- වසර ගණනක් කොටි අත්අඩංගුවේ ඉඳලා
- වැලි ලොරියට දේශපාලනඥවරියකගේ සම්බන්ධයක්...?
ගිනි අවියක් අතින් ගත් පොලිස් නිලධාරියෙක් මහ පාරේ දිව යයි. කිසිවකු ඔහු පිටුපසින් හෝ ඉදිරියෙන් හෝ දිව යන්නේද නැත. අවට පිරිස් ඒ දෙස බලා සිටිති. කිහිප දෙනකු වට පිටබලන්නේ කැමරා අටවාගත් පිරිසක් හෝ සිටීදැයි දැනගන්නටය. ඒ, මෙය චිත්‍රපට රූගත කිරීමක් දෝ යන සැකයක් ඇති වන හෙයිනි...
මේ, පසුගිය 3 වැනිදා බදාදා දහවල් කළුතර තෙඹුවන පොලීසියට නුදුරු ප්‍රදේශයකදී වාර්තා වූ සිද්ධියකි. මෙය චිත්‍රපට රූගත කිරීමක් නොවන බව දැනගත් ජනතාව පොලිස් නිලධාරියා දෙසට ඇදෙන්නට වූහ. අවිය තම සිරුරේ ඉහළට ඔසවාගත් ඔහු හඬ නඟමින් තමාට වූ අසාධාරණයක් ගැන කියන්නට වූයේය. ඒ ගැන විමසිලිලෙන් සිටි විට ඔහුගේ කතාව තේරුම් ගත හැකි විය.
ඔහු නමින් සනත් ගුණවර්ධනය. ඔහු තෙඹුවන පොලීසියට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙකි. මේ සැරයන්වරයා පොලිස්පතිවරයාගේ නියමයෙන් පසුගිය 29 වැනිදා සිදු කළ මහාමාර්ගයේ මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. එම ටිපර් රථය පොලිස් ස්ථානයට ගෙන ගොස් ස්ථානාධිපතිවරයාට භාර දී ඇත්තේ නඩු පැවරීම සඳහාය. බලපත්‍ර නොතිබුණත් පොලිස් ස්ථානාධිපතිවරයා අසභ්‍ය වචනයෙන් එහි රියැදුරා ඉදිරියේදීම මේ සැරයන්වරයාට බැණවැදී ඇත. ඔහු එය ඉවසා ඇත්තේ තමාට බැණවැදී හෝ නීතිය ක්‍රියාත්මක වනු ඇත යන විශ්වාසයෙනි.
එහෙත් ඔහුට දැනගන්නට ලැබුණේ අදාළ වැලි ලොරිය නඩු නොපවරාම මුදාහැර ඇති බවයි. එයින් නොනැවතී මේ සිදුවීම සම්බන්ධව ඔහුට දැඩි ලෙසින් පසුපස පන්නමින් පහර දී ඇති අතර, ඔහුගේ වැටුපෙන්ද රුපියල් 14500ක් විවිධ අභූත චෝදනා නඟමින් අඩු කර ඇතැයි සැල විය. තමාට වූ අසාධාරණය හා අවංකව රාජකාරි කිරීමට ඉඩ ලබා නොදීමට එරෙහිව ඔහු පොලිසියේ තිබූ ටී56 ගිනි අවියක්ද රැගෙන කිලෝමීටර් බාගයක් පමණ දුර දිව ගොස් තමාට වූ අසාධාරණයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් වෙඩි තබාගන්නා බවට හඬ නැඟීය.
මේ ඔහු පැවසෙන කතාවයි.
