Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලකුණු දහස පසුකළ සන්තුෂ් පෙරමුණ ගැනීමේ සටනක

පාසල් ක්‍රිකට් තරග බිමේ උද්දාමය ඉහළට ඔසවා තබන උත්කර්ෂවත් ‘සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මාන උළෙලේදි ගෞරවනීය සම්මානය දෝතට ගැනීමට දහසක් බලාපොරොත්තු පොදි බඳින විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිලේ විශිෂ්ට පිතිකරු සන්තුෂ් ගුණතිලක දෙවැනි ස්ථානය අත්කරගෙන සිටී. මෙවර සම්මාන උළෙලේදී ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරාගැනීමේ කූපන් වැඩිම ප්‍රමාණයක සටහන් වී ඇති මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් තවමත් පෙරමුණේ පසුවූවත් සන්තුෂ් ගුණතිලක මෙවර පාසල් තරග වාරයේ ලකුණු රැස් කරන වේගයෙන්ම සුඛිත හඹා එමින් සිටි.

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධානයකට ලක්වී සිටින සන්තුෂ් පසුගිය සතියේදී කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් පිලට එරෙහිව බම්බලපිටියේ පැවැති තරගයේ ලකුණු 122ක් රැස් කරමින් මෙවර පාසල් තරග වාරයේ ලකුණු දහසේ සීමාව පසුකළ දෙවැනි පිතිකරුවා බවට පත්වී සිටී.

සාන්ත පීතර විදුහල් පිලේ හිටපු නායකයා ද වන සන්තූෂ් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රබල සාමාජිකයකු ද වේ. හෙතෙම දකුණතින් පිත්ත හසුරුවමින් ප්‍රතිවාදී කණ්ඩායම්වල පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් බවට පත්වී සිටී.

ඉනිම් 6කදී ශතක 6ක් සහ අර්ධ ශතක 2ක් සමග සන්තූෂ් ගුණතිලක මෙවර තරගවාරයේදී ලකුණු දහස පසුකරමින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබූ අතර ඉදිරියේදී පැවැත්වෙන සෙසු තරගවලදී ද සිය දස්කම් මුවහත් කරගනු නිසැකය. මේ වසරේ පැවැත්වෙන 41 වැනි ‘සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මාන උළෙල වෙනුවෙන් පාඨක ඡන්ද ප්‍රකාශය කිරීම තව තවත් උණුසුම් වෙද්දී සුපිරි පාසල් තරු රැසක් ජනප්‍රියතම ක්‍රිකට් තරුව බවට පත්වීමට ක්‍රිකට් ක්‍රීඩකයන් අතරත්, සිය ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාගේ දෑතට සම්මානය හිමිකරදීමට පාඨක ජනතාව අතරත් දැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

පසුගියදා අටවැනි කූපනය පළවීමෙන් පසුව ලැබුණු පාඨක ඡන්ද අතරින් සෙබස්තියන් විදුහල් පිලේ සුඛිත පෙරමුණ රැක ගැනීමට සමත්වී ඇත්තේ ඡන්ද 2799ක් ලබා ගනිමිනි. සන්තුෂ් ගුණතිලක ඡන්ද 2275ක් ලබා ඔහු පසුපසින් දෙවැනි තැනට පත්වී සිටින අතර කොළඹ නාලන්ද විදුහලේ එම්.ඒ.ලක්ෂිත ඡන්ද 2207ක් ලබා තුන්වැනි ස්ථානයට පත්වී සිටී. මෙවර පාසල් තරග වාරයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිලේ ප්‍රබලතම තුරුම්පුව බවට පත්වී සිටින කළණ පෙරේරා සිවුවැනි තැනට පත්වී සිටින්නේ ඡන්ද 1802ක් ලබා ගනිමිනි. මහනුවර ත්‍රිත්ව විදුහල් පිල වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින අභිෂේක් ආනන්දකුමාර් නවතම ප්‍රතිඵලයට අනුව ඡන්ද 1607ක් ලබා පස්වැනි තැනට පත්වෙද්දී මීගමුව මාරිස්ටෙලා විදුහලේ රවීන් ප්‍රනාන්දු 6 වැනි ස්ථානයේ පසුවන්නේ ඡන්ද 1505ක් ලබා ගනිමිනි. මහනුවර සාන්ත අන්තෝනි විදුහලේ පිලේ තීක්ෂණ ගුණසිංහ ඡන්ද 1476ක් ලබා 7වැනි ස්ථානය ලබා සිටී.

පසුගියදා අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සමග පැවැති නිල නොවන සිවුදින හා එක්දින තරගාවලියේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද විශිෂ්ට දස්කම් දැක්වූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කමිඳු මෙන්ඩිස් ඡන්ද 1090ක් ලබා අටවැනි තැන ලබා සිටී.

මෙවර සම්මාන උළෙලට එක්වූ නවතම විශේෂාංගය වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සම්මාන ප්‍රදානය බාලිකා පාසල අතර වැඩි අවධානයක් දිනාගැනීමට සමත්වී ඇති අතර ජනප්‍රියතම ක්‍රීඩිකාව තෝරාගැනීමේ ඡන්ද ප්‍රතිඵල අනුව ආරම්භයේ සිටම පෙරමුණ රැක ගැනීමට සමත්වූ නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි හිරාෂා ඡන්ද 973ක් ලබා පෙරමුණේ පසුවන අතර දෙවැනි ස්ථානයට පත්වී සිටින්නේ රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සන්දීපනීය. ඇය ඡන්ද 675ක් ලබා සිටින්නීය. පසුගියදා දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ අතිරේක ක්‍රීඩිකාවක ලෙසත් නම් කර ඇති සන්දීපනී දේවපතිරාජ විදුහල් පිලට බාලිකා ක්‍රිකට් තරග බිමේ විශිෂ්ටතම කණ්ඩායම බවට පත්වීමට කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් ක්‍රීඩිකාවකි.

අටවැනි කූපනය සඳහා වන කුසපත් ඇදීමෙන් පාඨකයන් අතර ජයග්‍රාහකයන් තෝරාගැනීම පසුගියදා ලේක්හවුස් පරිශ්‍රයේදී සිදුකෙරුණේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මිය අතිනි. ඇය විසින් තෝරාගන්නා ලද ජයග්‍රාහකයා බවට පත්වූ මොරටුව, කල්දෙමුල්ල පාරේ අංක 110 ලිපිනයෙහි පදිංචි එච්.එම්. දනිත් චමත්ක මොබිටෙල් 4G රවුටරයක් දිනාගැනීමට සමත්විය.

මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයන් අතරින් මයිලපිටිය, උඩමයිලපිටිය, අංක 99 ලිපිනයෙහි පදිංචි ධම්මික විජේසිංහ රුපියල් 2,500ක පළමු මුදල් ත්‍යාගය දිනාගත් අතර රුපියල් 1,500ක මුදල් ත්‍යාගය දිනාගනු ලැබුවේ ගම්පහ, ඉහළගම, අංක 8/3 ස්ථානයේ පදිංචි ආර්.ඒ.හෂිනි පියුමාලි රාජපක්ෂ විසිනි. මාවිල්මඩ, නාගහඇල්ල පාරේ අංක 47/60 ලිපිනයෙහි පදිංචි මංජුල කල්පගේට තුන්වැනි මුදල් ත්‍යාගය වශයෙන් රුපියල් දහසක මුදලක් හිමිවිය.

ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();