Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෙර පාසල් ගුරුවරුන්ට මාසික වේතනයක් ලබා දීම තම සිහිනයක් බව ඇමති නවීන් කියයි.

Minister_Navin_08

පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව වේතනයක් ලබා දීම තම සිහිනයක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ, රොටරි සමාජය විසින් පවත්වනු ලබන පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවේ විසිර යාමේ උත්සව අවස්ථාව සහභාගී වෙමිනි.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

මගේ දේශපාලන ජීවිතයේ මම බලාපොරොත්තු වෙන්නේ මට යම්කිසි දවසක වාසනාව තිබ්බොත් මේ රටේ මුල් පුරවැසියා වෙන්න මම කරන ප්‍රථම දේ තමයි පෙර පාසල් ගුරුවරුන්ට මාසික වේතනයක් අනිවාර්යෙන්ම ලබා දීම. කිසිම සැකයක් නැතුව එය අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන පදනමේ තමයි මම ඉන්නේ. අපි මේ ගැන රජය ඇතුළේ කතා කරනවා. රජයවල් ඇති වෙනවා නැති වෙනවා. නායකයො එනවා යනවා. හැම දෙයක්ම තාවකාලිකයි. නමුත් මගේ සිහිනය තමයි පෙර පාසල් ගුරුවරුන්ට ඒ මාසික වේතනය ලබා දෙන එක. විශේෂයෙන්ම අපි මනුෂ්‍යයින්ට ඒ අවශ්‍ය ආයෝජනය කළ යුතුයි. ඒ ආයෝජනයෙන් අනිවාර්යෙන්ම මුදල් වලින් එහි රිටන් එක අපට බලන්න බෑ. නමුත් දරුවෙක් හැදෙන එක දරුවෙකුගේ මනස පෝෂණය වෙන එක දරුවෙක් මේ රටේ හොඳ පුරවැසියෙක් වෙන එක ඒ මූලික අඩිතාලම පෙර පාසලින් වෙන්නේ. ඒ පෙර පාසල් අඩිතාලම අපි රජයක් ආණ්ඩුවක් නායකයෙක් වශයෙන් හරියට සකස් කරන්නේ නැත්නම් මෙතැන විශාල අඩුපාඩුවක් තියෙනවා.

අද මම බෙහෙවින් සතුටු වෙනවා මගේ දිවංගත පියාණන් ගාමිණී දිසානායක මැතිතුමා එදා එක්දහස් නවසිය අසූ ගණන් වල ඉතාමත් මන්දගාමීව තිබූ පළාතක් වූ මේ මහියංගනය ප්‍රදේශයට අද මම එනකොට විශාල සතුටක් දැණුනා. විශේෂයෙන්ම එදා එතුමන් සමඟ අවුරුදු අටේ නවයේ දරුවෙක් හැටියට මේ පළාත් වලට ආ ගමන් මට හොඳට මතකයි. ඇත්ත වශයෙන්ම මෙවැනි දියුණුවක් එතුමා සැලසුම් කළා. මම හිතන්නේ අද මේ  ඉන්න ගොඩනැඟිල්ලත් ඒ කාලේ හදපු ගොඩනැඟිල්ලක්. මේ පාරවල් යටිතල පහසුකම් මේ සියලු දෙයක්ම මහවැලි ව්‍යාපාරය නිසා තමයි සංවර්ධනය වුණේ. ඒ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ විශේෂයෙන්ම අපගේ කෘෂි ගම්මාන වියළි කලාප තෙත් කලාප බවට පරිවර්තනය කිරීම, අපගේ කෘෂි ආර්ථිකය නංවාලීම, අපගේ විදුලි ධාරාව වැඩි කිරීම වැනි ශ්‍රේෂ්ඨ අරමුණු පදනම් කර ගෙන මේ කටයුත්ත කළේ. එම නිසා අද අපේ මේ ගොවි මහත්වරුන්ගේ ගෙවල් වල තවමත් ගාමිණී දිසානායක මැතිඳුන්ගේ පින්තූරයක් තියෙනවා. එදා ඒ කරපු වැඩ කොටස සදා අනුස්මරණීයයි. එම නිසා එදා මහවැලි ව්‍යාපාරය කරන කොට නොයෙකුත් පරිසර සංවිධාන දේශපාලන පක්ෂ නොයෙකුත් චෝදනා කළා. මේ ව්‍යාපෘතිය නිසා පරිසරය විනාශ වෙනවා කිව්වා. අවශ්‍ය නෑ කීවා. විශාල නාස්තියක් කීවා. නමුත් එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දූරදර්ශීව බලලා මහවැලි ව්‍යාපාරය අවුරුදු 06න් නිම කිරීමට දේශපාලන තීරණයක් තීරණයක් ගත්තා. ඒ දේශපාලන තීරණය නිසා තමයි මේ කුඹුරු අස්වද්දලා අපගේ කෘෂි ආර්ථිකයට විශාල ශක්තියක් වෙලා අපගේ විදුලි ධාරිතාව දෙගුණයකින් වැඩි කිරීමටත් හැකියාව ලැබුණේ. එම නිසා අද ගාමිණී දිසානායක මැතිතුමාගේ පුතා හැටියට මේ මහවැලි සී කලාපයේ ඇති වී ඇති දියුණුව දැක්කාම මගේ හදවතට විශාල සතුටක් දැනෙනවා.  

