Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙනත් රටවල් හා සමපාතව ශ්‍රී ලංකාවත් පුනර්ජනනීය බලශක්ති හඳුන්වා දිය යුතුයි

සන්ධ්‍යා කරුණාරත්න

පාරිසරික හා කාලගුණ වෙනස්වීම් අභියෝග හමුවේ වෙනත් රටවල් හා සමපාතව ශ්‍රී ලංකාවත් පුනර්ජනනීය බලශක්ති හඳුන්වාදීම කළ යුතු බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

හරිත බලශක්තිය පිළිබඳ විශිෂ්ට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට මූල්‍ය පහසුකම් හිමි වීම ශ්‍රී ලංකාව ලබා ඇති විශේෂ ජයග්‍රහණයක් බව ද ඇමැතිවරයා පැවැසුවේය.

‘හරිත බලශක්ති ශූරයා 2019‘ තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට ජර්මන් තානාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (28) ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. විදුලිබල, බලශක්ති විෂයේ ප්‍රායෝගික ගැටලු රැසක් තිබෙනවා. මේ විෂය මට අලුත්. නමුත් මම ඉතා සතුටින් මේ අභියෝගය බාර ගෙන මගේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ ඉතා සතුටින් වැඩ කරගෙන යනවා. අපට තිබෙන බාධා වැරදි වීමටත් පුළුවන්. නිවැරදි වීමටත්. පුළුවන්. අපට තිබෙන දේශපාලන අභියෝග හමුවේ තීරණ ගත යුතුයි. එම තීරණ වසර පහකට පෙර ඒවා විය යුතුයි. 2015, 2016, 2017, 2018 වසරවල දැනට විදුලි බල ජනනය කිරීමේ එක මෙගා වොට් එකක්වත් ඉතිරි කර නැහැ. විදුලිබලය ඉල්ලීම සියයට 6, 7 කින් ඉහළ යනවා. ඒ සමඟ අපි ගැටලුවකට මුහුණ දෙනවා. ඒ සමඟ දේශපාලන තීන්දුවක් නොගතහොත් ඉදිරි අනාගතයේදි අඳුරේ ගමනක් තමයි යන්න වෙන්නේ. අමාත්‍යාංශය බාර ගෙන සතියක ගත වන විට තරුණ පිරිසක් පැමිණ මට ප්‍රකාශ කළේ සුළං බලය මඟින් විදුලිය නිෂ්පාදනය කිරීමේදි කුරුල්ලන්ට ගැටලු ඇති වෙනවා කියලා. මේ ප්‍රශ්න බැලූ විට අපට කළ හැක්කේ සීමිත දෙයක්. විදුලි බල ඒකකයක් නිෂ්පාදනය කිරීමට දළ වශයෙන් රුපියල් 22.73 ක් වියදම් වෙනවා. එය අපි ලබා දෙන්නේ රුපියල් 16.32 කට. එමඟින් විශාල පාඩුවක් සිද්ධ වෙනවා. අපේ තරුණ පරම්පරාව ආරක්ෂා කර ගැනීමට දේශපාලඥයන්ට වගකීමක් තිබෙනවා. අපි සියලුදෙනාම එකට අත්වැල් බැඳගෙන රටේ ඉදිරි අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරමු. නායකයන් දේශපාලන තීන්දු නොගැනීමත් එක ගැටලුවක්. සුපුරුදු පරිදි එක තැනකින් තවත් තැනකට ප්‍රශ්න තල්ලු කරන එක තමයි කරන්නේ. නමුත් අපේ ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, මටත් අවශ්‍ය වන්නේ නිර්භීත තීන්දු. වෙනත් රටවල් ඉදිරියට ගොස් තිබෙන්නේ තමන් ගන්නා තීන්දුව බය නැතිව ගන්නා නිසා. ඒ තත්ත්වය අපිත් උරුම කර ගත යුතුයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ජෝර්න් රොඩේ මහතා

අප ජීවත් වන පරිසරයට කාලගුණ විපර්යාසවලින් දැඩි බලපෑමක් පවතින බව ශ්‍රී ලංකාවත් ජර්මනියත් එක හා සමානව පිළිගන්නා කරුණක්. හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදි අපගේ බලශක්ති ප්‍රභවයන් වෙනස් කිරීමත්, වැඩි බලශක්ති කාර්යක්ෂමතාවක් කරා ගමන් කිරීමත් අතිශයින්ම වැදගත්. ලෝකය පුරා ඒ පිළිබඳ කොතරම් සාකච්ඡා පැවැතුණත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම දක්නට ලැබෙනුයේ ඉතා අඩුවෙන්. නමුත් තිරසාර හරිත බලශක්ති අනාගතයක් වෙනුවෙන් ප්‍රායෝගික හා නිර්මාණශීලි විසඳුම් සහිත බොහෝදෙනකු සමාජයේ සිටිනවා. ‘හරිත බලශක්ති ශූරයා‘ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටින නව අදහස් ඇති පිරිස් සවිබල ගැන්වීමට හැකියාව ලැබීම සතුටට කරුණක්.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ GIZ ආයතනයේ අධ්‍යක්ෂිකා රන්ඩා කෝරීරානාරිවෙලෝ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.

ඡායාරූපය - රංජිත් අසංක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();