Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජවිපෙ රට බෙදන ගිවිසුම්වලට කිසිදා සහාය දෙන්නේ නැහැ – විජිත හේරත්.

Vijitha_Herath

බොරු ප‍්‍රචාරවලට රැවටෙන්න එපා කියලා  ජනතාවගෙන් ඉල්ලන බවත් ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් රට බෙදන ගිවිසුම්වලට කිසිදා සහාය දෙන්නේ නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අද (06) පැවති, මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා,

එක පුද්ගලයෙක් සතු ඒකාධිපති විධායක බලතල ඉවත්කොට රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතුව තිබෙනවා. විධායක ජනාධිපතිධුරය ඇතිකරලා ව්‍යවස්ථාව හඳුන්වාදෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ එයට විරෝධය දැක්වූවා. ඉන්පසුවත් විධායක ජනාධිපතිධුරයට එරෙහිව විවිධ කි‍්‍රයාමාර්ග ගත්තා. එහි අවසන් කි‍්‍රයාමාර්ගයක් විදිහට තමයි අපි විසින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ. පසුව එය අපි පාර්ලිමේන්තුවට භාරදුන්නා. කථානායකවරයා විසින් එය නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශ සහිතව 2018 ජූලි මාසයේ 06වැනිදා ගැසට් පත‍්‍රයක් ලෙස නිකුත් කළා. ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එය න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලෙසත් සුදුසු දිනයක් ලබාදෙන ලෙසත් අපි කථානායකවරයාගෙන් ඉල්ලූවා. පසුව පසුගිය 05වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබුණා. එලෙස පූර්ව දැනුම්දීමකින් පසුව තමයි අපි මෙය පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළා.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ඉතාමත් සතුටු වෙනවා 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කිරීම අනුමත වීම ගැන. මින් පසුව තිබෙන්නේ එම සංශෝධනය කථානායකවරයා විසින් විෂය භාර ඇමතිවරයාට යොමු කිරීමයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු ඇමතිවරයෙක් නැහැ. එනිසා එය යොමුකළ යුතු වන්නේ ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස අගමැතිවරයා වෙතයි. පසුව මාස 06ක කාලයක් ඇතුළත ආණ්ඩුවේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුව තිබෙනවා. අවශ්‍ය නම් ආණ්ඩුවට පුළුවන් සති දෙකකින් හෝ මාසයකින් තමන්ගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. කාලය තීරණය වෙන්නේ ආණ්ඩුව මතයි. කෙසේ වෙතත් මාස 06ක් ඇතුළත ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමෙන් පසුව මෙය පාර්ලිමේන්තුවේ තුන්වැනි වර කියවීම සඳහා ඉදිරිපත් කළ යුතු අතර එය පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරගත යුතුව තිබෙනව.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා, මෙම කෙටුම්පත සඳහා 2/3 බහුතරය ලබාගැනීම සඳහා නිල වශයෙන් පක්‍ෂ සමඟ සාකච්ඡුා කරන්න. ඒ අතර මෙම සංශෝධනය සම්බන්ධයෙන් මන්තී‍්‍රවරුන්ගෙන්, පක්‍ෂවලින් යෝජනා අදහස් අපි බලාපොරොත්තු වෙනවා. එම ඉදිරිපත් වන යෝජනා අදහස් සලකා බලා ඊට අනුව පනත සංශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිටත් මන්තී‍්‍රවරුන් සමඟ විවිධ අවස්ථාවල මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්න අපට හැකිවුණා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්මත කරගැනීමට හැකිවුණේ. කෙසේ වෙතත් මේ සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පාර්ශ්ව සමඟ සාකච්ඡුාවක් අවශ්‍යයි. අපි මෙම පනත ගෙනාවේ පුද්ගලයෙකු ගැන හෝ පක්‍ෂයට වාසි-අවාසි ගැන හිතලා නෙවෙයි. මෙහි ප‍්‍රධාන අරමුණ අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමයි. විධායක ජනාධිපතිධුරය භාවිතා කරලා මේ රටට සිදුකර තිබෙන විනාශය ඕනෑවටත් වඩා අපි අත්විඳලා තිබෙනවා. මැතිවරණ කල් දැමීම, ඡුන්ද කොල්ලකෑම්, හොරුන්, දූෂකයින්ට ජනාධිපති සමාව දීම වැනි අශිෂ්ට දේවල් විධායක බලතල පාවිච්චි කර සිදුකරමින් තිබෙනවා. ඒ නිසා අපේ රට තුළ ශිෂ්ටත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කළ යුතුයි. එම සද් චේතනාව මුල්කරගෙන තමයි අපි මේ යෝජනාව ගේන්නේ.

මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී මාධ්‍ය මගින්ද ඇතැම් වැරදි තොරතුරු ප‍්‍රචාරය වුණා. මෙම සංශෝධනයන් මගින් ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයාට පැවරෙන්නේ නැහැ. සිදුවෙන්නේ ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට සහ ව්‍යවස්ථා සභාවට විමධ්‍යගතවීමයි. රට බෙදන, රට කඩන කිසිදු වගන්තියක් 20වැනි සංශෝධනයේ අඩංගු වෙන්නේ නැහැ. එනිසා රටට ආදරය කරන කිසිවෙක් මේ සම්බන්ධයෙන් බිය යුතු වන්නේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට සහතික වෙනවා රටට අහිතකර කිසිවක් මෙම සංශෝධනයෙන් සිදුවෙන්නේ නැහැ කියලා.

මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා 2/3ක් අවශ්‍යයි. එනිසා මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කණ්ඩායමේත් ජනාධිපතිවරයාගෙත් එක්සත් ජාතික පක්‍ෂයේත් දෙමළ ජාතික සන්ධානයේත් ඊ.පී.ඞී.පී. පක්ෂයේත් සහයෝගය අවශ්‍ය වෙනවා. මන්තී‍්‍රවරුන් 225ම සහාය නැතත් බහුතර මන්තී‍්‍ර පිිරිසකගේ සහාය මේ සඳහා අවශ්‍ය වෙනවා. එය ලබාගත හැකි බව විශ්වාසයක් අපට තිබෙනවා. අපේ රටේ බහුතර ජනතාවකගේ අපේක්‍ෂාවක් තිබෙනවා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතු බව. ජනතාවගේ එම අපේක්‍ෂාව ඉටුකිරීම දේශපාලනඥයින්ගේ වගකීමක් වෙනවා. පළමු පියවරේ ජයග‍්‍රහණය ලබාගත්තා සේම මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා උපරිම වශයෙන් අපි මැදිහත් වෙනවා. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා නොගෙන මෙය සම්මත කරගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා බොරු ප‍්‍රචාරවලට රැවටෙන්න එපා කියලා. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් රට බෙදන ගිවිසුම්වලට කිසිදා සහාය දෙන්නේ නැහැ. මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහාද අපි සූදානමින් ඉන්නවා. ජනතාවගේ වටිනා ඡුන්දය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලනවා. මෙය ජවිපෙ කි‍්‍රයාමාර්ගයක් පමණක්ම නොවෙයි. මෙහි වාසි ලැබෙන්නේ රටේ ජනතාවටයි. එම නිසා මෙය සම්මත කරගැනීමට සහාය වීම ජනතාවගේ යුතුකමක් ලෙසයි අපි සලකන්නේ යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විජිත හේරත්, 

20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා පත්වන නිසා ධන කුවේරයෙකුට මන්තී‍්‍රවරුන් මිලට ගෙන ජනාධිපති විය හැකියි කියලා බියක් ඇති කරනවා. 20න් පත්වන ජනාධිපතිවරයාට කිසිදු විධායක බලයක් හිමි වන්නේ නැහැ. රටේ ආර්ථිකය මෙහෙයවන්න පුළුවන්කමක් නැහැ. එවැනි බලයක් නැති ධුරයකට මුදල් වියදම් කර ව්‍යාපාරිකයෙකු පැමිණෙන්නේ නැහැ. මොකද, එම ධුරයට ඇවිත් කිසිදු ව්‍යාපාරික කටයුත්තක් කරගන්න පුළුවන්කමක් නැති නිසා. එම නිසා එම තර්කය පුහු තර්කයක් පමණයි.

