රුපියල කඩාවැටීම අපේ රටේ ආර්ථිකයට සෘජුව බලපාන දෙයක් බවත් රුපියල කඩාවැටීම කියන්නේ රෝග ලක්ෂණය මිස රෝග නිධානය නොවන බවත් ආර්ථික කමිටුවේ ප‍්‍රධානී, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ජාතික විද්වත් සංවිධානයේ
ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුව මඟින් පැවැත්වූ රුපියල කඩාවැටීම සහ ලංකාවේ ආර්ථික අර්බුදය නමින් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු,
රුපියල කඩාවැටීම අපේ රටේ ආර්ථිකයට සෘජුව බලපාන දෙයක්. රුපියල කඩාවැටීම කියන්නේ රෝග ලක්ෂණය මිස රෝග නිධානය නොවේ. අද රෝග නිධානය ගැන කතා කරනවා වෙනුවට රෝග ලක්ෂණය ගැන කතා කරන එකයි සිදුවෙලා තිබෙන්නේ. ආණ්ඩුව මේ පිළිබඳව නිවැරදි තොරතුරු ජනතාවට ලබාදෙනවා වෙනුවට ඉතාමත් වැරදි අර්තකථන ලබාදෙනවා. වත්මන් ආණ්ඩුව කියනවා අර්බුදයට හේතුව පසුගිය ආණ්ඩුව ගත්ත ණය කියලා. පසුගිය ආණ්ඩුවේ අය කියනවා මේක වර්තමාන ආණ්ඩුවේ ණය ගැනීම නිසා ඇතිවුණ අර්බුදයක් කියලා. කෙසේ වෙතත් මහබැංකුවේ අධිපතිවරයා මේක අර්බුදයක් බව පිළිගෙන තිබෙනවා. ඔහු කියනවා මහ බැංකුව සතු සංචිතවලින් ඩොලර් මිලියන 184ක් රුපියල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නිදහස් කළා කියලා. ඩොලර් මිලියන 184කින් මේ කඩා වැටීම නවත්වන්න පුළුවන්කමක් නැහැ.
අපේ රටේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. රුපියල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් 2015 සිට ඩොලර් බිලියන 3.2ක් යොදාගෙන තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා කියන්නේ පසුගිය වසර තුනටම 9%කින් රුපියල කඩා වැටිලා කියලා. නමුත් ඇත්ත කතාව මේ වසරේ පමණක් කඩාවැටීම තමයි 9%ක් ලෙස වාර්තා වෙන්නේ. ඔවුන් මේ විදියට නිවැරදි තොරතුරු වසන් කිරීමට උත්සහ කරනවා. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා කියනවා 2011-2012 වසර තුළ පහුගිය ආණ්ඩුව ඩොලර් බිලියන 4.1ක් නිදහස් කරලත් රුපියල 15%කින් කඩා වැටුනා කියලා. ඔවුන් නිතරම පහුගිය කාලයේ දත්ත වාර්තා කරලා වර්තමාන තත්වය වසන් කිරීමට උත්සහ කරනවා. ජනතාව රවට්ටනවා. මේ අර්බුදය ඇතිවෙලා තිබෙන්නේ පැවැති පවතින ආණ්ඩු අනුගමනය කළ වැරදි ආර්ථික කළමනාකරණයේ ප‍්‍රතිවිපාක ලෙසයි.
රුපියල කඩාවැටීමට සෘජු ලෙස බලපාන්නේ විදේශ විනිමය ගැටලූවයි. අපේ රටේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. අපනයන මෙන් ආනයන වියදම දෙගුණයක්. ආසන්න කාලය තුළ සංඛ්‍යා ලේඛන අනුව ආනයන ඩොලර් මිලියන 20980ක් වෙනකොට අපනයන සිදුවෙලා තිබෙන්නේ ඩොලර් මිලියන 11360ක. පරතරය ඩොලර් මිලියන 9620ක්. එවිට මෙම ඩොලර් ප‍්‍රමාණය වෙනත් ආකාරයකින් උපයන්න සිදුවෙනවා. ඉතාම දුක්ඛිත තත්වයෙන් අපේ අම්මලා, අක්කලා මැදපෙරදිග සේවය කරලා ඩොලර් මිලියන 6300කට ආසන්න විදේශ පේ‍්‍රෂණ ප‍්‍රමාණයක් රටට එවනවා. මේ අය ඉතාම දුෂ්කර ජීවිත ගත කරලා එවන මේ මුදල් අපිට අහිමි වුනොත් තත්වය ඉතාම බරපතළයි. ඉතිරි ඩොලර් මිලියන 2300 ගණන හොයා ගන්නේ කොහොමද? විකල්පය වෙලා තිබෙන්නේ විදේශ ණය ලබාගැනීමයි. කළ යුතුව තිබෙන්නේ විදේශ ආයෝජන දිරිමත් කිරීම වුනත් රටේ පවතින තත්වයන් නිසා ආයෝජන රටතුළ රැුඳෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඇමරිකාව පවා තමන්ගේ ධනය නිෂ්පාදනය කර ගන්නේ චීනය සහ අනෙකුත් යුරෝපා රටවල ආයෝජන කරලා. එනිසා අපිට ණය ගැනීම අනිවාරයක් වෙලා. අනෙක් රටවල් විදේශ ණය ලබාගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් කරලා ලාභ ලබාගන්නවා. නැවත ණය ගෙවා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් අපි ණය අරගෙන කරන්නේ ඉතාම අනර්ථකාරී, නාස්තිකාරී ව්‍යාපෘති. ඒ වගේම වංචා ¥ෂණ නිසා මුදල් නාස්ති වෙනවා. මේක තමයි චක‍්‍රීය අර්බුදයක් ලෙස ආර්ථිකයට බලපාන්නේ.
