“මම ඡන්දයෙන් තේරුණු පළමු වැනි විධායක ජනාධිපති, රාජ්‍ය නායක හා ආණ්ඩු නායකයා වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර වගකීම් සහිත පදවියක් ද වේ. මට පසු ව අන්‍යයන් ද මේ පදවිය දරනු ඇති බැවින් එසේ පදවි කාලයේ දී අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි…”
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978 මැයි 31 දා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයාගේ දේශනය පවත්වමින් එසේ කියා සිටියේ ය. ඇත්ත වශයෙන් ම ඔහු ජනාධිපති දූරය දැරූ කාලයේ දී බොහෝ පූර්වාදර්ශ ලබා දුන්නේ ය. ඒවා, නීතියට පිටින් වැඩ කිරීම, නීතිය නොසලකා හැරීම, දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම, භීෂණයෙන් හා දූෂණයෙන් මැතිවරණ ජය ගැනීම, රාජ්‍ය සම්පත් තම දේශපාලන හිතවතුන්ට කුණුකොල්ලයට පවරා දීම, දේශීය ආර්ධිකය විනාශ කිරීම, ලංකාව විදේශ ණය මඟින් යැපෙන පරාධීන රටක් බවට පත් කිරීම ආදී වශයෙන් දිග ලැයිස්තුවකට පෙළගැස්විය හැකි ය. මේ ලිපිය වෙන් කෙරෙන්නේ එවැනි එක් පූර්වාදර්ශයක් ගැන කියන්නට ය. මේ පූර්වාදර්ශය නම් මැතිවරණ කොමසාරිස්ගේ බලය තමා අතට ගෙන මැතිවරණ පවත්වන්නේ කෙසේ ද යන්නයි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ පූර්වාදර්ශය ලබා දුන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට මැතිවරණයක් පැවැත්වුණු පළමු අවස්ථාව වූ 1981 දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී ය. මෙරට දූෂිත මැතිවරණ සංස්කෘතිය ආරම්භ වූයේ ද එක ම එක් වරක් පමණක් පැවැත්වූ මේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී ම ය. පාලක එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයේ දී ඉතා ම නින්දා සහගත අකාරයට මැතිවරණ දූෂණයේ නියැළෙමින් කළ හැති සියලු ම මැතිවරණ දූෂණ ක්‍රියාවල යෙදුණ් ය. ඒ අනුව මෙරට නූතන දේශපාලන ඉතිහාසයේ දූෂිත මැතිවරණ සංස්කෘතියේ නිර්මාතෘවරයා ලෙස ගෞරවය හිමි වන්නේ ද එදා යූඇන්පී නායකයා වූ ජේ.ආර්. ජයවර්ධනට ය.
අනික් අතට කොටි සංවිධානයට සහ එහි නායකයා වූ පිරබාහරන්ට උතුරේ දෙමළ ජනතාව අතර පිළිගැනීමක් ඇති කරන්නට හේතු වූ පළමු සිද්ධිය ලෙස ද දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය සැලකිය හැකි ය. දකුණේ ආණ්ඩුවෙන් තමන්ට ආරක්ෂාවක් නැති බවට හැඟීමක් උතුරේ ජනතාවගේ සිත්සතන් තුළ පැළපදියම් වන්නට හේතු වූ පළමු සිද්ධිය ද යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයයි.
1977 බලයට ආ යූඇන්පී ආණ්ඩුව දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කරන ලද්දේ 1980 සැප්තැම්බර් 22 දා සම්මත කරන ලද අංක 35 දරන දිස්ත්‍රික් සංවර්ධන සභා පනතිනි. මේ පනත අනුව පරිපාලන දිස්ත්‍රික්ක 24 සඳහා සංවර්ධන සභා 24ක් ස්ථාපනය කරන ලදී. මෙය එක්තරා අන්දමකට, දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා වෙන් කෙරෙන මුදල් ඒ ඒ දිස්ත්‍රික්කවල යූඇන්පී මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ හෙංචයියන්ට අවශ්‍ය පරිදි ගසාකෑම සඳහා ඇති කළ ආයතන ව්‍යූහයක් ලෙස සැලකිය හැකි ය. මන්ද සංවර්ධන සභාවේ මන්ත්‍රී සංයුතිය සකස් කර තිබුණේ ම බලයේ සිටි පක්ෂයට වාසි සැලසෙන අන්දමට ය.
