Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බලන හැම පොතම ආසාවෙන් කියවනවා - අඛිල ධනු­ද්දර

සිරි පැරකුම් සිනමා පටයෙන් සිනමාවට පිවිස ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් අඛිල ධනුද්දර වර්තමානයේ තරුණ රංගන ශිල්පීන්ට අභියෝගාත්මක රංගන ශිල්පියෙකි. තම පියාගේත්, මවගේත් අඩිපාරේ යමින් රංගනයේ නව ඉසව් කරා පියනගන මේ ජනප්‍රිය රංගන ශිල්පියා රංගනයට මෙන්ම නිවේදනයටත් එක සේ දස්කම් දක්වයි. ශ්‍රී වික්‍රම රාජසිංහ, සාලිය අශෝකමාලා සිනමාපට මෙන්ම රිදී මලක්, හංස දඩයම, සරු දේව, ටෙලි නාට්‍යයන්හි අඛිලගේ රංගනය ඉදිරියේදී දැකගත හැකියි. මේ අඛිල 'හදට දැනෙන ප්‍රශ්න දහය'ට පිළිතුරු දුන් අයුරුයි.
පුංචි කාලයේ සිටම හීන මැව්වේ කවුරු වෙන්නද?
පුංචි කාලයේ පටන්ම මගේ හීනය වුණේ ව්‍යාපාරිකයෙක් වෙන එක. ඒ නිසාමයි පාසලේදි උසස් පෙළට ව්‍යාපාර අධ්‍යයනය හැදෑරුවේ. මගේ අම්මා සහ අප්පච්චි කලාවට සම්බන්ධවී සිටීම නිසා නිතර දෙවේලේ අසන්න දකින්න ලැබුණේ කලාවට අදාළ සිදුවීම්. ඒ නිසා මට කලාව අලුත් දෙයක් වුණේ නැහැ. ඒ නිසා වෙන්න ඇති ව්‍යාපාරික පැත්තට යන්න හීන මැව්වේ. නමුත් නොසිතූ පරිදි මාත් මගේ පවුලේ අනෙක් අය මෙන්ම කලාවට යොමුවුණා.

රංගන ශිල්පියෙකු වීම ගැන තෘප්තිමත්ද?
රංගන ශිල්පියෙක් වීම ගැන බෙහෙවින් ම තෘප්තිමත්. 'දිගු දෑස' වීඩියෝ තැටියෙන් සහ සිරි පැරකුම් සිනමා පටයෙන් තමයි රංගන ශිල්පියකු ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබුණේ. මුල් කාලයේ කලාවට අකැමැත්තක් තිබුණත් දැන් මට තේරෙනව ඇයි මගේ දෙමවුපියන් කලා ක්ෂේත්‍රය තෝර ගත්තේ කියල. එයට හේතුව කලාකරුවකුට ලැබෙන ජනතා ආදරය වෙනත් වෘත්තියක නියැළීමෙන් නොලැබෙන එක. ඒ නිසා මේ වෘත්තිය තෝරා ගැනීම ගැන සතුටු වනවා.

ඔබ වඩාත් කැමැත්තෙන් කියවපු, මතකයේ රැඳුණු පොත මොකක්ද?
මම මොන පොත බැලුවත් ඒක අවසන් වනතුරුම ඉතා ආසාවෙන් කියවනවා. කාලෙන් කාලෙට කියවපු පොත් මතකයේ තිබෙනවා. පසුගිය කාලයේ ඉතා ආසාවෙන් කියවපු පොත තමයි පරිවර්තන කෘතියක් වන 'කොලරා කාලෙ ආලෙ' කියන පොත. එහි වියපත් දෙදෙනකුගේ ආලවන්ත බැඳීමත් එය ඒ ඒ අවධීන් හිදි වෙනස්වන අයුරුත් ඉතා අලංකාර ලෙස දක්වා තිබෙනවා. මේ දවස්වල අනාගතය ගැන වැඩි වශයෙන් සිතා වෙහෙසෙන නිසා ඒ පොත මට ඉතා වැදගත් වුණා.