ආණ්ඩුව මෙයට විසඳුමක් ලෙස යෝජනා කරන්නේ ආනයන පාලනය කිරීම. වාහන ගෙන්වීම, විදුලි උපකරණ ගෙන්වීම පාලනය කළ පමණින් අපේ රටින් ආනයන සඳහා ඇදී යන ඩොලර් බිලියන 20 නවත්වන්න පුළුවන්කමක් නැහැ. මොකද වැඩිපුර ගෙන්වන්නේ දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය වන අමුද්‍රවයයි. මේවා පාලනය කිරීමෙන් නැවත වටකයකින් දේශීය කර්මාන්තවලට බලපානවා. කර්මාන්ත බිඳවැටෙනවා. පර්මිට් නවත්වන බව ආණ්ඩුව කියනවා. ඒක මන්ත‍්‍රීලට බලාපන්නේ නැහැ. රාජ්‍ය සේවකයින්ට පමණයි බලපාන්නේ. කෙසේ නමුත් පර්මිට් වාහන ගෙන්වීම නතර කළ පමණින් වාහන ආනයනය නවතින්නේ නැහැ. මේක ආණ්ඩුව කරන ප්‍රෝඩාවක්. කළ යුතුව තිබෙන්නේ රටතුළ වාහන එකලස් කිරීම වැනි කර්මාන්ත ගැන අවධානය යොමු කිරීමයි.
අර්බුදය විසඳාගන්න කෙටිකාලීනව විදෙස් සංචිත යොදාගන්න පුළුවන් වුනාට මාස කිහිපයකින් පසුව නැවත විශාල අර්බුදයක් එන්න පුළුවන්කම තිබෙනවා. එවැනි තත්වයක් තුළ සිදුවෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම පමණයි. 1977ට පෙර ඩොලරයක වටිනාකම පැවතුණේ රු.4ක් පමණ. නමුත් 77න් පසු විවෘත ආර්ථිකයත් සමඟ දිගින් දිගටම රුපියල කඩාවැටුණා. හැම පාලනයක්ම ගත් ක‍්‍රියාමාර්ග විනාශකාරී වුණා. නමුත් අපේ කලාපයේ රටවල් වන ඉංදියාව, පකිස්ථානය, බංගලාදේශය, වියට්නාමය තමන්ගේ විදේශ සංචිත ස්වාධීනව පවත්වාගෙන යමින් රටේ යම් ස්ථාවරත්වයක් පවත්වාගෙන යනවා. රජය ඊට මැදිහත් වෙනවා.
රුපියල කඩාවැටීම කෙලින්ම උද්ධමනයට බලපානවා. බඩුමිල වැඩිවෙනවා. පොළී අනුපාත ඉහළ යනවා. රටේ ජංගම ගිණුමේ හිගයක් ඇතිවෙනවා. විදේශ ණය ගැනීමට සිදුවෙනවා. ඩොලර් මිලදී ගැනීම වෙනුවෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවෙනවා. එමගින් නැවතත් උද්ධමනය වැඩිවෙනවා. ඒ නිසා ආණ්ඩුව අනුගමනය කරන පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන ආර්ථික සැලැස්මක් ගොඩනැගිය යුතුයි. එනිසයි අපි කියන්නේ මේ රුපියල කඩාවැටීම රෝග ලක්ෂයක් මිස රෝග නිධානය නොවේ කියලා. අපි විසඳුම් සෙවිය යුත්තේ රෝග නිධානයටයි. අපිට දැක්මක් සහිත ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා නම් අපේ රටේ සම්පත් කළමනාකරණය කරලා ජනතාව සුඛිත මුදිත කරන්න පුළුවන්කමක් තිබෙනවා යැයි පැවසීය.
The post රුපියල කඩාවැටීම රෝග ලක්ෂණය පමණයි. පිළියම් සෙවිය යුත්තේ රෝග නිධානයටයි.. appeared first on Lanka News Column.
0 Comments