ඒ වගේම මම අද සතුටු වෙනවා අමාත්‍යවරයෙක් විදිහට නොව රොටරි සමාජය සමඟ සම්බන්ධ වෙලා මගේ දිස්ත්‍රික්කය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගාමිණී දිසානායක පදනම හරහා රොටරි සමාජය හා අප අතර ඇති වී තිබෙන සම්බන්ධය ගැන කතා කිරීමට ලැබීම ගැන. ඇත්ත වශයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. දේශපාගඥයෙක් හැටියට මට තවමත් විශාල ප්‍රශ්නයක් නිදහසින් අවුරුදු හැට ගණනකටත් පසුව තවමත් පෙර පාසල් අධ්‍යාපනය, පළමුවැන්න ඇයි අපි පෙර පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර නොතිබෙන්නේ ? දෙවැන්න අපගේ මේ ගුරු භවතුන්ට මහත්ම මහත්මීන්ට රජයෙන් මාසික වේතනයක් නොදෙන්නේ ඇයි ? කියන එක ගැන මට තාමත් ප්‍රහේළිකාවක්. අපි අධ්‍යාපනය ගැන කතා කරනවා. සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා අපට නිදහස් අධ්‍යාපනය මේ රටට හඳුන්වා දුන්නා. දකුණු ආසියාවේ ඉහළින්ම අධ්‍යාපනය ලබන රටක් හැටියට අපේ රට හඳුන්වන්න පුළුවන්. 90%ක සාක්ෂර ශක්තියක් තිබෙන රටක, අපි පෙර පාසල් ගුරුවරුන්ට මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි.

අපි පෙර පාසල් දරුවන්ව අවුරුදු තුනේ සිට පහ දක්වා ඒ දරුවන්ගේ අභ්‍යන්තර අධ්‍යාපනය නඟා සිටුවීමට මීට වඩා උනන්දුවක් දැක්විය යුතුයි. එම නිසා අපි උත්සාහයක් දැරිය යුතුයි පෙර පාසල් අධ්‍යාපනය තුළම අපගේ දරුවන්ට ඒ අවශ්‍ය මූලික පහසුකම් ටික ලබා දෙන්න. මේ පුංචි මනසවල් හදන එක හොඳ පුරවැසියන් වෙන්න රටට සේවයක් කරන පුරවැසියෙක් වෙන්න අපි ඒ මූලික අඩිතාලම දැමිය යුත්තේ පෙර පාසලෙන් කියන එක අනිවාර්යෙන්ම කිව යුතුයි. මම උත්සාහ කරනවා මගේ දේශපාලන ගමනේ එක මූලික සන්ධිස්ථානයක් විශාල පර්වතයක් තමයි පෙර පාසල් අධ්‍යාපනය මීට වඩා ඉදිරියට ගන්න එක. එම නිසා පැහැදිළිවම මගේ සිහිනයක් තියෙනවා මම ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙන නිසා මගේ මූලික හැඟීම තමයි අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කරලා  අපේ පෙර පාසල් මොඩ්ල් කළ යුතුයි. එම නිසා අපි ජපානයේ පෙර පාසල් ක්‍රමය මේ රටට හඳුන්වා දීමට මූලිකව පියවරක් ගත යුතුයි.