ඒ මෙසේ ය.
සෑම සංවර්ධන සභාවක ම මන්ත්‍රීවරු දෙකොටසකි. එක් කොටසක් අදාළ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ඔවුහු නිල බලයෙන් සංවර්ධන සභාවට පත් වෙති. අනික් කොටස ඡන්දයෙන් පත් වන දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරුන් වන අතර ඔවුන් ගේ සංඛ්‍යාව සෑම විට ම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවට වඩා එකක් අඩු ය. ඒ අනුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 10ක් නම් සංවර්ධන සභා මන්ත්‍රී සංඛ්‍යාව 09කි. එබැවින් උතුරු පළාතේ හැර අනික් දිස්ත්‍රික්කවල මැතිවරණයෙන් ආණඩු පක්ෂය දිනුවත් නැතත් සංවර්ධන සභාවේ බලය ලැබෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි පක්ෂයට ය. (සංවර්ධන සභා පිහිටවූ පනතට අනුව මැතිවරණ පැවැත්වීමක් නොවූ අතර මැතිවරණ පැවැත්වීම සදහා ම 1981 අංක 20 දරන දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීම් පනත ඒ වසරේ මාර්තු 26 දා සිට ක්‍රියාත්මක කරන ලදී.)
1981 අවුරුද්දේ මැතිවරණයක් පැවැත්වීමට නියමිත ව තිබුණේ නැත. එහෙත් අලුතින් සම්මත කර ගත් පනත අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වීමට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හදිසියේ ම තීරණය කරන ලදී. ඒ අනුව සංවර්ධන සභා ඡන්ද විමසීම් පනත සම්මත කර ගත් වහා ම දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කෙරිණි. මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම 1981 අප්‍රේල් 20 දා සිට 27 දා දක්වා සිදු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රධාන පක්ෂ සියල්ල ම මැතිවරණය වර්ජනය කළ අතර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් විය. මේ වන විට මැතිවරණ දේශපාලනයට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ ද මේ මැතිවරණයට තරග කළ අතර ඒ වන විට ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන නොතිබූ බැවින් අපේක්ෂකයන් ඉදිරිපත් කළේ ස්වාධීන කණ්ඩායම් වශයෙනි.
නාමයෝජනා භාර ගැනීමේ කාලය තුළ දිස්ත්‍රික්ක 07කට එජාපය හැර වෙනත් කිවකු නාමයෝජනා භාර දී නොතිබිණි. ඒ අනුව මහනුවර, නුවරඑළිය, මාතර, කුරුණෑගල, මොනරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික් සංවර්ධන සභාවල බලය නිතරගයෙන් යූඇන්පියට හිමි විය. මැතිවරණය පැවැත්වූ දිස්ත්‍රික්කවලින් යූඇන්පියට තරගයක් තිබුණේ උතුරු පළාතේ පමණකි. එයින් ද යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාව තීරණාත්මක විය. මැතිවරණය පවත්වන ලද්දේ 1981 ජූනි 04 දා ය.
