Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මී. 400 ක්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක ගත් බවට දිල්ලි රසායනාගාරය යළිත් කියයි

ප්‍රින්ස් ගුණසේකර

මලල ක්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක භාවිතාකර තරග වැදී ඇති බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර රසායනාගාරයක වෛද්‍ය වාර්තාවකින් යළිත් වරක් තහවුරු වෙයි. ඒ අනුව ඔහුට දඬුවම් පැනවීම උදෙසා විනය කමිටුව වෙත යොමු කිරීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පියවර ගෙන ඇත. එමෙන්ම මේ තත්ත්වය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ඊයේ දැනුම්දී ඇති අතර ඉදිරියේදී පැවැත්වෙන දෙස් - විදෙස් මලල ක්‍රීඩා තරගවලට සහභාගීවීමද තහනම්කර ඇත.

ඔහුගේ මූත්‍රා සාම්පලයේ ‘ඇනබොලික් ස්ටොරයිඩ්’ සංඝටක ඇතුළත් තහනම් උත්තේජක වර්ගයක් තිබී ඇති අතර ඒවා ඔහුට ලබාදුන්නේ කවුදැයි සෙවීමට වෙනම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. මෙය ශ්‍රී ලංකේය මලල ක්‍රීඩා ඉතිහාසයට එක්කළ කළු පැල්ලමක් වන අතර කාලිංග කුමාරට හා ඔහුට අනුබල දුන් පුහුණුකරුවෙක් වෙතොත් ඔහුට හෝ ඇයට වසර කිහිපයක තහනමක් අනිවාර්ය වේ.

යම් හෙයකින් මේ චෝදනා යටතේ වරදට අනුබල දුන් අයෙකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබුවහොත් අවුරුදු 2 කට නොවැඩි කාල සීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකිවන අතර රුපියල් ලක්ෂ 5 ට නොඅඩු සහ ලක්ෂ 10 ට නොවැඩි දඩයකට ද යටත් කළ හැකි බව තහනම් උත්තේජක පනතේ සඳහන් වේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ කොළඹ සුගතදාස පිටියේ පැවැති අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ‘ඇනබොලික් ස්ටොරයිඩ්’ සංඝටක ඇතුළත් තහනම් උත්තේජක වර්ගයක් භාවිතා කොට තරග වැදී ඇති බවට කාලිංග කුමාරගේ ‘ඒ’ මූත්‍රා සාම්පලය අනුව චෝදනා ගොණු විය. මෙයට මාසයකට පමණ එල්ලවූ එම චෝදනා ක්‍රීඩකයා ප්‍රතික්ෂේප කළ හෙයින් තරගයට සහභාගීවූ දිනයේදී ලබාගත් ‘බී’ මූත්‍රා සාම්පලය ක්‍රීඩකයාගේ ඉල්ලීම අනුව ඉන්දියාවේ පිහිටි රසායනාගාරයකදී නැවැත පරීක්ෂා කෙරුණි. එහිදී ද පෙර ප්‍රතිඵලයම ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට ලැබී තිබේ.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ නීතිඥවරු පිරිසක් කාලිංග කුමාරගෙන් කරුණු විමසා ඇති අතර චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අභියාචනාවක් ද ක්‍රීඩකයා භාරදී තිබිණි. අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ක්‍රීඩකයන් සිවුදෙනකුගේ මූත්‍රා සාම්පල ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ලබාගෙන ඉන්දියාවේ පිහිටි රසායනාගාරයකට යොමු කොට තිබිණි. එහිදී කාලිංග කුමාරගේ මූත්‍රා සාම්පලයේ පමණක් ‘ඇනබොලික් ස්ටොරයිඩ්’ සංඝටක ඇතුළත් තහනම් උත්තේජක වර්ගයක් ඇති බව රසායනාගාර වාර්තාවේ සඳහන් විය.

මේ අතර මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ සැබෑ පුහුණුකරු කවුද යන්න පිළිබඳ ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය තුල මතභේදයක් හට ගෙන ඇතැයි ද වාර්තා වේ. මලල ක්‍රීඩා සංගමයේ දත්ත අනුව එක් අයෙකුත්, ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට ලැබී ඇති තොරතුරු අනුව වෙනත් අයෙකුත් සඳහන්ව ඇති බැවින් මේ ප්‍රශ්නකාරී තත්ත්වය උදාවී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();