අල්ගම දිය ඇල්ල නිසා තමයි මේ ප්‍රදේශය මුලින්ම ජනප්‍රිය වෙන්නේ. අපේ රටේ අයට ගඟේ නානවා කියන දේ ඒතරම් අරුමයක් නෙමෙයි. ඒත් ස්වාභාවික පරිසර පද්ධතියක (කැලෑවක) ඇවිදිනවා කියන එක, කඳු නැගීම, දිය ඇල්ල සමඟ පහළට ගලා යන දිය පාර දිගේ ගල්වලින් බැසගෙන යන්නට හැකි ත්‍රාසජනක ගමනක අත්දැකීම විඳගන්නඑක ඇත්තටම අමුතු දෙයක්. එයින් ජීවිතයට එකතු කරගන්න පුළුවන් අගය වැඩියි. පරිසරයට ආදරය කරන එක, කායික මානසික නිරෝගිකම, සතා සිව්පාවා ගහකොළ ඇසුරේ සිත්වලට දැනෙන සහනය මේ වගේ ගොඩක් දේවල් මේ මඟින් ලැබෙනවා.
මිනිසා කොතරම් දියුණු වුවත් සොබා දහම අභිභවා යන්නට නොහැකිය. එයට හේතුව මිනිසාද සොබා දහමේම විස්මිත නිර්මාණයක් බැවිනි. ඒ නිසා ගහ කොළ, ඇළ දොළ ගංගා ඇතුළු සමස්ත පරිසරයම රැක ගැනීම මඟින් මිනිසාට සුව ජීවනයක් ලැබිය හැකිය. බුදු රජාණන් වහන්සේ තමන්ට බුදුවීමට සෙවණ දුන් ඇසතු බෝරුකට දින හතක් ඇසිපිය නොහෙළා අනිමිස ලෝචන පූජාවෙන් ගෞරව දැක්වූයේද ඒ නිසාය. එහෙත් වර්තමානයේ සමහරු ඉතා පටු ලාභ ප්‍රයෝජන උදෙසා ගහ කොළ සතා සව්පාවා විනාශ කිරීමට කටයුතු කරති.
එවන් වූ මිනිසුන් අතරේ පරිසරයට ගහට කොළට ආදරය කරමින් එම පරිසරය රැක ගනිමින් පරිසරයට ආදරය කරන්නට අන් අයට කියා දෙන්නට උත්සාහයක් දරන අපූරු දිරිය තරුණයෙක් අපට හමුවිය. මුහුණු පොත තුළින් ඔහු මේ පරිසරය විඳීම ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නට කටයුතු කර ඇති අතර අද වනවිට පරිසරයට ආදරය කරන දේශීය මෙන්ම විදේශිකයෝ පවා ඔහු සොයා එති.
සමීර රංගන නන්දසිරි නම් මේ දිරිය තරුණයා හමුවන්නට අප තීරණය කළේ මෙවැනි සොඳුරු අත්දැකීම් විඳින්නට කැමැති පරිසරයට ආදරය කරන රසඳුන පාඨක ඔබ වෙනුවෙනි.
මුහුණු පොතෙන් ලද හෝඩුවාවට අනුව SRI CRAFT VIILLEGE නම් මේ සොඳුරු පරිසර පද්ධතිය පිහිටා ඇත්තේ අල්ගම ප්‍රදේශයට පසුගියදා අප ‘ගත සිත නිවනා සොඳුරු සැරිසර‘ චාරිකාව ආරම්භ කළෙමු.
අප රැගත් වාහනය නිට්ටඹුවෙන් අත්තනගල්ල පාරට හැරී වේගයෙන් ඉදිරියට ඇදෙයි. පාර දෙපස නවීන පන්නයේ නිවාස, වෙළෙඳ සල් බොහෝ ප්‍රමාණයක් ඉදිකර තිබේ. සැබැවින්ම අතීතයට සාපේක්ෂව ඉතා වේගයෙන් සංවර්ධනය ගමට පැමිණ ඇති නිසා මේ දියුණුව දැකිය හැකිය. ඒ නිසා අපේ ගමනාන්තයේ මෙවැනි සොඳුරු පරිසරයක් තිබිය හැකිද? යන පැනය මගේ සිතට නැගුණි. රියැදුරු සමීර වෑන් රථය අත්තනගල්ල පන්සල පසුකර වමට හරවා පස්යාල පාරට ගෙන වේගය වැඩි කළේය.
තව කිලෝමීටර 2 කින් පමණ හමුවන හග්ගල්ල හන්දියෙන් දකුණට හැරී අල්ගම දක්වා ගමන් කළ යුතුය. එම දුර කිලෝ මිටර් හතරක් පමණය. තවමත් අප සිටින්නේ නාගරිකකරණයට ලක්වූ පරිසරයක බව පෙනේ.
