Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවට ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක්

ටොම් ලේතම් සහ හෙන්රි නිකොල්ස් සිවුවැනි කඩුල්ලට ද්විත්ව ශතක සබඳතාවක් ගොඩනගමින් දියත් කළ විශිෂ්ට ඉනිම් හේතුවෙන් ක්‍රයිස්චර්ච් නුවරදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට සත්කාරක නවසීලන්තය ඊයේ සමත් විය.

කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ලබාසිටියදී නවසීලන්තය දෙවැනි ඉනිම අත්හිටවූ අතර එම ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල ඊයේ තෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරනවිට කඩුලු 2ක් අහිමිකර ගනිමින් ලකුණු 24ක් රැස්කරගෙන සිටියේය. කඩුලු 8ක් අතැතිව සිටින ශ්‍රී ලංකාව තවත් ලකුණු 636ක් පසුපසින් සිටී.

නායක දිනේෂ් චන්දිමාල් පන්දු 42කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 14ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 33කින් ලකුණු 6ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටිති.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු ඕවරයෙන්ම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත්වූ අතර යළිත් වරක් අසාර්ථක වූ ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඕවරයේදී ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ලකුණු 4කට දැවී ගියේය. ඔවුන් දෙදෙනාම දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ.වොට්ලිං උඩ පන්දු රැක ගැනීමෙනි. මේ තරගයේ පළමු ඉනිමේදී ලකුණු 8ක් ලබාගත් ගුණතිලක පළමු තරගයේ ඉනිම දෙකේදී රැස්කළේ ලකුණු 1ක් සහ 3කි.

කඩුලු 2කට ලකුණු 231ක් ලබාසිටියදී ඊයේ දිනය ඇරැඹු නවසීලන්ත පිල ඊයේ තවත් ලකුණු 354ක් එක්කර ගත් අතර ඒ අතරතුර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බිඳ දැමිය හැකිවූයේ කඩුලු 2ක් පමණි. රොස් ටේලර් ලකුණු 40කටත්, ලේතම් ලකුණු 176කටත් දැවී ගියහ.

තෙවැනි කඩුල්ලට ලකුණු 42කින් ගොඩනැගී තිබු ලේතම්-ටේලර් සබඳතාවට තවත් ලකුණු 16ක් එක්වෙද්දී ටේලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ළහිරු කුමාරට හැකි විය.

අනතුරුව ලේතම්ට එක්වූ හෙන්රි නිකොල්ස් මුළු ලකුණු සංඛ්‍යාව 461 දක්වා ඉදිරියට ගෙන ගිය අතර දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරොෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලේතම් දැවී ගියේ ලකුණු 214ක සබඳතාවට තිත තබමිනි. ඒ සමග සවස තේ පානය සඳහා තරගය නතර කෙරිණි.

පළමු තරගයේදී ලකුණු 264ක දැවැන්ත ඉනිමක් දියත්කළ ලේතම් ඊයේ සිය 8 වැනි ටෙස්ට් ශතකය ලෙස ලකුණු 176ක් රැස් කළේ පන්දු 370කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 17කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

තේ පානයෙන් පසු නිකොල්ස් සමග එක්වූ කොලින් ඩි ග්‍රෑන්ඩෝම් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පස්වැනි කඩුල්ලට ලකුණු 124ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීය. හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ලකළ ග්‍රෑන්ඩෝම් අර්ධ ශතකය සඳහා වැයකළේ පන්දු 28ක් පමණි.

නවසීලන්ත ලකුණු පුවරුව 585ක් වෙද්දී ඉනිම අත්හිටුවීමට නායක කේන් විලියම්සන් තීරණය කළේය. ඒ වනවිට විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි නිකොල්ස් ලකුණු 162ක් සහ ග්‍රෑන්ඩෝම් ලකුණු 71ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටියහ. නිකොල්ස් ඊයේ සිය ටෙස්ට් තරග දිවියේ ඉහළම ඉනිම දියත් කරමින් සිවුවැනි ටෙස්ට් ශතකයද වාර්තා කළේය. පන්දු 225කට මුහුණදුන් ඔහු හතරේ පහර 16කින් ඉනිම වර්ණවත් කර ගනිද්දී ග්‍රෑන්ඩෝම් පන්දු 45කින් ලකුණු 71ක රැස්කර තිබිණි.

නවසීලන්තය දෙවැනි ඉනිමට රැස්කළ ලකුණු 585 ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය. මින් පෙර 1991දී කඩුලු 4කට ලකුණු 671ක් සහ 1997දී කඩුලු 7කට ලකුණු 586ක් රැස්කර තිබූ අතර එම තරග දෙකම නවසීලන්තයේදීම පැවැත්විණි.

අද තරගයේ සිවුවැනි දිනයයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();