Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙදුම්වාදය පමණක් ඉල්ලන දෙමළ සන්ධානයේ එකඟතාව

2015 මැයි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන ලද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විධායක බලය අහෝසි වී ඇතැයි ඇතැමුන් තර්ක විතර්ක ගොඩනැගුවත් තවත් නීතිවේදීන් පිරිසක් පෙන්වා දෙන්නේ එම සංශෝධනය මඟින් ජනාධිපතිවරයා සතු විධායක බලය කිසිදු ආකාරයකින් කප්පාදුවක් සිදුව නොමැති බවය.

1978 දි හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ගෙනෙන ලද දෙවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධුරය බිහිවිය. සැබැවින්ම මෙම ව්‍යවස්ථාව තුළින් තනි පුද්ගලයෙකු වටා බලය ඒකරාශී විය. එදා මෙම ව්‍යවස්ථාව ගෙන ඒමෙන් අනතුරුව ඒ පිළිබඳ විවරණයක් කරමින් එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ප‍්‍රකාශ කළේ මෙම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ ගැහැනියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැනියක කිරීමට පමණක් බවය.

එතරම් බලසම්පන්න ව්‍යවස්ථාවක් මඟින් හොඳ නරක කියන දෙවර්ගයටම අප මුහුණ දී ඇත්තෙමු. එදා ජේ. ආර්. ජයවර්ධන එම විධායක බලය උපයෝගි කරගෙන මෙරට කිසිවෙකුත් එකඟ නොවූ ඉන්දු ලංකා ගිවිසුමට අස්සන් කළේය.එය උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලෙස ගෙනාවත් එම අර්බුදයේ ප‍්‍රධානම සාධකය වූ එල් ටී ටී ඊ සංවිධානය හෝ එහි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් එය අර්බුදයට විසඳුමක් ලෙස පිළිගත්තේද නැත. අනෙක් අතට මෙම ගිවිසුම තුළින් උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙනම රාජ්‍යයක් හෙවත් ඊලාම් රාජ්‍යයකට මඟ පෑදෙන බවට මුළු දකුණම එකාමෙන් විරෝධය පළකරන්නට වූහ.

මෙවන් ගිවිසුමක අවශ්‍යතාව පැනනැගී තිබුණේ මෙරටටත් වඩා ඉන්දියාවටය. එනිසාම එවකට ඉන්දියාවේ අගමැතිව සිටි රජිව් ගාන්ධි එල් ටී ටී ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඉන්දියාවට ගෙන්වා මෙම ගිවිසුමට එකඟ වන ලෙස ඉල්ලා සිටියත් ඔහු ඊට එකඟ නොවූයෙන් ඔහුව නවදිල්ලියේ අශෝක හෝටල් කාමරයක සිරකර රජිව් ගාන්ධි ශ‍්‍රී ලංකාවට පැමිණ ජේ. ආර්. ජයවර්ධන සමඟ ඉන්දු ලංකා ගිවිසුමට අස්සන් කළේය.

ඉන්දියාව මෙවැනි ගිවිසුමකට එළඹීමට පෙර ඉන්දියාව බලහත්කාරයෙන් දේශසීමා නීති උල්ලංඝනය කරමින් දැවැන්ත බලපෑමක් එල්ල කළේය. එය සිදුකළේ යාපනය වඩමරච්චි ප‍්‍රදේශය එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට එවකට ආරක්ෂක ඇමැතිව සිටි ලලිත් ඇතුලත්මුදලිගේ දේශපාලන නායකත්වයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න යන අණදෙන යුද විරුවන්ගේ නායකත්වයෙන් යුද සෙබළුන් 4300 කගේ සහභාගිත්වයෙනි.

1987 ජුනි 3 වැනිදා ඔපර්ෂන් ලිබරේෂන් නමින් අරඹුණු මේ වඩමරච්චි සටන සාර්ථකව නිමාවට පත්කිරීමත් සමඟ තමිල්නාඩුවේ හටගත් විරෝධතා මත මෙම බලහත්කාරය සිදුවිය.