අල්ගම හන්දිය පසුකර මීටර් 200 ක් පමණ ගියවිට දකුණු පසට වන්නට හමුවන අල්ගම ප්‍රාථමික පාසලට හැරෙන්නට ඇති පාරට හැරී කිලෝමීටරයක් පමණ ගමන් කළ යුතුය. මෙම පාර තාර යොදා සකස් කර ඇති නමුත් තරමක් දුෂ්කරය. මෙම පාරට හැරී මද දුරක් යද්දීම දෙපස හමුවන වෙල්යයාත්, ගල්කුළු ඇතුළු ගහකොළත් නිසා පරිසරයේ වෙනස්වීම පැහැදිලිය අත්විඳිය හැකිය. SRI CRAFT VIILLEGE හිමිකරු සමීර අප එනතුරු පෙරමඟ බලා සිටී.
‘‘මගේ නම සමීර රංගන නන්දසිරි. මේ මම ඉපදුණු මගේ ගම. මගේ ආසාව තිබුණේ කුඩා කාලයේ ඉඳලම මේ වගේ දෙයක් කරන්න. නමුත් මේ හොටේල් පැත්තට යොමුවෙනවාට ගෙදරින් කැමැති වුණේ නැහැ. ඒ නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා විවිධ රැකියා ගණනාවක්ම කළා. ඒ අතර විවාහ වුණා.
බැඳලා දරුවාත් ඉපදුණාටත් පස්සෙ මට හිතුණා අභියෝගයක් විදියට මේ දේ කරන්න. ඒකට හේතුව විශේෂයෙන් මට ඕන වුණා අපේ ගමේ තිබෙන මේ පරිසරය, සුන්දරත්වය පරිසරය විඳින්න කැමැති අපේම අයට පෙන්වන්න. ඒ සමඟම මේ අපුරු පරිසරය ලෝකයට ගෙනියන්න.‘‘
ශ්‍රී ක්‍රාෆ්ට් විලේජ් කියන නම තරමක් අමුතුයි එය පරිසරය හා බද්ධ වන්නේ කොහොමද මේ පැනය මම සමීරට යොමු කළෙමි.
‘‘ශ්‍රී (SRI) කියන්නේ අපේ ලාංකේය අනන්‍යතාව. මගේ අම්මා රූපා කුමාරසිංහ. ඇය අත්කම් ශිල්පිනියක්. ලංකාවේ ජාතික මට්ටමේ සම්මාන ගණනාවක් දිනාගත් කෙනෙක්. ඒ වගේම ජාත්‍යන්තර තරග වලට ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා. ඉතින් විදේශිකයින්ට අපේ රටේ අත්කම් නිර්මාණ වල වටිනාකම පහදා දෙන්න අම්මාගේ අත්කම් පැත්ත සම්බන්ධ කරන්න හිතුවා. ඒ නිසා ‘ක්‍රාෆ්ට්‘ (CRAFT) නමත් ගම යන අර්ථය දෙන්න විලේජ් (VIILLEGE) නමත් භාවිතා කළා.
මගේ තාත්තා යුද හමුදාවේ සේවය කරලා පසුව ඕමාන් නාවික හමුදාවට සම්බන්ධ වුණා. ඒ වගේම කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරලා තිබෙනවා. ඉතින් කුඩා කාලයේ මේ සංචාරක ව්‍යාපාරය හොඳයි කියන දේ තාත්තා නිසා මම දැනගෙන හිටියේ.
ඒ සමඟම මම රැකියාව කරන අතර මේ ගැන සමීක්ෂණයක් කළා. යුද්ධයෙන් පස්සෙ ලංකාවේ වැඩියෙන්ම නැගල යන බිස්නස් එක තමයි මේ සංචාරක ව්‍යාපාරය. මම අලුත් විදියට අලුත් පැත්තකින් පටන් ගත්තා. ‘‘
අල්ගම අයිතිවෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට වුණත් පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මායිමේ. කටුනායක ගුවන් තොටුපොළේ සිට තියෙන්නේ කිලෝමිටර් 39 යි. පැයකට අඩු කාලයකින් එන්න පුළුවන්. කොළඹ ඉඳලා කිලෝමීටර් 51 යි. නිවාඩු දවසක පැයකින් එන්න පුළුවන්.
කොළඹ සිට එනවා නම් කොළඹ නුවර පාරේ නිට්ටඹුව නගරයෙන් දකුණට ඇති අත්තනගල්ල පාරට හැරී අත්තනගල්ල පන්සල අසලින් වමට ඇති පස්යාල පාරට එන්න ඕන. පස්යාල පාරේ කිලෝමිටර් 2 ක් පමණ පැමිණෙන විට හග්ගල්ල හන්දිය හමුවේ.
මෙතැනින් දකුණට හැරී කිලෝමීටර් 3 ක් පමණ එන විට අල්ගම හන්දිය හමුවේ. අල්ගම හන්දිය පසුකරන විට දකුණට ඇති අල්ගම ප්‍රාථමික විද්‍යාලය පාරේ කිලෝමීටරයක් පමණ ගිය විට ශ්‍රී ක්‍රාෆ්ට් විලේජ් හමුවේ.
