ලක්ෂිත රසාංජනගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පාසල් ක්රිකට් තරගාවලියේ පළමු කොටස යටතේ කොළඹ වෙස්ලි විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 159ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට කොළඹ නාලන්දා විදුහල සමත් විය.
වෙස්ලි විදුහල් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් නාලන්දා විදුහල පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 6කට ලකුණු 315ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ වෙස්ලි විදුහල් පළමු ඉනිම ලකුණු 107කට සීමාවූ අතර ලකුණු 208ක් පසුපසින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරැඹු වෙස්ලි විදුහලට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවුයේ ලකුණු 49ක් පමණි.
තුන් ඉරියව් දස්කම් දක්වමින් නාලන්දා විදුහලට ජයගෙන ලක්ෂිත රසාංජන නොදැවී ලකුණු 100ක් රැස්කළ අතර පන්දු යැවීමේදී කඩුලු 7ක් (23/4 සහ 19/3) දවා ගැනීමටද සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් චමිඳු විජේසිංහ අර්ධ ශතකයක් (54) සහ කඩුලු 4ක් දවාගත් අතර රවින් ද සිල්වා ලකුණු 50ක් නාලන්දා ඉනිමට එක් කළේය.
නාලන්දා පළමු ඉනිම - 315/6 (ඕවර 79) ලක්ෂිත රසාංජන නොදැවී 100, චමිඳු විජේසිංහ 54, රවින් ද සිල්වා 50 (ෂෙනාල් දංගල්ල 24/2, තෙනුක පෙරේරා 76/2)
වෙස්ලි පළමු ඉනිම - 107 (ඕවර 43.4) කාවින්ද පෙරේරා 26 (ලක්ෂිත රසාංජන 23/4, චමිඳු විජේසිංහ 30/4) සහ දෙවැනි ඉනිම - 49 (ඕවර 26.4) (කවිෂ් මදුරප්පෙරුම 17/3, ලක්ෂිත රසාංජන 19/3)
මොරටු විදුහල කඩුලු 7කින් දිනයි
කොළඹ ලුම්බිණි විදුහල සමග පැවැති පළමු කොටසේ තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට මොරටු විදුහල් ක්රීඩකයෝ සමත් වූහ.
මොරටු විදුහල් පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලුම්බිණි පිල පළමු ඉනිමට ලකුණු 109ක් රැස්කළ අතර මොරටු විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 98ක් පමණි.
ලුම්බිණි විදුහල දෙවැනි ඉනිමට ලකුණු 142ක් රැස්කරමින් මොරටු විදුහලට ලකුණු 154 ඉලක්කය ලබාදුන් අතර එම ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී සපුරා ගැනීමට මොරටු විදුහල් පිලට හැකිවිය.
ලුම්බිණි පළමු ඉනිම - 109 (ඕවර 38.3) ශවිංග ගම්ලත් 31 (විනුර නිපුන් 43/4, රෙෂාන් කවිශ්ක 3/2, නදිත් මිෂෙන්ද්ර 23/2) සහ දෙවැනි ඉනිම - 142 (ඕවර 45.5) රවිෂ්ක විජේසිරි 40 (නදිත් මිෂේන්ද්ර 13/4, එරාක් හංසමාල් 42/4)
මොරටු විදුහල් පළමු ඉනිම - 98 (38.1) මදුෂාන් දිලක්ෂන 63 (රවිෂ්ක විජේසිරි 36/3, ශවිංග ගම්ලත් 9/2, ප්රභාත් මදුසංක 16/2) සහ දෙවැනි ඉනිම - 156/3 (ඕවර 42.3) නිරාජ් කවිශ්ක 51
සන්තුෂ්ගෙන් ශතකයක්
කොළඹ සාන්ත පීතර විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පැවැති පළමු කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත පීතරයෝ කඩුලු 6ක් දැවී ලකුණු 304ක් රැස්කළ අතර මාරිස්ටෙලා පළමු ඉනිම ලකුණු 250කට සීමා විය. රවිඳු ප්රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සාන්ත පීතර දෙවැනි ඉනිම ලකුණු 67කට සීමාවූ අතර තරගය නතර කරනවිට පිළිතුරු ඉනිම ක්රීඩා කරන මාරිස්ටෙලා පිල කඩුලු 5ක් දැවී ලකුණු 83ක් රැස්කර තිබිණි. තරගය සාන්ත පීතර විදුහල් පිටියේදී පැවැත්විණි.
සා.පීතර පළමු ඉනිම - 304/6 (ඕවර 73) සන්තුෂ් ගුණතිලක 104, රන්මිත් ජයසේන 56, භානුක ද සිල්වා 49 (පසිඳු උෂෙට්ටි 72/2) සහ දෙවැනි ඉනිම - 67 (ඕවර 32.3) (රවිඳු ප්රනාන්දු 34/6, පසිඳු උෂෙට්ටි 31/3)
මාරිස්ටෙලා පළමු ඉනිම - 250 (ඕවර 68.1) අෂෙන් ප්රනාන්දු 69 (උවින් සෙනෙවිරත්න 65/4, තාරික් සදූර් 31/3) සහ දෙවැනි ඉනිම - 83/5 (ඕවර 18) (තාරික් සදූර් 24/4)
කවිඳුගෙන් දස්කම්
කුරුණෑගල සාන්ත ආනා විදුහල සහ කොළඹ සාන්ත බෙනඩික් විදුහල අතර පැවැති පළමු කොටසේ තරගයද නිමාවට පත්වුයේ ජය පරාජයෙන් තොරවය.
මේ තරගයේදී සාන්ත ආනා විදුහලේ කවිඳු රණසිංහ තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර සාන්ත බෙනඩික් විදුහලේ පසන් සුවහස් ලකුණු 97ක් රැස්කර තිබිණි.
සා.ආනා පළමු ඉනිම - 191 (ඕවර 82.5) කවිඳු රණසිංහ නොදැවී 88 (මලින්ද පෙරේරා 28/3, කවීෂ ජයතිලක 57/3, සනෝජ් පෙරේරා 23/2) සහ දෙවැනි ඉනිම - 28/1 (ඕවර 18)
සා.බෙනඩික් පළමු ඉනිම - 306/7 (ඕවර 90) පසන් සුවහස් 97, විහඟ රුවනාරන් නොදැවී 52 (කවිඳු රණසිංහ 76/3)
0 Comments