Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රධාන වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීමයි

ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

සිංගප්පූරුවේ පැවැති පරිසර අැමැතිවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ තෙවැනි සමුළුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපතිවරයා මෙසේද පැවසිය.

සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතුයි. ඒ බව බෞද්ධයකු ලෙස මා දැඩිව විශ්වාස කරනවා. මිනිසාට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත්, පරිසර හිතකාමී ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීම අද අපගේ ප්‍රධාන වගකීමක් . පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීම අතිශය වැදගත්.

මටත් මගේ නියෝජිත පිරිසටත් දක්වන ලද සුහද උණුසුම් සත්කාර සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට සහ ජනතාවට ප්‍රථමයෙන් ම මාගේ කෘතඥතාව පළකරනවා. සමුළුවේ විශිෂ්ට සංවිධාන කටයුතු සම්බන්ධව සිංගප්පූරු රජයටත් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනටත් ප්‍රසාදය පළකරනවා. පරිසර අභියෝගයන්ට මුහුණ දෙමින් තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට ගෝලීය ජනතාව ප්‍රයත්න දරන මේ අවස්ථාවේ දී ආසියානු ශාන්තිකර කලාපීය පරිසර ඇමැතිවරුන්ගේ සැසිය ඇමැතීමට ලැබීම වරප්‍රසාදයක් ලෙස සලකනවා.

අද ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ගෝලීය මට්ටමින් විසඳුම් සෙවිය යුතු කලාපීය වැදගත්කමකින් යුතු පාරිසරික ගැටලු කෙරෙහි. එබැවින් එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර පරිසර වැඩසටහන මෙහිදී කලාපීය සහයෝගිතාව තරකර ගැනීම සඳහා ගෝලීය මට්ටමින් ගෙන ඇති පියවර ගැන ප්‍රසාදය පළ කරනවා. ලොව පුරා, විශේෂයෙන් අප කලාපයේ ආර්ථික, සමාජීය සහ පරිසර ක්ෂේත්‍රයන්ට දේශගුණික විපර්යාසවල ඇති බලපෑම ඉමහත් . මෙම වාතාවාරණය තුළ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිවුවන සැසිය සඳහා තේමාව ලෙස පරිසර අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදීමට ගතයුතු නිර්මාණාත්මක විසඳුම් සහ මිනිස් දැනුම කෙරෙහි අවධානය යොමු කර තිබීම වැදගත්.

බෞද්ධ දර්ශනය පිළිපදින්නකු වශයෙන් මා තරයේ විශ්වාස කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පමණක් නොව පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වා ගැනීමේ වගකීම අපසතු බවයි. මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිවුවන සැසිය ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම උදෙසා වූ ප්‍රතිඵලදායී හමුවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. අප ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත් පරිසර හිතකාමී තිරසර ගෝලීය ආර්ථික මට්ටමක් ගොඩනැඟීම දෙසට ආර්ථිකය මෙහෙයවීමත් අපගේ ප්‍රධාන වගකීමක්. එබැවින් පරිසරය උදෙසා වූ අපගේ යුතුකම් ඉටුකිරීම සඳහා කලාපීය සහයෝගිතාවය තරකර ගැනීම අතිශයින් වැදගත් ය.

ප්‍රෞඪ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් සහිත දේශයක වැසියකු වන මම මුළු මහත් ලෝකයේම යහපත උදෙසා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. අපගේ අතීත පරම්පරාවන් ආහාර අතින් සුරක්ෂිත වූ අතරම ඔවුහු පරිසරයට ගරු කළහ. අද ගෝලීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව නිර්මාණාත්මක පර්යේෂණ තුළින් තිරසර පාරිභෝගික ක්‍රමවේදයක් දිරිමත් කරමින් සිටින වාතාවරණය තුළ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ඉදිරි පරිසර සමුළුව වෙතට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ආහාර නාස්තිය පාලනය කරන ලෙසයි. ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛතම වගකීම වන්නේ ස්වභාවධර්මයේ වර්ධන ශක්තිය පවත්වා ගැනීමයි.

ස්වභාව ධර්මයේ හදවත නම් ,සාරවත් පස පෝෂණය වීමට අවශ්‍ය වාතාවරණයයි. පස සහ ජල සම්පත් පෝෂණය කරන වනාන්තර පෘථිවි මාතාවගේ රුධිරය වශයෙන් අනාගත පරම්පරාවට සුරක්ෂිතව දායාද කළ යුතුයි. මාගේ විශ්වාසය එය අපගේ වගකීම බවයි. පරිසර පද්ධතිය, විශේෂයෙන් තෙත්බිම් රසායනික අපද්‍රව්‍යවලින් සුරැකීමට අප එක්ව කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව කවදත් ගෝලීය පරිසරය සුරැකීමේ තම මෙහෙවර නිසිලෙස ඉටු කිරීමට කැපව සිටිනවා. කඩොලාන සුරැකීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය හරිත පරිච්ඡේදයේ සාමාජිකයකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් අපි ඉටු කරනවා. ඒ සඳහා කඩොලාන සුරැකීමට ගෝලීය මට්ටමින් අංගසම්පූර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිවුවන සැසියට ඉදිරිපත් කරනවා.