එම බලහත්කාරය තුළින් තමිල්නාඩු රජය බෝට්ටු 19 කින් උතුරේ ජනතාවට සහල්, පරිප්පු ඇතුළු ද්‍රව්‍ය එවනු ලැබූ අතර එම බෝට්ටු ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් නතර කරනු ලැබීය. උතුරේ නාවික ආඥාපති අද්මිරල් මොහාන් සමරසේකරගේ නියෝගයෙන් එඩිතර නෞකාවේ නාවිකයන් මෙම නෞකාව නවතාලීමට පියවර ගනු ලැබුවද ඉන්දියාව ගුවනින් එම භාණ්ඩ හෙළීමට පියවර ගනු ලැබීය. ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීම සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එය ජනාධිපතිවරයා සතු විධායක බලතල යොදාගෙන සිදුකරන ලද්දකි.

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූ ත‍්‍රස්තවාදි සංවිධාන ගොන්නට ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත් වන්නේ එහි නායක රෝහණ විජේවීරගේ නායකත්වයෙන් 1971 දී දියත් කරන ලද රාජ්‍ය විරෝධී කැරැල්ල මෙන්ම 1988 / 1989 කාලවලදී දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය නමින් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් රටපුරා දියත් කරන ලද භීෂණකාරී ත‍්‍රස්තවාදය හේතුවෙනි. 1971 කැරැල්ලටත් වඩා දරුණු ලෙස 88/89 භීෂණය පැවැති අතර එය පාලනය කරන ලද්දේත් ජනාධිපතිවරයාගේ විධායක බලතල ප‍්‍රයෝජනයට ගනිමින්ය.

උඩරට වතුකරයේ මෙරට පුරවැසිභාවය නොමැතිව ජීවත්වූ ලක්ෂ තුනකට ආසන්න පිරිසකට පුරවැසිභාවය ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස ලබාදුන්නේද එම විධායක බලතල ප‍්‍රයෝජනයට ගනිමින්ය. මීට අමතරව රටට සුදුසු නුසුදුසු කාර්යයන් රැසක්ම ඒ අනුව සිදුවිය. ශ‍්‍රී ලංකාවේ තිස් වසරක් පුරාවට පැවැති කුරිරු ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කර මෙරට ජනතාවට නිදහසත් ජාතීන් අතර සාමය සංහිඳියාව ඇතිකරන්නට හැකිවූයේත් මේ විධායක බලතල හේතුවෙනි. මෙනිසාම මෙරට බලයට පත්වූ ජනාධිපතිවරු කිසිවෙකුත් සිය විධායක බලය අහිමි කරගන්නට තියා එය අඩුකර ගැනීමට සිතුවේ වත් නැත.

විවිධ ජනාධිපතිවරු එම විධායක බලය යොදාගෙන සිදුකරන ලද නොහොබිනා ක‍්‍රියා පිළිබඳව කලක් තිස්සේ අධ්‍යයනය කරමින් ජනාධිපති ධුරයට පත් වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එම බලය අඩුකරන්නට සිතුවේ මින් මතුවට එයින් සිදුවිය හැකි හානිය අවම කිරීම උදෙසාය. එහෙත් අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුව එයින් වෙනත් ප‍්‍රයෝජනයක් අත්කර ගැනීමට සිතීය. තවත් පැත්තකින් කිසි දිනෙක මෙරටේ ජනාධිපති ධුරයට පත්විය නොහැකි බව දන්නා රනිල් වික‍්‍රමසිංහ මහතා උපරිම වශයෙන් උත්සාහ කළේ තමන්ට ජනාධිපති ධුරයට පත්විය නොහැකි නිසා ජනාධිපති ධුරයට හිමි විධායක බලය අගමැති ධුරයට ලබාගෙන වෙනත් ගමනක් යන්නටය. 19 වැනි සංශෝධනය මඟින් සිදු කළේත් එයමය.

