මහව මහේස්ත්රාත් අධිකරණයේ දී අද (10) ගල්ගමුව දළ පුට්ටුවාගේ නඩුව විභාගයට ගෙන ඇත. ඒ මහව මහේස්ත්රාත් අසික මල්ලවආරච්චි ඉදිරියේ දීය.
මෙතෙක් මාස කිහිපයක් ප්රමාද වී තිබූ DNA වාර්තාව ඊයේ දිනයේ දී මහව මහේස්ත්රාත් අධිකරණය වෙත ලැබී ඇත.
ඒ අනුව කහගල්ල පල්ලෙකැලේ රක්ෂිතයෙන් හමුවු හස්තියාගේ සිරුරේ කොටස් හා වලාන දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් දළ යුගලයේ කොටස් ගැලපෙන බව DNA වාර්තාවේ සඳහන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා සඳහන් කර තිබේ.
එමෙන්ම මළ සිරුරේ කොටස් හා අධිකරණ භාරයේ ඇති දළ යුගලයේ කොටස් සමාන වුවත් DNA වාර්තාවේ ඇතැම් කරුණු පැහැදිලි කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට පැමිණ සිටි නිලධාරියාට පැහැදිලි අවබෝධයක් නොමැති බව ද මහේස්ත්රාත්වරයා මෙහිදී සඳහන් කර තිබේ.
දෙසැම්බර් 5 වන දින පැවැත්වෙන මීළඟ නඩු දිනයේ දී DNA වාර්තාව සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ඇති නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් DNA වාර්තාව පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
The post දළ පූට්ටුවාගේ DNA වාර්තාව අධිකරණයට.. appeared first on Lanka News Column.
0 Comments