මෙහිදී මම අවධාරණය කරන්නේ පෙර පැවැති සමුළුවලදී සම්මත කරගත් යෝජනා නිසිලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. ආසියානු ශාන්තිකර කලාපීය කාර්යාලය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනින් ඉල්ලා සිටින්නේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි. ඊට අමතරව කාලීන අවශ්‍යතාවයන්ට අනුකූල ලෙස නව පියවර ගැනීමටත් පරිසර සම්මුති සංශෝධනය කිරීමේ අවශ්‍ය වෙනවා. පරිසර සම්මුති යටතේ සිය වගකීම් ඉටුකිරීම සඳහා සාමාජික රටවල් දිරිමත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ඇති කළයුතු බවට යෝජනා කරනවා. එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් බලවත් ලෙස බලපෑමට ලක්වන ශ්‍රී ලංකාව වැනි රටවලට සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීමට හැකිවන ලෙස අරමුදල් ලබාදීමේ යාන්ත්‍රණයක් ද අවශ්‍යයි.

හරිත ආර්ථිකයේ ප්‍රතිඵල ලබා ගත හැකිවන ලෙස තිරසර හරිත කර්මාන්ත සවිමත් කිරීම උදෙසා කලාපීය සහයෝගිතාවයන් ඇති කිරීමට දියුණු ජාතිකයින්ගේ සහාය අවශ්‍ය වෙනවා.එක්සත් ජාතින්ගේ පවිත්‍ර සමුද්‍ර ව්‍යාපාරය ලොව සාගර සුරැකීම අතින් වැදගත් ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. එම ව්‍යාපාරය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ගොඩබිම තුළ සිදුවන ක්‍රියාකාරකම් මඟින් සාගරයට සිදුවන හානිය ගත්විට විශේෂයෙන්ම මයික්‍රෝ ප්ලාස්ටික්වලින් සිදුවන හානිය අවම කර ගැනීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වැනි සැසියට ඉදිරිපත් කිරීම සඳහා වු යෝජනාවක් මෙම සමුළුවට ඉදිරිපත් කර තිබෙනවා. අප කලාපයේ සමුද්‍ර හා වෙරළ දූෂණය පිළිබඳ බලගතු ප්‍රශ්නයට පරිසර හිතකාමී විසඳුම් සෙවීමට අප කලාපීය වශයෙන් එක්ව ක්‍රියා කළ යුතුයි.

මා කණගාටුවෙන් වුවද සඳහන් කරන්නේ 2019 ගෝලීය පරිසර අනතුරුදායක ලේඛනයේ ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්ව සිටින බවයි. සමශීතෝෂ්ණ දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සියයට 70ක් වන ගොඩබිම් ප්‍රදේශයක් වියළි කලාපයට අයත්වන අතර වසරකට ලැබෙන වර්ෂා පතනය මිලිමීටර් 1500කට ද අඩුයි. ගෝලීය උෂ්ණත්වයේ හානිකර බලපෑම් මැද දී වුවද ශ්‍රී ලංකාව යෝධ හරිත ආයෝජනයක් වශයෙන් මොරගහකන්ද - කළුගඟ බහුකාර්ය ජල සම්පත් යෝජනා ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් වී තිබෙනවා. මෙය පාරිසරික වෙනස්කම්වල බලපෑම් අවම කර ගැනීමට ගත් එක් පියවරක්. එම යෝජනා ක්‍රම මඟින් වියලි කලාපයේ ජනතාවට පානීය ජලය සහ කෘෂි කර්මාන්තය සඳහා ජලය ලැබෙනවා. ඝණ මීටර් මිලියන 817 ක ධාරිතාවයක් සහිත එම ජලාශ දෙකට අමතරව අප රටේ උතුරු නැඟෙනහිර හා මධ්‍යම පළාත්වල ඉඩම් හෙක්ටයාර් 84000 කට වාරි ජලය සැපයීම තුළින් ජාතික ආර්ථිකයට රුකලක් ගෙන දෙනවා. ඊට අමතරව මෙගාවොට් 25 ක ජල විදුලිය ද ලැබේනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ලංකාවේ සම්ප්‍රදායික වාර්මාර්ග ක්‍රමය සුරක්ෂිතව පවත්වා ගැනීමෙන් අප හරිත යටිතල පහසුකම් දෙසට ආයෝජනය කර තිබෙනවා. එම යෝජනා ක්‍රමය වාරිමාර්ග වැව් 2500 ක් ද කිලෝමීටර් 260 ක ඇළ මාර්ග ද ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඉඩම් සම්පත් සීමා වුව ද ශ්‍රී ලංකාවේ වන ඝණත්වය 2030 වනවිට සියයට 29 සිට සියයට 32 ක් දක්වා වර්ධනය කිරීමට හැකි වන ලෙස 'වන රෝපා' යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අභියෝගයට මුහුණ දී හරිත පරිසරය රැක ගැනීමට මෙම එඩිතර හරිත යෝජනා ක්‍රමවල ප්‍රගතිය දැක ගැනීමට අප රටට පැමිණෙන ලෙස මම ලෝක නායකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආසියානු ශාන්තිකර කලාපයේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන්නේ මෙම සමුළුවෙන් යෝජිත එක්සත් ජාතින්ගේ පරිසර සම්මේලනය සඳහා අගනා කලාපීය සහයෝගිතා සැකසුමක් ඉදිරිපත් කළ හැකි බවයි. මෙම සැසිය කලාපීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා හවුල් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ගැනීමට සමත්වන බව විශ්වාසයයි. මෙම සැසිය තුළින් උපරිම සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා

ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();