ගිනි අවියක් ගෙන මහජනතාව අපහසුතාවට පත් වන ලෙස හැසිරීම මෙන්ම ඔහු එම ගිනි අවියෙන් සියදිවි හානි කරගැනීමට ඉඩ ඇති හෙයින් ඔහු මෙල්ල කර ඔහුගේද දිවි රැක දී ගිනි අවිය භාරයට ගැනීම පිණිස පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ ස්ථානයට ගියද ඔහු ගිනි අවිය සහිතව සිටි හෙයින් හා සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලමින් කෑගැසීම නිසා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පවා ගිනි අවිය පසෙක ලමින් පැමිණෙන ලෙස ඔහුට දැන්වූවා විනා, ඔහු අසලට නොගියේ ඔහු තම අවියෙන් අනතුරක් සිදු කරගැනීමට ඉඩ තිබූ හෙයිනි.
පැයකට අධික කාලයක් මෙසේ ඔහු මෙල්ල කරගැනීමට නොහැකිව පොලීසිය කටයුතු කරද්දී, මේ සිදුවීම ආරංචි වී ඔහුගේ බිරිය හා පෙරපාසල් යන සිඟිති දියණියද ඒ ස්ථානයට පැමිණ තිබේ. ඔවුන් හඬමින් ගිනි අවිය බාර දී පොලිස් ස්ථානයට යන ලෙස පැවසුවද, රාජකාරිය නිසි පරිදි කරන්නට ගොස් තමාට සිදු වූ අසාධාරණයට සාධාරණයක් ඉටු වන තුරු හා අදාළ ටිපර් රථයට නඩු පවරන තුරු තමන් ඒ ස්ථානයෙන් ඉවත් නොවන බව ඔහු තරයේම කියා සිටියේය.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවන ලදි. එලෙස පැමිණි විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරියා තම අත ඇති පිස්තෝලය පවා පසෙක ලා දෑත් දෙපසට විදහාලමින් ගිනි අවිය ඉවත දමා පැමිණ සාකච්ඡා කර ගැටලු ඇත් නම් විසඳාගන්නා ලෙස දැන්වුවද ඔහු එයටද එකඟ වූයේ නැත.
අවසානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු දෙදෙනෙක් සිවිල් ඇඳුමින් සැරසී සිගරැට්ටුවක් දල්වාගන්නා අටියෙන් වෙළෙඳසලකට යන මුවාවෙන් සමීපයට ගොස්, ඔහුගේ අවධානය වෙනතකට යොමු වන තුරු සිට ඔහු වෙත පැන ගිනි අවිය තමන් සතු කරගැනීමට සමත් වූහ. ඒ අවස්ථාවේ එය පත්තු වී ඇතත්, වාසනාවට ඉන් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැත. මෙල්ල කරගනු ලැබූ සැරයන්වරයා පොලීසිය වෙත ගෙන ගොස්, පසු දින එනම් 4 වැනිදා කළුතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. මේ වන විට ඔහුගේ සේවයද අත්හිටුවා ඇත.
මේ සම්බන්ධව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ වැලි ලොරියට බලපත්‍රයක් තිබූ හෙයින් ස්ථානාධිපතිවරයා විසින් එය නිදහස් කරනු ලැබ ඇති බවයි.
කරුණු කෙසේ වෙතත් අදාළ පොලිස් සැරයන්වරයා වැලිලොරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි වැලි ප්‍රවාහන බලපත්‍රය නොතිබූ බව මේ වන විට මාධ්‍ය වෙත වාර්තා වී තිබේ. එය එසේ සිදු වූවා නම් කිසි සේත්ම අධිකරණයට අදාළ වැලි ලොරිය ඉදිරිපත් නොකිරීමට අවසරයක් නොවන්නේ, අනිවාර්යෙන්ම වැලි ප්‍රවාහනයේදී ඒ බලපත්‍රය තිබීම අනිවාර්ය නිසාය. සැරයන් වරයා ගිනි අවිය රැගෙන තෙඹුවන නගරයට පැමිණ එයින් අහසට වෙඩි තබා ඇති බවත්, ඔහු පොලිස් රාජකාරියට වාර්තා කිරීමේදී දුර්වල පැමිණීමක් පෙන්නුම් කර ඇති බවත්, මේ වසරේදී දින 15ක් වැටුප් රහිත නිවාඩු ලෙස වාර්තා වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙහිදී ‘සැරයන්වරයා නිවැරැදිද?’ ‘ස්ථානාධිපතිවරයා නිවැරැදිද?’ යන්න ගැන අපි පූර්ව නිගමන සැපයීමට ඉක්මන් නොවෙමු. එහෙත් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාප අපි හොඳින් දැක ඇත්තෙමු.
