Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මීටර් 100 රන්-රිදී-ලෝකඩ පදක්කම් ලක්මවට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පැවැති ජාකර්තා ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ පැවැති දණහිසෙන් පහළ පාදයක් අහිමි හෝ පාදය අප්‍රානික ක්‍රීඩකයන් සහභාගීවූ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී අමිල ප්‍රසන්න රන් පදක්කම (තත්. 12.56), ඉන්දික චූලදාස රිදී පදක්කම (තත්. 12.87) සහ සුරංග කීර්ති බණ්ඩාර ලෝකඩ පදක්කම (තත්. 12.92) දිනා නැවතත් කෙටි දුර ධාවනයේ ආධිපතය පතුරවති. මෙය ආසියානු පැරා ක්‍රීඩා නව වාර්තාවක් වීමද විහේෂත්වයකි. මෙහි පැරණි වාර්තාව ජපානයේ යමමෝටා හට්සුහාරී 2015දී දෝහා කටාර්හීදී තත්පර 12.61කින් පිහිටුවා තිබිණි.

පෙරේදා දිනයේ මීටර් 200 පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකා මාතාවට රන් පදක්කමක් දිනාදුන් අමිල ප්‍රසන්න වර්ණකුලසූරිය මේ ක්‍රීඩා උළෙලේ හිමිකරගත් දෙවැනි රන් පදක්කම මෙයවූ අතර ඉන්දික චූලදාස දෙවැනි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවේය.

පාදයක් අහිමිවීම හෝ පාදයේ දිග වෙනස්වීම (T44, T62/64) මත වර්ගීකරණයවූ මීටර් 100 මූලික තරග වටයට එක්වූ දුමීර මධුරංග තත්පර 12. 03කින් හා ගාමිණී නුවන් ඉන්දික තත්පර 11.99කින් අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර අජිත් ප්‍රසන්න කුමාර තත්පර 12.27ක්වී අවසන් වටයට සුදුසුකම් නොලැබීය.

දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලේ දිග වෙනස්වීම, කකුලක් අප්‍රාණිකවීම කාණ්ඩයෙන් (F43 /44 F 62 - 64) පිරිමි කවපෙත්ත විසි කිරීමට එක්වූ සම්පත් චමින්ද හෙට්ටිආරච්චි මීටර් 33.10කින් 8වැනි ස්ථානයට පත්විය. හෙතෙම හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පළමු දිනයේදී රිදී පදක්කමක් දිනාදීමට සමත් විය.

එක් අතක් අහිමි හෝ වැලමිටට ඉහලින් ආබාධ සහිත (T45/ 46/ 47) මීටර් 200 පිරිමි ඉසව්වේ අවසන් තරගයට සහභාගීවූ ප්‍රදීප් සෝමසිරි (තත්. 23.12) පස්වැනි ස්ථානයට හා සමන් මධුරංග ( තත්. 23. 17) හයවැනි ස්ථානයට පත්වීමෙන් පදක්කම් අහිමිවී ගියහ. එහි රන් පදක්කම චීනයේ වෑන්ග් හෝ තත්පර 21.71කින් දිනා ගත්තේය. එම කාණ්ඩයේම මීටර් 200 කාන්තා අවසන් තරගයට එක්වූ අමරා ඉන්දුමතීට ද එම ඉසව්වේ පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූයේ පස්වැනි ස්ථානයට තරගය නිම කිරීම හේතුවෙනි. රන් පදක්කම දිනූ චීනයේ ලී ලූ තත්පර 25. 82කින් තරගය නිම කරද්දී අමරා තත්පර 27. 96ක කාලයක් ගත කළාය.

එක් අතක් අහිමි හෝ වැලමිටට ඉහලින් ආබාධ සහිත (T45/ 46/ 47) මීටර් 100 පිරිමි මූලික වටයේ තරගයකදී ප්‍රදීප් සෝමසිරි තත්පර 11. 74කින් තරගය නිම කිරීම හේතුවෙන් අවසන් වටයට අහිමිවී ගියේය.

ටේබල් ටෙනිස් අවසන් පූර්ව වටයට පිවිසි දිනේෂ් දේශප්‍රිය වට 3-2ක් ලෙස චීනයේ කොන්ග් වෙයිජී හමුවේ පරාජය වූ අතර ලකුණු තත්ත්වය වූයේ 5-11, 11-7, 11-7, 5-11 හා 11.7ක් ලෙසය. පැරා සවි එසැවීමේ කිලෝග්‍රෑම් 49ට වැඩි බර පන්තියේදී සුසිල් ප්‍රියන්ත ගමගේ උත්සහායන් තුනම අසාර්ථකවී තරගයෙන් ඉවතට ගියේය. දණහිසට පහළින් කකුලක් අහිමිවීම හෝ අප්‍රානික ක්‍රීඩකයන් සහභාගීවූ මීටර් 100 නිදහස් ආර (S 10) අවසන් තරගයේදී සුපුන් විදුරංග විනාඩි 1:12.17කින් 7වැනි ස්ථානයට පත්විය. එහි රන් පදක්කම දිනාගත් ඉරානයේ සාහීන් ඉසෙඩියා තත්පර 57.15කදී තරගය නිම කළේය.දෑස් අන්ධ පිරිමි ඒකළ 6වැනි වටයේ චෙස් තරගයකදී සමන් දුෂ්‍යන්ත කුමාර 1-0කින් තිමෝරයේ මාටිනස් ඩූ පරාජය කළ අතර එම කාණ්ඩයේම සමන් දුෂ්‍යන්ත කුමාර පිලිපීනය හමුවේ හා අර්ධ පෙනීම ඇති කාණ්ඩයේ තරගයකදී මොහොමඩ් කාසීම් ඉන්දුනීසියා ක්‍රීඩකයා හමුවේ 1-0ක් ලෙස පරාජයට පත්වූහ.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහන අනුව චීනය රන් පදක්කම් 52ක්, රිදී පදක්කම් 23ක් හා ලෝකඩ පදක්කම් 23ක් ගෙන ඉදිරියෙන්ම සිටින අතර කොරියාව රන් පදක්කම් 20ක් රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 6ක් ගෙන දෙවැනි තැනට පත්ව ඇත. උස්බෙකිස්තානය රන් 14ක්, රිදී 5ක් හා ලෝකඩ 3ක් ගෙන තෙවැනි තැනට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් ගෙන පදක්කම් සටහනේ 15වැනි ස්ථානයේ රැදී සිටී. අසල්වැසි ඉන්දියාව රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 12ක් ගෙන 9වැනි ස්ථානයට පත්ව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();