උතුරේ යූඇන්පී මැතිවරණ ව්‍යාපාරය භාර දී තිබුණේ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව් යන ඇමැතිවරුන් දෙදෙනාට ය. ඊට අමතර ව යාපනය දිසා ඇමැතිවරයා වූ යූ.බී විජේකෝන් ද තවත් නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද යූඇන්පී ඡන්ද ව්‍යාපාරයේ යෙදී සිටියෝ ය. (යූ.බී. විජේකෝන් යාපනය දිසා ඇමැතිවරයා වුවත් ඔහු යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් නොවී ය. දිසා ඇමැති වශයෙන් අනික් දිස්ත්‍රික්කවල පත් කරන ලද්දේ ඒ දිස්ත්‍රික්කයේ ම මන්ත්‍රීවරයෙකි. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය ආසයේ මන්ත්‍රීවරයා වූ අතර යාපනය දිසා ඇමැතිවරයා ලෙස ජනාධිපති ජයවර්ධන විසින් පත් කරන ලදී.) දිස්ත්‍රික්කයේ මැතිවරණයට කලින් ම ආණ්ඩුවේ මැර කණ්ඩායම් උතුරට යවා තිබුණු අතර යූඇන්පී ඡන්ද කටයුතුවල යෙදී සිටි සියලු දෙනා ම පාහේ දකුණෙන් උතුරට යවන ලද අය වූහ.
මේ කාලය වන විට උතුරේ සන්නද්ධ කණ්ඩායම් යම් පමණකට ක්‍රියාත්මක වෙමින් තිබුණේ ය. සියල්ල ආරම්භ වූයේ උමා මහේෂ්වරන්ගේ සන්නද්ධ කණ්ඩායමක් විසින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ය. ආණ්ඩුවෙන් එහි යවා සිටි මැරයෝ ඒ ඝාතනයත් සමඟ ම ක්‍රියාත්මක වූහ. ආසියාකරයේ දැනුම් ගබඩාවක් ලෙස ප්‍රකට ව තිබූ යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලදී. යාපනය මන්ත්‍රීවරයාගේ නිවසට ද, නගරයේ කඩ සාප්පුවලට ද ගිනි තැබූ අතර යාපනය නගරය භීෂණයෙන් ඇළලී ගියේ ය. යූඇන්පී මැරයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට බියෙන් යාපනය වැසියෝ මුසපත් වූහ. ඔවුහූ නිවෙස්වලින් එළියට එන්නට බියෙන් මුළුගැන්වී සිටියෝ ය. මේ සියල්ල මෙහෙයවන ලද්දේ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව් යන ඇමැතිවරුන් දෙදෙනා විසින් බව පසු ව අනාවරණය විය.
මැතිවරණයට කලින් දා කුරුණෑගල සිට විශේෂ දුම්රියක් යාපනයට ගියේ ය. මේ දුම්රියේ සිටියේ යාපනයේ ඡන්දය මංකොල්ලකෑම සඳහා ආණ්ඩුවෙන් යවන ලද පිරිසකි. මේ පිරිසට මැතිවරණ කටයුතු භාර දෙන ලදී. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් යවා සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් 94 දෙනකුගේ පත්වීම් අවලංගු කළ බව එදා රාත්‍රී යාපනය කච්චේරියේ දී ශබ්ද විකාශන යන්ත්‍ර නිවේදනයක් මඟින් දැනුම් දෙන ලදී. ඊට හේතුවක් දැනුම් දීමට දිසාපතිවරයාට හෝ වෙනත් වගකිව යුතු නිලධාරියකුට නොහැකි විය. රාජකාරි සඳහා ගොස් සිටි මැතිවරණ නිලධාරීහු අතරමං වූ තත්වයකට පත් වූහ. ඔවුන් සියලු දෙනාට වැඩ කරන්නට සිදු වුයේ කුරුණෑගල දුම්රියෙන් පැමිණි මැරයන්ගේ අණකිරීම් අනුව ය. ඔවුන් ඇතැමකු අත ආයුධ ද තිබූ බැවින් මැතිවරණ නිලධාරීන්ට කටයුතු කරන්නට සිදු වූයේ මරබියෙනි. රාජකාරියේ යෙදී සිටි බොහෝ පොලිස් නිලධාරීන් ද මැරයන්ගේ අණසක අනුව කටයුතු කරනු පෙනිණි. මැතිවරණ නිලධාරීන්ට රාජකාරි කරන්නට සිදු වූයේ මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් මඟින් දැනුම් දී තිබුණු ඡන්ද මධ්නයස්ථානයේ නොව යූඇන්පී මැරයන් විසින් නියම කරන ලද ස්ථානයක ය. ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්ට ඡන්ද පෙට්ටි ඔසවා ගෙන යෑමට සිදු විය.