අක්කර ගණනාවක රබර් වගාවක් සමඟ ඇති ස්වාභාවික තුරු සෙවණක මෙහි කුඩා කුටි ඉදිකර ඇත්තේ බ්ලොක් ගල් වලිනි. පසුව ඒවා මැටි පිරියම් කර වහල පොල්අතු වලින් හෙවිල්ලා ගැමි ගෙදරක ස්වරූපය ගෙන තිබේ.
සැබැවින්ම මෙම කුටියක ඇති සිසිලස ගතට සුවදායකය. වැඩි පිරිසකට වාඩිවිය හැකි ලෙස තනා ඇති කුටිය තරමක විශාලය. එහි වාඩිවිීමට ඇති බංකු දෙකට පන් පැදුරු එළා තිබේ.
අප එහි ළඟා වූ සැණින් මෙහි සේවය කරන සංඛගෙන් අපට ලැබුණේ උණුසුම් බෙලිමල් පානයකි. දුම් දමන බෙලිමල් වතුර පොල් කටුවකට දමාගෙන හකුරු කැබැල්ලක් හපමින් පානය කරන විට දැනෙන මිහිර සැබැවින්ම විදේශීය සංචාරකයන්ට පමණක් නොව දේශීය අපටද දිව ඔසුවක් සේ දැනුණේය.
‘‘කොළඹ අවට අයට විඩාපත් බව අමතක කරලා ස්වාභාවික පරිසරට සමඟ පැය කිහිපයක් ගත කරලා ගමේ විදිහට කෑම ටිකක් කාලා යන්න පුළුවන් විදියට තමයි මෙතැන සකස් කරලා තියෙන්නේ.
අල්ගම දිය ඇල්ල නිසා තමයි මේ ප්‍රදේශය මුලින්ම ජනප්‍රිය වෙන්නේ. අපේ රටේ අයට ගඟේ නානවා කියන දේ ඒතරම් අරුමයක් නෙමෙයි. ඒත් ස්වාභාවික පරිසර පද්ධතියක (කැලෑවක) ඇවිදිනවා කියන එක, කඳු නැගීම, දිය ඇල්ල සමඟ පහළට ගලා යන දිය පාර දිගේ ගල් වලින් බැසගෙන යන්නට හැකි ත්‍රාසජනක ගමනක අත්දැකීම විඳගන්න එක ඇත්තටම අමුතු දෙයක්.
එයින් ජීවිතයට එකතු කරගන්න පුළුවන් අගය වැඩියි. පරිසරයට ආදරය කරන එක, කායික මානසික නිරෝගිකම, සතා සිව්පාවා ගහකොළ ඇසුරේ සිත්වලට දැනෙන සහනය මේ වගේ ගොඩක් දේවල් මේ තුළින් ලැබෙනවා.
ඉතින් අපේ අරමුණ වුණේ කාර්ය බහුල ජීවිත ගතකරන, ඒ නිසාම මානසික ආතතිය වගේ දේවලින් පෙළෙන අයට, පරිසරයට සොබා දහමට ගරු කරන ආදරය කරන එහෙත් ඒ සඳහා අවස්ථාවක් තැනක් නැති ඒකට අවස්ථාව ලබා දෙන්නයි.
ඒ විතරක් නෙමෙයි අපේ අනාගත පරම්පරාවට මේවායේ වටිනාකම කියලා දෙන්න ඕන. මේ හයික් එකක යන පොඩි දරුවන් අනාගතයේ තනිවම තීරණ ගන්න, අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ආකාරයට ගොඩනැගෙනවා. ‘‘
අපට අපේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න තිබෙන්නේ මේ ස්වාභාවික පරිසරයත්, බුදු දහමේ හරයත්, අපේ අතීත ශ්‍රී විභූතියත් කියන දේවල් පමණයි. ඒ නිසා මෙහි එන දේශීය අයටත් විදේශීය අයටත් පරිසරය විඳින අතර අවශ්‍යනම් භාවනා කරන්නත් පහසුකම් අපි සලසලා දෙනවා.
කතාබහ අතර තුරේ සංඛ අපට තැම්බූ මඤ්ඤොක්කා, සමඟ කොච්චි ලුණු මිරිසක් රැගෙන ආවේය.
‘‘මඤ්ඤොක්කා කෑල්ලක් කමු. තව ටිකකින් අපිට කැලේ මැද්දෙන් ලොකු ගමනක් යන්න තියෙනවා.‘‘
සමීර අද දවසේ ඇති සැලැස්මේ මීළඟ අදියර ගැන ඉඟියක් කරමින් අපට කෑමට ආරාධනා කළේය.
ලබන සතියේ කැලේ ඇතුළේ පැය හතරක ගමනකින් පසු නිල්වලාගල කඳුමුදුනට...
0 Comments