මේ නිසා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනතාවට වඩාත් අවංක වෙමින් විධායක බලතල පාර්ලිමේන්තුවට පවරාදීමේ අරමුණින් සත්භාවයෙන් සිදුකළ දේ වැරදි ලෙස යොදාගෙන පෙර සිටි විධායක ජනාධිපතිවරු සිදුකළාටත් වඩා දරුණු ලෙස කටයුතු කිරීම රටේ දේශපාලන අර්බුදයකට මුලපිරුවේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දරදඩු තීරණ ගතයුතු අවස්ථාවලදී පවා නිහතමානීව කටයුතු කළ නායකයෙක් බව අප දුටුවෙමු. මේ නිහතමානීත්වය අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගෙන රටේ ජාතික සම්පත් පිටරටවලට විකිණීමේ වැඩපිළිවෙළ දිගටම සිදුකිරීම පමණක් නොව තවදුරටත් සිදුකෙරුණු විනාශකාරී ක‍්‍රියා නිසාම යම් යම් තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. එය වළක්වා රනිල් වික‍්‍රමසිංහ බේරාගෙන තම ආදායම් මාර්ග සුරක්ෂිත කරගැනීමට දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ වගේම රවුෆ් හකීම් රිසාඞ් බදුර්දීන් ඇතුළු පිරිස කටයුතු කළහ.කෙසේ වෙතත් අද බලය ඇත්තේ රටට ආදරේ පිරිසක් අතේ නොවේ.

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ යළිත් අගමැති කිරීමේ තීරක බලය හිමිවූයේ දෙමළ ජාතික සන්ධානයටය. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්තියට අනුව තීරක බලය අතට ගෙන පාර්ලිමේන්තුවේ කිසියම් පාර්ශ්වයක් බලයට පත්කරන්නට සහාය දිය නොහැකිය. ආර්. සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වූ පලියට ප‍්‍රබල දේශපාලන තීන්දු තීරණ ගැනීමේ බලය ඔහු සතු නොවේ. එම බලය හිමිව ඇත්තේ කාලයක් තිස්සේ අරමුදල් සපයමින් කොටි සංවිධානය පෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවටය. දෙමළ ජාතික සන්ධානය මෙවැනි තීරණයකට එළඹීමට පෙරාතුව එතුළින් දෙමළ සමූහයාට ලැබෙන වාසි අවාසි පිළිබඳ පැහැදිලි විස්තරයක් දෙමළ ඩයස්පෝරාව වෙත යොමුකර ඒ සඳහා අවසරය ලබාගත යුතුය.

එසේනම් දෙමළ ජාතික සන්ධානය රනිල් වික‍්‍රමසිංහ අගමැති කිරීමෙන් තමන්ට ලැබෙන වරප‍්‍රසාද පිළිබඳව දෙමළ ඩයස්පෝරාව දැනුවත් කිරීමක් සිදුකර ඒ සඳහා අනුමැතිය ලබාගන්නට ඇති. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්ට ඇමැති ධුරයක් ලබා ගන්නැයි ආරාධනා කරන්නට ඇත්තේද මෙනිසාම විය හැකිය. එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඔහුට වගකීම් බහුල අමාත්‍ය ධුරයක් හෝ ඒ හා සමාන බලයක් ලබාදී උතුරේ සියලූ කටයුතු ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු කරන්නට යන බවකි.

එම බලතල කුමන ආකාරයෙන් පැවරුවද ඉන් පසු උතුරට ඇමැතිවරයෙකු කුමන හේතුවක් නිසා වුවද යායුත්තේ දෙමළ ජාතික සන්ධානයේ අවසරය ඇතිවය. මේ රටේ ජනතාව අපේක්ෂා කළේ එවැනි විසඳුමක්ද? මේ තුළින් ජනතාවට සිතන්නට බොහෝ දේ ඇත.

ටී. චන්ද්‍රසේකර


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();