ඡන්ද විමසීමේ කටයුතු උදේ 7.00ට ආරම්භ විය යුතු වුවත් බොහෝ ඡන්ද මධ්‍යස්ථාන ආරම්භ කරන ලද්දේ දහවල් 12.00ටත් පසු ව ය. ඡන්ද විමසීම් සිදු කරන ලද්දේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් විසින් වුව ද ඔවුන් මෙහෙයවන ලද්දේ කුරුණෑගල දුම්රියෙන් යවන ලද පිරිස විසිනි. ඡන්ද විමසීම අවසන් වීමෙන් වීමෙන් පසු ව එම ස්ථානයේ දී ම ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපදෙස් දී තිබූ හෙයින් එසේ කළ නිලධාරියකුට මුහුණ දීමට සිදු වූ අත්දැකීමකි මේ.
“…හමුදා ඇඳුමින් සැසුණු පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණි හැඩි දැඩි පුද්ගලයන් තිදෙනෙක් ඡන්ද මධ්‍යස්ථානයේ දී ම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට අප පියවර ගෙන තිබීම ගැන අසභ්‍ය වචනයෙන් අපට බැණ වැදුණේ ය.
“තොපිට අපි එනකොට කිවුවා නේ ද යකෝ ඡන්දෙ කෙරෙන විදිය?” එකෙක් මගේ කමිස කොලරයෙන් අල්ලා අදිමින් තර්ජනාත්මක ව විමසුවේ ය. අන්දුන්කුන්දුන් ව ගිය මා නිරුත්තර ව සිටිද්දී,
“ඕකා අපේ එකෙක් නෙවෙයි කොළඹින් ආපු එකෙක්.” යනුවෙන් ඔවුන් අතර වූ එකකු කී බැවින් ඔහු මගේ කමිස කර අතහරිමින් මා තල්ලු කොට දැම්මේ ය.
“කීය ද අපිට?” ඔහු ඊළඟට ඇසුවේ ය.
“යූඇන්පියට 220යි, ටීයූඑල්එෆ් එකට 554යි” මගේ මතකයට අනුව එදා මා දුන් පිළිතුර ය.
“එච්චර ම නරක නෑ, අපට 220ක් වැටිලා තියෙනවා.”යි කී ඔහු අප බස්රියට ගොඩ වූ ගමන් ම ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිට ඡන්ද පෙට්ටිය ඇර එයින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට සලකුණු කර ඇති ඡන්ද මිටි හතරක් ගන්නා ලෙස නියම කළේ ය. එක් ඡන්ද මිටියක ඡන්ද 50ක් සිටින සේ බන්ඩල් කර තිබිණි. අපගේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ඡන්ද ප්‍රතිඵල නිවේදනය කළ බව ප්‍රකාශ කරමින්, ලැබුණු නියෝගය අනුව ක්‍රියා කිරීමට මැලි බවක් දැක්වීය.
එවිට ම බස්රියේ සිටි පොලිස් ඇඳුමින් සැරසුණු අයෙක් අපගේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිට තම අතේ වූ ගිනි අවිය එල්ල කළේ ය. ඡන්ද පෙට්ටියේ යතුර බලහත්කාරයෙන් උදුරා ගත් ඔවුහු ඡන්ද ප්‍රතිඵල ලේඛනය සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට සලකුණු කළ ඡන්ද මිටි හතරක් රැගෙන එම ප්‍රතිඵල ලේඛනය සංශෝධනය කළහ. අනතුරු ව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට තිබූ ඡන්ද පත්‍රිකා 200 කතිර ලකුණු මකා ඒවා එජාපයට සලකුණු කරන්නට කඩිසර වූහ…”
ඡන්ද පෙට්ටියේ යතුර නොදීම ගැන ඒ මැරයා පිස්තෝලය එල්ල කරමින් මෙසේ ද කීවේ ය.
