් හදා ගන්න අවශ්‍යයි. අපේම ආර්ථික වර්ධන මොඩලයක් ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවුණු නමුත් මා හිතනවා අපිට එවැනි මොඩලයක් තිබෙනවා කියා. එක පැත්තකින් සමාජවාදය අපේ රට ඉතාමත් ඉහළ තත්ත්වයක් ලබා ගෙන තියෙනවා අධ්‍යාපනය හා සෞඛ්‍ය පැත්තෙන්. නමුත් අපිට තාමත් ඒ ආර්ථික සිහිනය සැබෑ වෙලා නෑ. අපි මේ පෙබරවාරි 04 වනදා අපේ 71 වැනි නිදහස් දිනය සමරනවා. අපි නිදහස් උත්සවයක් පවත්වනවා. අවුරුදු 71ක නිදහසක් ලබලත් අපිට තවමත් බැරි වෙලා තියෙනවා ඒ අවශ්‍ය ආර්ථික විප්ලවය කරන්නට. අපි මේ ගැන සිතන්නට අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායක පිරිසක් ඉන්නවා. මමත් ඉන් එක්කෙනෙක්. ඒ නායක පිරිසත් සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

මට අද විශේෂයෙන්ම මේ ක්‍රීඩාව ගැන කියන්න තියෙන්නේ විශේෂයෙන්ම අපේ රට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් බිහි කරලා තියෙන රටක්. අදත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. එදා ගාමිණී දිසානායක මැතිතුමා මේ රටට ටෙස්ට් ක්‍රිකට් වරම අරන් දුන්නා. ඒ නිසා තමයි මාතර සනත් ජයසූරිය මුත්තයියා මුරලිදරන් වැනි අය ලෝකෙට ඔවුන්ගේ දක්ෂකම් පෙන්නුවේ. අදත් අරවින්ද සිල්වා ගැන කතා කරද්දී කියන්කේ ජීනියර්ස් කියලා. ඒතරම් අති දක්ෂයෙක්. මේ අය බිහි කළේ අපේ රටෙන්. ඉතිං සහජ හැකියාවන් තියෙන දූ දරුවන් රාශියක් ඉන්නවා අපේ රටේ. අපි ඔවුන් ඔප මට්ටම් කරලා ඉදිරියට ගත යුතුයි. අපි අපේ පාසල්වල ක්‍රීඩාව අනිවාර්යය කළ යුතුයි. අඩුම සතියකට දින දෙකක්වත් දරුවන් කැමති ඕනෑම ක්‍රීඩාවක් කළ යුතුයි. ඒ විදිහට පාසල තුළින් අපේ ක්‍රීඩාව දියුණු කළ හැකියි. අධ්‍යාපන මට්ටමෙන් දක්ෂ දරුවන් පමණක් නෙවෙයි ක්‍රීඩාවට දක්ෂ දරුවන් ඒ තුළින් අපිට ඉදිරියට ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් අපි හරියට කළමනාකරණය කරන්න ඕනේ. ඒ දේවල් කිරීමට පුළුවන් පුද්ගලයන් හරියට ස්ථාන ගත කළ යුතුයි. අපිට එය කළ හැකියි. තව අවුරුදු දහයකන් පහළොවකින් අපේ රට හොඳ තත්ත්වයක් උදා වෙයි. දැනටමත් දකුණු ආසියාවේ හොඳ තැනක අපි ඉන්නවා. ආර්ථික විප්ලවය කිරීමට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි මීටත් වඩා මහන්සි වෙලා ඉදිරියට යා යුතුයි. කුඩා තේ වතු හිමියන්ට අපි අවශ්‍ය සම්පත් ලබා දෙනවා. ඒ තුළින් තේ ආර්ථිකය නැංවිය යුතුයි. තේ නිෂ්පාදනය වැඩි කර ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ සඳහා සුදුසු කණ්ඩායමක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ඉන්නවා. ඔවුන් උත්සාහවන්තව කටයුතු කරයි කියලා මා බලාපොරොත්තු වෙනවා.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();