ඇත්ත වශයෙන්ම ජනතා විරෝධී ආණ්ඩුවකට එරෙහිව පාරට බැසීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. ඒ වගේම ජනතාව පාරට බැස්සවීමේ අයිතියක් දේශපාලන පක්‍ෂවලටත් තිබෙනවා. මේ වනවිට වර්තමාන ආණ්ඩුව අපේ රට ආර්ථික වශයෙන් දරුණු ප‍්‍රපාතයකට ඇද දමා තිබෙනවා. ඩොලරයට සාපේක්‍ෂව රුපියල රු. 163.30 ගණනක් දක්වා ඉහළ ගිහින්. පසුගිය මාස දෙක-තුනට පමණක් රුපියලේ කඩා වැටීම 5%කින් ඉහළ ගියා. ආනයන අපනයන පරතරය දිනෙන් දින වැඩිවෙනවා. මේ වසරේ පමණක් ඩොලර් කෝටි 400ක ණයක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. ජනතාවට ජීවත් වීමට නොහැකි ලෙස ජීවන බර වැඩිවෙලා. මේ නිසාම ජනතාව තුළ ප‍්‍රබල විරෝධයක් ගොඩනැගී තිබෙනවා. එය ප‍්‍රකාශයට පත්විය යුත්තේ සැබෑ ජනතා විරෝධයක් ලෙසයි.

නමුත් ඊයේ පැවැත්වුණේ විරෝධයකට වඩා නාඩගමක්. කාලා බීලා පාරේ නටන එක ඇත්ත ජනතා විරෝධයක් නොවෙයි. අපි දැක්කේ විකාරරූපී රංගනයක් විතරයි. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඇත්ත ජනතා විරෝධය හෑල්ලූවට ලක්වීම පමණයි. ඔවුන්ගේ විරෝධය අසාර්ථක එකක් වුණේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් විරෝධතාවය මෙහෙයවූ සංවිධායකයින්ම අසාර්ථකයි කියලා කියලා තිබුණා. උද්ඝෝෂණයට පෙර මෙය සංවිධානය කරපු පිරිස් විවිධ දේ කිව්වා. සම්පූර්ණයෙන් කොළඹ අල්ලනවා කිව්වා. ආණ්ඩුව ගන්නේ නැතිව ආපහු යන්නේ නැහැ කිව්වා. නොනිදන රැුයක් ගත කරනවා කිව්වා. මහින්ද රාජපක්‍ෂ අගමැති යැයි පාරම් බාපු විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවියේම ”ජනතාව බනිමින් යන්න යති ඒකාබද්ධයේ ජන බල විරෝධය අවසන්” කියලා හවස් වෙනකොටම නිවුස් ගැහුවා. සංවිධායකයින්ම විරෝධතාවය විවේචනය කරන්න පටන් අරගෙන තිබෙනවා. ඇතැම් වෙබ් සයිට්වල තිබුණා ”ඒකාබද්ධයේ දේශපාලනඥයින් කොළඹ හෝටල් වෙන් කරවා ගනියි, ආධාරකරුවන් මහපාරේ තොවිල් නටයි” කියලා. ඒ නිසා ඇත්තටම එම විරෝධතාවයේ අසාර්ථකභාවය පිළිබඳව අපිට අලූතින් කියන්න දෙයක් නැහැ.

මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී කි‍්‍රයා අපි ප‍්‍රතික්‍ෂේප කරනවා පමණක් නෙවෙයි ඒවා පරාජය කරන්න කි‍්‍රයාමාර්ග ගන්නවා. නමුත් කිසිසේත්ම මේ හොරු පන්නලා තවත් හොරු කණ්ඩායමකට ආණ්ඩු හදන්න අපි කිසි සේත්ම ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාව මේ හොරු වෙනුවට තවත් හොරු කණ්ඩායමකට බලය ලබා නොදීමට වග බලාගත යුතු වෙනවා. මේ ආණ්ඩුව පත්වෙලා මාස කිහිපයක් ගතවුණාට පස්සේ හොරුන්ට-දූෂිතයන්ට නීතිය කි‍්‍රයාත්මක කරන්න කියලා මුලින්ම පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණයි. ඉන් පසුව බඩු මිලට එරෙහිව, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව වැඩ කරන ජනතාවගේ ඊ.ටී.එෆ්. අරමුදල රැක ගැනීමට, සිංගප්පූරු ගිවිසුමට එරෙහිව අපි විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටිනවා.

The post ජවිපෙ රට බෙදන ගිවිසුම්වලට කිසිදා සහාය දෙන්නේ නැහැ – විජිත හේරත්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();