සිය පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ පිහිටෙන් ප්රාතිහාර්යයක් විදහා දැක්වීමේ බලාපොරොත්තු පොදි බැඳගෙන බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයට පිවිසි දිනේෂ් චන්දිමාල්ගේ සියළු බලාපොරොත්තු බිමට සමතලා කළ ඔස්ට්‍රේලියානු පිල දින දෙකක අමතර නිවාඩුවක් ද සමග දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිලට ඉනිමක සහ ලකුණු 40ක වේදනාකාරී පරාජයක් උරුම කර දුන්නේය.
ඉන්දීය පිල වෙතින් ලැබූ අන්ත පරාජයෙන් කුපිත වී සිටි ඔස්ට්‍රේලියානුවෝ එහි වාඩුව ශ්‍රී ලංකා පිල වෙතින් පිරිමසා ගැනීමට උරදුන් ඔවුන්ගේ වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමෙන් කඩුලු 6ක්ම උදුරා ගත්තේ ලකුණු 23ක් පමණක් ලබාදෙමිනි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 144කට සීමා කළ ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට ලකුණු 323ක් රැස් කළ අතර තරගයේ තුන්වැනි දිනයේ රාත්‍රී ආහාරයට පෙර ශ්‍රී ලංකා දෙවැනි ඉනිම නිමාවට පත් කළේ ලකුණු 139කටය.
තරගයේ දෙවැනි දිනය නිමාවනවිට ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටි අතර තුන්වැනි දිනයේදී ලකුණු 122ක් ඇතුළත ඉතිරි කඩුලු 9 බිඳ දැමීමට ඔස්ට්‍රේලියාවට වැය වූයේ ඕවර 44කුත්, පන්දු 5ක් පමණි. පාදයේ ආබාධයකට ලක්වීම නිසා වේගපන්දු යවන ළහිරු කුමාර පන්දුවට පහරදීමට පැමිණියේ නැත.
තුන්වැනි දිනයේ වේලාසනින්ම නායක චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් පිට පිට ඕවර දෙකකදී දවාගත් කමින්ස් මැදපෙළ පිතිකරුවන් සෙල්ලමකට ගත් අතර
තණතීරුවේ වැදී ඉහළට ඉපිලෙන පන්දුවලට මුහුණදීමට තරම් ශක්තියක් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට තිබුණේම නැත.
සිය ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළ කමින්ස් පළමු ඉනිමේදීත් කඩුලු 4ක් දවාලීමෙන් තරගය පුරා කඩුලු 10ක් බිඳ දමා තරගයේ වීරයා සම්මානයත් දිනාගත්තේය. ඔහුට අනගි සහයක් ලබාදුන් නවක වේගපන්දු යවන්නා වූ ජේයි රිචඩ්සන් කඩුලු 2ක් දවාලූ අතර පළමු ඉනිමේදීත් ඔහු කඩුලු 3ක් දවා ගෙන තිබිණි.
තුන්වැනි දිනයේ වේලාසනින්ම චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් දැවීයාමෙන් පසුව ඔස්ට්‍රේලියාවට දෙවැනි වර පන්දුවට පහරදීමට අවස්ථාවක් ලැබෙන බවක් කිසිසේත්ම පෙනෙන්නට නොතිබුණි. ප්‍රතිවාදීන් විමතියට පත්වන සුලු පන්දු යැවීමක නිරතවූ කමින්ස් චන්දිමාල් දවාලූයේ ලකුණු ලැබීමටත් පෙරය. කුසල් මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගියේ දෙවැනි ස්ලිප් හී සිටි ජෝ බර්න්ස් අතට උඩපන්දුවක් ලබාදෙමිනි.
ඒ වනවිට ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 3කට 19ක් ලෙස සටහන් වූ අතර ඉනිම ගොඩනැගීමට දැඩි උත්සාහයක නිරතව සිටි ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සමග එක්වූ රොෂේන් සිල්වාට ලකුණු 3කට වඩා රැස් කිරීමට නොහැකිවිය. කමින්ස්ගේ පන්දුවකට ජෝ බර්න්ස් අතට ඔහු උඩපන්දුවක් ලබාදීමෙන් පසුව පිටියට පැමිණි ධනංජය ද සිල්වා මුළු ලකුණු සංඛ්‍යාව 69 දක්වා ඉහළ දැමුවත් රිචඩ්සන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ධනංජය දැවී යද්දී ලබා සිටියේ ලකුණු 14ක් පමණි.
අනතුරුව නිරෝෂන් දික්වැල්ල පැමිණ තරමක් වේගයෙන් පන්දුවට පහරදෙමින් පන්දු යවන්නන්ගේ පීඩනයෙන් ගැලවීමට මගක් සොයා ගියත් අනික් අන්තයෙන් ළහිරු තිරිමාන්න ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් තේ විවේකයෙන් පසුව ලකුණු 32 කට දවාලූ කමින්ස් අගපෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් දැමුවේය.
පිටියේ හතර අතට පහරවල් එල්ල කරමින් නරඹන්නන් තරමක් කුල්මත් කළ දික්වැල්ල ලකුණු 24කට දැවී යද්දී ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 109ක් විය. ඊට තව ලකුණක් එක්වෙද්දී ඩිල්රුවන් පෙරේරා දැවී ගිය අතර 9 වැනි කඩුල්ලට දුෂ්මන්ත චමීර සමග එක්ව ලකුණු 29ක් එකතු කළ සුරංග ලක්මාල් නේදන් ලියොන්ගේ පන්දුවකට ස්ටම්ප් කිරීමට හසුකරගත් ඔස්ට්‍රේලියානු පිලේ කඩුලු රකින නායක ටිම් පේන් තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට තහවුරු කළේය. ඒ සමගම වසර 1988න් පසුව ගැබා ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පරාජය නොවීමේ වාර්තාව තව දුරටත් රැක ගැනීමට ද ඔස්ට්‍රේලියාවට හැකිවිය.
දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 1 වැනිදා කැන්බරා නුවරදී ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම - 144යි (සියළුදෙනා දැවී) නිරෝෂන් දික්වැල්ල 64, දිමුත් කරුණාරත්න 24 ( පැට් කමින්ස් 39/4, ජේයි රිචඩ්සන් 26/3, මිචෙල් ස්ටාක් 41/2) සහ දෙවැනි ඉනිම - 139 (සියළුදෙනා දැවී) ළහිරු තිරිමාන්න 32, නිරෝෂන් දික්වැල්ල 24, සුරංග ලක්මාල් 24 (පැට් කමින්ස් 23/6, ජේයි රිචඩ්සන් 19/2)
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම - 323 (සියළුදෙනා දැවී) ට්‍රැවිස් හෙඩ් 84, මානස් ලබුස්වේන් 81, මාකස් හැරිස් 44, කර්ටිස් පැටර්සන් 30, මිචෙල් ස්ටාක් නොදැවී 26 ( සුරංග ලක්මාල් 75/5, ඩිල්රුවන් පෙරේරා 84/2)
0 Comments