වැලිඔය පොලීසිය මඟින් අත්අඩංගුව ගන්නා ලද බාල වයස්කාර පිරිමි දරුවකු පොලීසිය තුළදී අතරවයට ලක් වීමෙන් පසු පොලීසිය ඒ බාලවයස්කරුවාගේ කැරැට්ටුව දිගහැර ඔහුගේ චරිතය ඝාතනය කළා මෙන්ම අනුරාධපුරයේදී තම දියණිය නිරුවත් කළ අයකුට පහර එල්ල කළ පුද්ගලයකු එම පියා කපා කොටා ඝාතනය කිරීමද පොලිසිය විසින් සාධාරණීකරණය කරන ආකාරයද අපි දුටුවෙමු. සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරියා දීර්ඝ කාලයක් උතුරු-නැඟෙනහිර සේවාවේ යෙදී සිට ඇති අතර, වසර 10කට අධික කාලයක් කොටි අත්අඩංගුවේ පසු වූ අයෙකි. ඔහු ඔඩ්ඩුසුඩ්ඩාන් පොලීසියේ සේවය කරමින් සිටියදී කොටි ත්රස්තවාදීන් විසින් පැහැරගෙන යන ලද්දේ තවත් පොලිස් නිලධාරීන් 38 දෙනකු සමඟිනි. ඔහු ජීවත්ව සිටිනා බව පවුලේ ඥාතීන් දැනගෙන ඇත්තේද වසර දෙකහමාරකට පසුවය. එවන් අයකු සම්බන්ධව කටයුතු කිරීමේදී පොලීසිය මීට වඩා විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කළ යුතු බව අපගේ හැඟීමයි.
දැන් මේ නිලධාරියාට අධිකරණයේ නඩු පැවරෙනු ඇත. ගිනි අවිය පොලීසියෙන් අනවසරයෙන් රැගෙන යෑම බරපතළ වරදකි. එමෙන්ම ජනතාව අපහසුතාවට පත් කිරීම ඇතුළු චෝදනා ගණනාවක් ඔහුට එල්ල වනු ඇත. පොලිස් ලොක්කන් තමන්ට වූ අපහාසය හෝ කැළල, ඔහු ගෙදර යවා වසාගනු ඇත. මේ වන විට පොලීසිය විසින් අධිකරණයෙන් ඔහු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමටද අවසර ගෙන තිබේ. මේ සිදුවීම් හේතුවෙන් පෙරපාසල් යන දියණියගේ අධ්‍යාපනය මෙන්ම ඔහුගේ පවුලේ අනාගතයට වන හානියද සුළු-පටු නැති බව අමුතුවෙන් පැවසිය යුතු නැත.
පොලිස් නිලධාරියාද මේ සම්බන්ධව මීට වඩා බුද්ධිමත් ආකාරයට කටයුතු කරන්නට තිබුණු බවට කිසිදු විවාදයක් නැත. තමාට වූ අසාධාරණය ඔහුට කළුතර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කරන්නට තිබුණේය. එසේත් නැත් නම් පොලිස් කොමිසමට පැමිණිලි කරන්නට තිබුණේය.
නීති අවකාශය තුළ පවතින ඒ අවසරයන් භාවිත නොකොට, ගිනි අවියක් ගෙන ඔහු සිදු කළ මේ අමනෝඥ හරඹය නිසා තවමත් පාසල්වත් නොගිය දැරියට පවා සිදු වූයේ අගතියක් පමණි.
තාරක වික්‍රමසේකර
0 Comments