ඒ වගේම මම කතා කරන්න කැමතියි රොටරි සමාජය ගැන. රොටරි සමාජය මේ ව්‍යාපෘතියට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අද ගොඩක් සමාජිකයින් කොළඹින් ඇවිත් ඉන්නවා. මොවුන් දහස් ගණනක් පිරිස් පාලනය කරන උදවිය. මනුෂ්‍ය පාලනය මනුෂ්‍ය නායකත්වය ගැන මොවුන් හොඳට දන්නවා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි ජාත්‍යන්තර රොටරි සමාජයට අපගේ මේ පුංචි ලංකාවේ පෙර පාසල් ගුරුවරුන්ට මේ ලබා දෙන පුහුණුව සම්බන්ධයෙන්. ඒක විශාල ප්‍රතිපත්තිමය තීරණයක්. මොකද මේක ගොඩනැඟිල්ලක් හදන්න මේක වෛද්‍ය උපකරණ ලබා ගන්න පාසලකට උපකරණ ලබා ගන්න නොව කෙළින්ම මනුෂ්‍යයින් වෙනුවෙන් යොදවන ආයෝජනයක් හැටියට මම දකිනවා. එම නිසා අද දකින්න ඇති අපේ ගාමිණී දිසානායක පදනමේ ගුරුවරුන් ගෙනල්ලා ඉතාමත් ලස්සන නාට්‍ය ප්‍රදර්ශනයක් මෙතන කළා.  ගාමිණී දිසානායක පදනම රොටරි සමාජය හා බද්ධ වෙලා මේ වැඩමුළුව පුහුණු පාඨමාලාව කරනවා. එම නිසා අත්දැකීමෙන් දන්වා අපි අවුරුදු දෙකක සම්බන්ධතාවක් අපි අතර තිබෙනවා නිසා මට කියන්න පුළුවන් පුද්ගලික අත්දැකීමෙන් මේ කරන ආයෝජනයෙන් අනිවාර්යෙන්ම මිල කළ නොහැකි දෙයක් සංකේතයක් වැඩකොටසක් අපේ නුවරඑළි දිස්ත්‍රික්කයේ සිද්ධ වෙනවා. එම නිසා මාගේ ස්තූතිය රොටරි සමාජයට මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි. අපි රොටරි සමාජය මේ කරන වැඩකොටස කවදාවත් අමතක කරන්නේ නෑ. දැන් තවත් ගුරුවරුන් 800ට පුහුණුව සඳහා රොටරි සමාජයෙන් මුදල් ඉදිරියේදී ලබා දෙන බව ප්‍රකාශ කළා. ඔබ සමාජය විසින් කරන මේ සේවය අනන්ත අප්‍රමාණයි. වචන වලින් අපිට ඒක විග්‍රහ කරන්න බෑ. විශේෂයෙන්ම දේශපාලනඥයෝම අවශ්‍ය නෑ රටට සේවය කරන්න. නොයෙක් පුද්ගලයන්ට පුළුවන් මෙවැනි සමාජ වලට බැඳිලා රටට සේවය කරන්න. එම නිසා මේ මහියංගනය වැනි ඇත පළාත් වට ඇවිල්ලා අද මේ කරන වැඩ කොටස ඉතාමත් ප්‍රශංසනීයයි. අද රොටරි සමාජයේ මහත්ම මහත්මීන් මෙතනට ඇවිල්ලා ඔවුන් විශාල කැපවීමක් කරන්නේ.

ඒ වගේම උතුරෙන් දකුණට දකුණෙන් උතුරට මනුෂ්‍යයින් හුවමාරු උනොත් යන්න පුළුවන් උනොත් මනුෂ්‍යයින් අතර ඇති වන අනෝන්‍ය සම්බන්ධය වැඩි කරලා අපි සියලු දෙනාම එකයි කියන හැඟීම ඇති කරන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට ජාතිවාදය ආගම්වාදය අවශ්‍ය නෑ.  පෙර පාසල් වලිනුත් ඇති විය යුත්තේ ඒ පණිවිඩයයි. අපි ආගම් වලින් විවිධ විය හැකියි. නමුත් ශ්‍රී ලාංකීකයන් කියන එක හදවත් වලට දිය යුතුයි. පෙර පාසල කියන දේට නවින් දිසානායක කියන දේශපාලඥයාට සංකල්පයට විශේෂ උනන්දුවක් තියෙනවා. ඉතිං අද මට මේ අවස්ථාවට ආරාධනා කළාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ රටේ ආකල්පනීය පෙරළියක් ඇති කරන්න පුළුවන් සංකල්පයක් ඇති කරන්න පෙර පාසල් දරුවන්ට ඒ අවශ්‍ය අධ්‍යාපනය ඉතාමත්ම හොඳින් අපි දරුවන්ට ලබා දිය යුතුයි. ඔබ සැමට සුභ අනාගතයක් යැයි පැවසීය.                         

The post පෙර පාසල් ගුරුවරුන්ට මාසික වේතනයක් ලබා දීම තම සිහිනයක් බව ඇමති නවීන් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();