Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගල උඩ සටනක් යන සහෝදර සමාගම.

Rajapaksha_Family

ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ දැන් තුන් කොන් සටනකි. ඒ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙනි. මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරය අතරතුර ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී සුභාෂිනී හයිදර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කුරුණෑගල දිස්ත්‍රික් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහුගේ සහෝදරයා ඉදිරිපත් කරන බවයි. ඒ අනුව රාජපක්ෂ සහෝදරවරු අතර දැන් සීතල යුද්ධයක් ඇති වී තිබේ. ඒ සීතල යුද්ධය රාජපක්ෂ කල්ලියටම දැන් පාරාවළල්ලක් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ‘සහෝදර ප්‍රකාශ’ දෙබරයට පළමු ගල දමා ගසන්නේ ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වයේ ප්‍රබලයෙකුගෙනි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමය. වෙල්ගම මන්ත්‍රීවරයා මේ පිළිබඳ ප්‍රකාශ කරමින් කියා සිටියේ ”මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුණේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙළින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්. ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ… සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ?” යනුවෙනි.

වෙල්ගම මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සත්‍යය.

2015 ජනවාරි 08 වැනිදා වන විට රාජපක්ෂ පවුල නියෝජනය කළ බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිය, චමල් රාජපක්ෂ කතානායකය, නිරූපමා රාජපක්ෂ නියෝජ්‍ය ඇමතිවරියකි, නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීය. ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ය. ශෂීන්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාය. රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. මුදල්, ආරක්ෂක ඇතුළු ඇමතිකම් රැසක්ම ඔහු සතු විය. ඉඳින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියන ‘පවුල් වාදයට’ මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත.

හින්දු පුවත්පත සමග සාකච්ඡාවකදී තමන්ගේ සහෝදරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි යයි කීමෙන් මහින්ද රාජපක්ෂ අදහස් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ  පිළිබඳව යයි පෙනී යන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සති අන්ත පුවත්පතට ප්‍රකාශ කර තිබේ. එහි දී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසන්නේ මහින්ද රාජපක්ෂගේ අදහස් දක්වීම අර්ථකථනය කරගත හැක්කේ ඒ ආකාරයට පමණක්ම බවයි. එසේම දැනට දේශපාලනයේ නියුතු වන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ඇති මහින්ද රාජපක්ෂ ගේ එකම සහෝදරයා වන්නේ හිටපු කථානායක චමල් රාජපක්ෂ  බව ඔහු පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂගේ ‘සහෝදර’ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ “අපි නිරන්තරයෙන්ම කිව්වා අපේ පැතුම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වීම. ඒ ගැන නියත විවරණය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබීම ගැන අපි සතුටු වෙනවා” කියාය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්කරනවා දැයි අනුරාධපුරයේදී පසුගිය දා මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂගෙන් විමසන විට ඔහු ප්‍රකාශ කළේ උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයකි. එහිදී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ “ඒක බොරුවක්. මම එහෙම කිව්වේ නෑ. ඒක මවාගත්ත කාරණයක්” කියාය. ඒ අනුව උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පුස්සක් බවට පත් වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණයේ ගෝඨාභය සාධකයට මහින්ද රාජපක්ෂ ගේ සහයෝගය නොලැබීමට ඇති ඉඩකඩ වැඩිය.

මේ ගැන හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසන්නේ “මහින්ද ජනාධිපතිතුමාත් කියනවා පවුලේ සහෝදරයෙක් ඕන කියලා. ඒ කියන්නේ ජනතාවගේ ඉල්ලීම. සහෝදරයෝ නම් ගොඩක් ඉන්නවානේ. බැසිල් රාජපක්ෂ ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා. මමත් කොනක ඉන්නවා.” කියාය. ඒ කියන්නේ චමල් රාජපක්ෂ ද දැන් ජනාධිපතිවරණ සටනට ඇඳුම් මහන්ට පටන්ගෙන කීවොත් නිවැරදිය. මේ ගැන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ අදහසුත් එළියට ආවිට හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලා ගත හැකිවනු ඇත. ඒවා එසේවෙද්දී නාමල්ද නිකන් බලා නොසිටිනු ඇත. මීළඟ ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂට ඉදිරිපත් විය නොහැකි බව දැන් ස්ථිරය. නමුත් එය නාමල්ගේ තරමට මදිය. නාමල් තම බාප්පලාගේ සහ ලොකු තාත්තලාගේ ජනාධිපතිවරණ අපේක්ෂක සටන අතරේ තමාට මේ පක්ෂයේ නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් නොකර නොසිටිනු ඇත.

එවිට මේ අයගේ බල ලෝභය කොතරම් දැයි හොඳටම බලා ගත හැකිවනු ඇත. ඔවුන්ගේ නිරුවත සමාජයට හෙළි දරව්වනු ඇත. රාජපක්ෂ පවුලේ සහෝදර සමාගමේ ගල උඩ සටනේ යථාර්ථයද ජනතාවට අවබෝධ වනු ඇත.

[දිලංක ගුණතිලක]

The post ගල උඩ සටනක් යන සහෝදර සමාගම. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();