“අඩෝ බණ ටෝක් එපා. අපට ඡන්ද පෙට්ටියේ යතුර දෙන්න නෙවෙයි නොදෙන්නයි තමුසෙ බය වෙන්න ඕනේ. ඉහළින් ම අපිව එවලා තියෙන්නෙ ඒකටයි.”
මේ විවාදයේ අවසන් ප්‍රතිඵලය වූයේ, ගිනි අවි එල්ල කර ඡන්ද පෙට්ටියත් සමඟ ම අතරමඟ දී බස්රියෙන් බස්වා ඔහු වෙනත් වෑන්රියකට නැංවීම ය.
යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේ දී වාර්තා වූ මෙවැනි බොහෝ සිද්ධි තිබේ. ඡන්ද විමසීම අවසන් වී ඡන්ද පෙට්ටි යාපනය කච්චේරියට ගෙන ආ යුතු වුවත් ඒ සියල්ල පළමු ව රැගෙන ගියේ ඒ අසල තිබූ හෝටලයකට ය. බොහෝ ඡන්ද පෙට්ටි අතුරුදන් වී තිබිණි. මේ නිසා අවසාන ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බවත් ඡන්දය නිසියාකාර ව පැවැත්වුණේ නැති බවත් යාපනය තේරීම් භාර නිලධාරියා වූ යොගේන්ද්‍ර දොරේසාමි මැතිවරණ කොමසාරිස්වරයාට වාර්තා කළේ ය. මැතිවරණ කොමසාරිස් ඒ පිළිබඳ ව නීතිපතිවරයාට දැනුම් දී උපදෙස් ඉල්ලා සිටියේ ය. මැතිවරණය අවලංගු කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නැති බැවින් ඡන්ද ගණන් කර ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට කටයුතු කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන්නේ ය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ ය.
මැතිවරණය පවත්වා දින 12කට පසු ව 1981 ජූනි 16 දා ප්‍රකාශයට පත් කරන ලද යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රතිඵලය මෙසේ විය.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 263, 369
එක්සත් ජාතික පක්ෂය 23,302
දෙමළ සංගමය 21,682
ස්වාධීන කණ්ඩායම 7646
සංවර්ධන සභාවේ ආසන දහය ම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් දිනාගෙන තිබුණේ ය. යූඇන්පිය කෙතරම් ප්‍රචණ්ඩ ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණත් ඔවුන්ට යාපනය සංවර්ධන සභා මැතිවරණයෙන් දිනන්නට නොහැකි විය.
එහෙත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එහි දී ලබා දුන් පූර්වාදර්ශය අපේ රටේ ශිෂ්ට සම්පන්න මැතිවරණ සම්ප්‍රදාය ම්‍රළුමනින් ම විනාශ කර දැමීමේ ආරම්භය සටහන් කළේ ය. එතැන් පටන් 1989 තෙක් යූඇන්පී ආණ්ඩුව කාලයේ පැවැති සියලු මැතිවරණවල දී යූඇන්පිය හැසිරුණේ මේ ආකාරයට ය. උතුරේ ජනතාවගේ සිත්සතන් තුළ දකුණේ ආණ්ඩුව ගැන වෛරයක් ඇති කරන්නට හේතු වූ පළමු වැනි සිද්ධිය මේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයයි. මේ සිද්ධි දන්නා සහ අත්දැකීම් ඇති වැඩිහිටියෝ තව මත් මේ රටේ සිටිති.
Dharma Sri Kariyawasam
0 Comments