ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියර ලෙස හෙට (13) සහ අනිද්දා (14) කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන කොළඹ තරගාවලියේ කාන්තා තරග ඉසව්ව නියෝජනය කරන ශ්රී ලංකා කණ්ඩායමට දිලිනි කාංචනා සහ කුමාරි දිල්රුක්ෂි ඇතුළත් වී සිටිති. ඔවුන් කණ්ඩායමට එක්වූයේ පසුගියදා දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේ තරගාවලියට සහභාගි වූ අනූෂා අත්තනායක සහ නිමේෂා විජේවර්ධන වෙනුවටය.
ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු අදියර ලෙස හොංකොං නුවර පැවැති තරගවලියට ක්රීඩා කළ නායිකා සංදීපා හේමකුමාරි සහ හිටපු නායිකා රන්දිකා කුමුදුමලී ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වී සිටිති. ඒ අනුව දකුණු කොරියානු තරගාවලියේදී ශ්රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කළ සංජීවනී විජේතිලක කොළඹ තරගාවලියේදී ද නායිකාව ලෙස පත්වී සිටී.
මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම සිය දස්කම් ඉහළින් පෙන්නුම් කළ ශ්රී ලංකා ක්රීඩිකාවෝ නිමාවට පත්වූ තරගාවලි 2දීම පළඟ ශූරතාව දිනාගත්හ. පසුගිය වසරේ තරගාවලියේ අවසන් අදියර ලෙස කොළඹ පැවැති තරගාවලියේදීත් පළඟ ශූරතාව දිනූ ශ්රී ලංකා ක්රීඩිකාවෝ මෙරට කාන්තා රග්බි ඉතිහාසයේ පළමුවතාවට ආසියානු තරග බිමේ පිට පිට පළඟ ශූරතා ත්රිත්වයක් දිනාගනිමින් වාර්තාපොතට එක්වූහ.
කොළඹ තරගාවලියේදී කුසලාන වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවන ශ්රී ලංකා ක්රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ සුදත් සම්පත් විසිනි.
ශ්රී ලංකා කාන්තා රග්බි පිල මෙසේය.
සංජීවනී විජේතිලක (නායිකා), තනූජා වීරක්කොඩි, අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, නදීකා මුණසිංහ, දසුනි ද සිල්වා, වාසනා වීරක්කොඩි, තීක්ෂණා ලියනගේ, දුලානි පල්ලිකොන්දගේ, ජීවන්ති ගුණවර්ධන, දිලිනි කාංචනා, කුමාරි දිල්රුක්ෂි.
0 Comments