ඔබ කැමැතිම සිනමා පටය?
කාලෙන් කාලෙට මා සිත්ගත් චිත්‍රපට විවිධයි. කාලයක් සටන් ජවනිකා තිබෙන චිත්‍රපටවලට කැමැත්තක් තිබුණා. ඉන් පසුව ආදර ජවනිකා තිබෙන චිත්‍රපටවලට. දැන් නම් වඩාත් කැමැති හොඳ තේමාවක් රැගත් චිත්‍රපටවලට. නමුත් මගේ සිතේ හැමදාමත් රැඳී තිබුණු චිත්‍රපට දෙක තමයි 'භව දුක' සහ 'භව කර්ම'. එයට හේතුව මගේ අප්පච්චි එම චිත්‍රපට දෙකේම අවසානය තෙක් නොමැරී ජීවත්ව සිටින චරිතයක් නිරූපණය කළනිසා. මගේ මතකයේ හැටියට මම අට වසරේ ඉගෙන ගන්න කාලයේ තමයි භව දුක ප්‍රදර්ශනය වුණේ. ඒකෙ අප්පච්චි නැට්ටුක්කාරයෙක් ලෙස ඉතා අපූරු ලෙස රඟපෑවා. භව කර්ම චිත්‍රපටයත් අවසන්වුණේ අප්පච්චි ජීවතුන් අතර සිටින දර්ශනයකින්. ඒ නිසා එම චිත්‍රපට දෙකම මගේ සිත් ගත්තා.

කැමැතිම රංගන ශිල්පියා, ගායකයා සහ ගායිකාව..
හියු ජැක්මන් රංගන ශිල්පියාට කැමැතියි. ඒ වගේම මා කැමැතිම ගායකයා රූකාන්ත ගුණතිලක . සිරස සුපස්ටාර් වැඩසටහනට ශිහාන් මිහිරංග තරග කළ කාලෙ ඔහු කියන ගීත කාගෙදැයි සොයන විට එම ගීත රූකාන්තගේ බව දැනගත් දා සිට රූකාන්ත ගුණතිලකයන් මගේ ප්‍රියතම ගායකයා වුණා. කැමැතිම ගායිකාව රෝලන්ඩ් ඉන්ඩියාස්. ඇයගේ ගීතවලටත් මම රුචි කරනවා.

තවත් කෙනෙක් කරනවට අකැමැතිම දෙය..?
මම තව කෙනෙක් කරනවටත්, කියනවටත් අකැමැතිම දෙය බොරුව. මට මිනිහකුගේ පෙනුම දෙස බැලූ විටත් ඔහුගේ හැසිරීම් දෙස බැලූවිටත් ඔහු හෝ ඇය කරන්නෙ ඇත්තක්ද, බොරුවක්ද කියන එක තේරුම් ගත හැකියි. ඒ දැනුම අපිට පුංචි කාලෙ සිටම අප්පච්චි ලබා දුන්නා. කවුරු හෝ කෙනෙක් බොරුවක් කියනවානම් හෝ බොරුවක් කරනවානම් මම ඒ පුද්ගලයාට නොදැනෙන්න ඔහුව මගේ ඇසුරෙන් හලනව. ඔවුන් සමග ඇසුරු කරන්න මම කැමැති නැහැ. එය තමයි මම දෙන දඬුවම.

රංගන ශිල්පියෙක් ලෙස සමාජයට දෙන ආදර්ශය මොකක්ද?
මට කියන්න තියෙන්නේ තමන් කරන දේ හරියට කරන්න. තමන්ට ගැළපෙන දේ තෝරාගෙන අඛණ්ඩව කරන්න. සැලසුම් සහගත වෙන්න, සූක්ෂ්ම වෙන්න, මහන්සි වෙන්න, එවිට සමාජයෙන් අපට ඉබේටම පැසසුම් ලැබෙයි.

ඔබ රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..?
රටේ සෑම ක්ෂේත්‍රයක්ම කොනක ඉඳන් හරියට හදනවා. විශේෂයෙන් කළමනාකරිත්වය වගේම මානව සංවර්ධනයට මොනවද කරන්න ඕනෑ කියල හිතනවා. ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරනවා.

වැඩිපුරම සංචාරය කරන්න කැමැති..?
මම ඕනෑම තැනකට යන්න රුචි කරනවා වගේම ඒ ඕනෑම ස්ථානයක් විඳින්නත් හැකියි. එය මේ රටේ වුණත් ලෝකයේ වුණත් ඕනෑම තැනකට පොදුයි.

ජීවිතයේ වැරැදුණ තැන්වලදී ළඟින්ම හිටියේ..?
දෙමවුපියන්. ඒ අය අපිට වැරැදුණහම තවත් කෙනකුට අපිට පිහිට වෙන්න ඉඩ තියන්නෙ නෑ. ඒ තරමටම අපිට ආරක්ෂාව දෙමින් අප රැක බලා ගන්නවා. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();