ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියරේ තරගාවලිය අද (13) කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ කෙරේ. අද සහ හෙට පැවැත්වෙන මේ තරගාවලිය මේ වසරේදී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට ආසියාවේ හිමිවන ස්ථානය තහවුරු කරනු ලබයි.
මෙවර තරගමාලාවේ පළමු අදියර ලෙස හොංකොං හී පැවැති තරගාවලියේදී තුන්වැනි ස්ථානය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේ තරගාවලියේ දී හිමිවූයේ 6 වැනි තැනය. එබැවින් අද ඇරැඹෙන අවසන් අදියරේ තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගනිමින් සමස්ත තරගාවලියේ තුන්වැනි තැන අත්කර ගැනීම ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලේ අරමුණ වී තිබේ.
ජපානය ලකුණු 24ක් ලබා මේ වනවිට සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ලකුණු 20ක් ලැබූ හොංකොං පිල දෙවැනි ස්ථානයේ පසුවෙයි. තුන්වැනි තැන හිමිවී ඇත්තේ ලකුණු 13ක් ලැබූ චීනයටය. ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 12ක් ලබා සිවුවැනි තැන පසුවෙයි.
‘බී‘ කාණ්ඩයෙන් තරග බිමට එක්වන ශ්‍රී ලංකා පිල අද පස්වරු 3.42ට චීනය සමග මූලික වටයේ පළමු තරගයට එක්වන අතර පස්වරු 7.22ට චීන තායිපේ පිල සමග දෙවැනි තරගයට ක්‍රීඩා කරයි. ශ්‍රී ලංකා පිල සහභාගි වන මූලික වටයේ අවසන් තරගය හෙට මධ්‍යහ්න 12.12ට හොංකොං පිල සමග පැවැත්වෙයි.
පෙරමුණේ පසුවන ජපානය සමග පිලිපීනය, දකුණු කොරියාව සහ මැලේසියාව මෙවර තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයට එක්වී සිටී.
මේ අතර පළමු හා දෙවැනි අදියරේ තරගාවලි අතර විශිෂ්ට දස්කම් පෑ ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල සංජීවනී විජේතිලකගේ නායකත්වයෙන් අද පස්වරු 2.14ට හොංකොං පිල සමග මූලික වටයේ පළමු තරගයට ක්‍රීඩා කරයි. පස්වරු 5.20ට දකුණු කොරියාව සමග මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හෙට පෙරවරු 10.44ට ජපානය සමග මූලික වටයේ අවසන් තරගයට ක්‍රීඩා කරති.
පළඟ ශූරතාව දිනාගනිමින් හොංකොං සහ දකුණු කොරියාවේ පැවැති තරගාවලි නිමාවට පත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වනවිට සමස්ත ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 10ක් ලබා ගනිමිනි. ලකුණු 24ක් ලැබූ ජපානය පෙරමුණේ පසුවන අතර චීනය ලකුණු 18ක් ලබා දෙවැනි තැනත්, කසකස්තානය ලකුණු 18ක් ලබා තුන්වැනි තැනත් අත්කර ගෙන සිටී. සිවුවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 14ක් ලැබූ හොංකොං කණ්ඩායමය.
ශ්‍රී ලංකා පිරිමි රග්බි පිලේ පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික පීටර් වුඩ් කටයුතු කරන අතර සුදත් සම්පත් කාන්තා රග්බි පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා රග්බි පිරිමි කණ්ඩායම - ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), දනූෂ දයාන් (උපනායක), ධනුෂ්ක රන්ජන්, ගයාන් වීරරත්න, සුදම් සුරියආරච්චි, නවීන් හේනකංකානම්ගේ, කෙවින් ඩික්සන්, රීසා රෆායිඩීන්, කවිඳු පෙරේරා, ඕමල්ක ගුණරත්න, අදීෂ වීරතුංග, දිනුක් අමරසිංහ
ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම - සංජීවනී විජේතිලක (නායිකා), අයේෂා කළුආරච්චි (උපනායිකා), තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි, අයේෂා පෙරේරා, තීක්ෂණා ලියනගේ, දුලානි පල්ලිකොන්දගේ, දසුනි ද සිල්වා, නදීකා මුණසිංහ, ජීවන්ති ගුණවර්ධන, දිලිනි කාංචනා, කුමාරි දිල්රුක්ෂි
0 Comments