අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් පිල ඊයේ සමත් විය.
6වැනි වරට පැවැති මේ තරගාවලියේ ඉන්දියාව ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙය විය.
බංග්ලාදේශයේ මිර්පුර්හිදී පැවැති තරගාවලියේ අවසන් තරගයේ ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 144කින් පරාජයට පත්විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා යොවුන් පිලක් ආසියානු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවද මෙය විය.
පසුගියදා ඩුබායිහිදී නිමාවූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවද ඉන්දියාව සතුවිය.
දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 3ක් දැවී ලකුණු 304ක් රැස් කළේය. ලකුණු 305ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 38.4කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160ක් පමණි.
පන්දු 67කදී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 49ක් රැස්කළ නිෂාන් මධුෂ්ක ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.
නවෝද් පණරවිතාන පන්දු 61කදී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 48ක් රැස්කළ අතර පසිඳු සූරියබණ්ඩාර පන්දු 32කින් ලකුණු 31ක්, නායක නිපුන් ධනංජය ලකුණු 12ක් ඉනිමට එක් කළහ. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ හර්ෂ් ත්‍යාගි කඩුලු 6ක් බිඳ දැමීමට සමත් විය.
ඉන්දියාව වෙනුවෙන් යසාෂ්වි ජස්වාල් (85), අනුජ් රවාට් (57), ප්‍රභාසිම්රන් සිං (නොදැවී 65) සහ අයුෂ් බදෝනි (නොදැවී 52) අර්ධ ශතක රැස් කළහ.
යෂාස්වි සහ අනුජ් පළමු කඩුල්ලට පන්දු 151කින් ලකුණු 121ක් එක්කළ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් දරුණු ප්‍රහාරයකට ලක්කළ ප්‍රභාසිම්රන් සහ බදෝනි සිවුවැනි කඩුල්ලට ලකුණු 110ක නොබිඳුණු සබඳතාවක් පිහිටවූයේ පන්දු 55කිනි.
ඔවුන් දෙදෙනා අවසන් ඕවර 5දී ලකුණු 79ක් උදුරා ගත්හ. ප්‍රභාසිම්රන් පන්දු 37කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර බදෝනි හතරේ 2ක් සහ හයේ පහර 4කින් ඉනිම සරසා ගත්තේ පන්දු 28ක් පමණක් වැය කරමිනි.
ඉන්දීය යොවුන් පිල - 304/3යි. (ඕවර 50) යසාෂ්වි ජස්වාල් 85, අනුජ් රවාට් 57, ප්‍රභාසිම්රන් සිං නොදැවී 65 , අයුෂ් බදෝනි නොදැවී 52
ශ්‍රී ලංකා යොවුන් පිල - 160 (ඕවර 38.4) නිශාන් මධුෂ්ක 49, නවෝද් පරණවිතාන 48, පසිඳු සූරියබණ්ඩාර 31 (හර්ෂ් ත්‍යාගි 38/6, සිද්ධාර්ත් දේශායි 37/2)
0 Comments